Wednesday, June 16, 2010

උතුරේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්වත් ලබාදීමට ආණ්ඩුව අසමත් වෙලා


යුද්ධය නිමාවී වසරක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් හෝ ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ උතුරේ සිදුකළ තෙදින සංචාරයෙන් අනතුරුව අද පස්වරුවේ යාපනය නගරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

‘‘යුද්ධය අවසන් වී වර්ෂයක් ගත වී ඇති අවස්ථාවේ අපට යාපනයට එන්න හැකි වුණා. මේ කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබා දෙන්න කළ යුතු මූලික වැඩ කටයුතු ආරම්භ කරන්නවත් ආණ්ඩුව සමත් වෙලා නැහැ.

පසුගිය 14, 15 සහ අද (16* දිනවල අපි කිලිනොච්චිය සහ යාපනය විවිධ ප‍්‍රදේශවල සංචාරය කළා. එහිදී යුද්ධයෙන් අවතැන් වූ ජනතාව සහ යුද්ධය නිසා මිය ගිය පුද්ගලයින්ගේ මව් පියන්, භාර්යාවන්, දරුවන් සහ ඥාතීන් අපට මුණ ගැසුණා. ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමේදී අපට දැන ගන්න ලැබුණේ, ඔවුන් වෙනුවෙන් කළ යුතු අවම දේ වත් සිදු වී නැති බවයි. ඒ නිසා ඔවුන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමටත් ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතා ලබා දීමටත් ආණ්ඩුවට බල කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ - 9 මාර්ගයෙන් පිටත අභ්‍යණ්තර ප‍්‍රදේශවල අප ගිය අවස්ථාවලදී ආරක්ෂක අංශවල විවිධ බාධා කිරීම්වලට මුහුණ දීමට අපට සිදු වුණා. එසේ වුවත්, එවැනි බාධා කිරීම්වලින් ජනතාව හමුවීමට ජනතා විමුක්ති පෙරමුණට ඇති අයිතිය නැති කරන්නට බැහැ.

අපට හමු වූ ජනතාවගෙන් සමහර දෙනා, තමන්ගේ ආදරණීයයන් මිය ගිහින්ද, ජීවතුන් අතර ඉන්නවාද සිරගත වෙලාද, එසේත් නැතිනම් අතුරුදහන් වෙලාද කියා දන්නේ නැහැ. රැඳවුම් කඳවුරුවල ඉන්නවා කියලා දන්නා අයත් ඔවුන්ට ඇති චෝදනා දන්නේ නැහැ. නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ කවදාද කියා දන්නේ නැහැ. එලෙස චෝදනා තිබෙන අය වහාම අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ටයුක්තිය ඉටු කර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම චෝදනා නැති අය වහාම නිදහස් කළ යුතුයි.

මේ ප‍්‍රදේශවල ජනතාවට ලබා දිය යුතු දේවල් ලැබී නැති වුවත් අය වැයෙන් ආරක්ෂක වැය ශීර්ෂය අධික ලෙස වැඩි කර තිබෙනවා. අප කියා සිටින්නේ, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවටත් පීඩාවට මුහුණ දෙන්න සිදු වු ජනතාවටත් සහන සැලසීමට හා ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ප‍්‍රමුඛතාව ලබා දිය යුතුයි.’’

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සහ ඊට ජ.වි.පෙ. නායකයින් ලබාදුන් පිළිතුරු පහත දැක්වේ

ප්‍රශ්ණය - ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විරුද්ධ වුණා නේද?
පිළිතුර - දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කළේ, අවුරුදු 62 රට පාලනය කළ ආණ්ඩු විසිනුයි. ජාතික ප‍්‍රශ්නය අවුල් කළෙත් එයට විසඳුම් දෙන බව පවසමින් එය යුද්ධයක් දක්වා වර්ධනය කළේත් ධනේෂ්වර ආණ්ඩු විසින්. අපි විරුද්ධ වුණේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් නොවෙයි, අයිතිවාසිකම් ලබා දෙන බව කියමින්, ජාතික ප‍්‍රශ්නය තවදුරටත් උග‍්‍ර කරන ක‍්‍රියාමාර්ගවලටයි.

ප්‍රශ්ණය - 13 වැනි සංශෝධනය ගැන, තර්ටීන් ප්ලස් ගැන කියනවා, ජාතික ප‍්‍රශ්නය විසඳීම ගැන ජවිපෙ මොකද කියන්නේ?

පිළිතුර - 13 වැනි සංශෝධනය ගෙනාවේ, ජාතික ප‍්‍රශ්නය විසඳීමේ පරමාර්ථයෙන් නොවෙයි. ජාතික ප‍්‍රශ්නය මුවාවෙන් විවිධ බලවේගවල වුවමනාවන් ඉටු කිරීමේ අරමුණෙන්. මෙතෙක් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම්, විසඳුම් බවට පත් වුණේ නැහැ. අද සාමකාමී තත්වයක් රට තුළ ඇති වී තිබෙනවා. එහි උපරිම ප‍්‍රයෝජනය ලබා ගෙන රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. උතුරේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේදී දිය හැකි හොඳම විසඳුම එයයි.
ප්‍රශ්ණය - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර අරගෙනද ආවේ?

පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණ සියලූ ජනතාව වෙනුවෙන් බිහි වුණු පක්ෂයක්. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව සොයා බලන්න අප ගත් උත්සාහයේදී ආරක්ෂක අංශ යොදා ගෙන අපට විවිධ බාධා කිරීම් ඇති කළා, එසේ වුවත් අප යොදා ගත් ආකාරයටම ස්ථාන ගණනාවක ජනතාව මුණ ගැසීමට ගියා. ආරක්ෂක අංශවලට ඇති වගකීම නීතිය හා සාමය ඇති කිරීමයි. දේශපාලන කටයුතුවලට ඔවුන් යොදා ගැනීම වැරදියි.

ප්‍රශ්ණය - ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් ජවිපෙ විරුද්ධ වුණා නේද? මේ වන විට උතුර නැගෙනහිර සහ රටේ වෙනත් ප‍්‍රදේශවල ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් මොකද කියන්නේ?

පිළිතුර - මහජන දේපළ පෞද්ගලීකරණයට කිසිම අවස්ථාවක අප පක්ෂ වුණේ නැහැ. විදේශ රටවලට ජනතාවගේ ඉඩම් කොටු කර දීම සම්බන්ධයෙන් එකඟ වුණෙත් නැහැ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල එවැනි තත්වයන් ඇති වී තිබෙනවා. රට නිදහස් කර ගත්තා කියන ආණ්ඩුව ජනතාව සතු ඉඩම් සහ ස්වාභාවික සම්පත් එසේ විදේශ රටවලට පැවරීම සම්බන්ධයෙන් අප පක්ෂය තදින්ම විරෝධය පළ කරනවා.

මෙම මාධ්‍ය හමුවටපාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකර්, බිමල් රත්නායක, දිමුතු අබේකෝන් යන මහත්වරුන්ද සහභාගි වූහ.lankatruth

0 comments:

Post a Comment