Sunday, February 6, 2011

ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන් ලක්ෂ දොලහ ඉක්මවයි. - ප‍්‍රදේශ රැසක පාසල් වසා දැමේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පුද්ගලයන් දෙලක්ෂ 50,000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි. ඔවුන් තාවකාලික සහන මධ්‍යස්ථාන 689 ක රැදී සිටින බව ඔහු කියා සිටියා. අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේ. සහන සැලසීමේ වැඩපිළිවෙල ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුවන බව ඔහු කියා සිටියා.

මේ අතර, මල්වතු ඔය පිටාර ගැලීම නිසා මන්නාරම දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ජාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (06) මන්නාරමේ දී පැවැත්වුණා. සාකච්ජාවෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අමාත්‍යවරයා.

ගං වතුරෙන් හානියට පත්වු ප‍්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් නැංවීම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කොළඹ සිට අදාල ප‍්‍රදේශවලට අද (06) දිනයේ පිටත්කර හැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍යරවරුන් 12 ක්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 22 ක්, හෙදියන් සහ ඖෂධවේදීන් ඇතුළු කණ්ඩායමක් ඒ අතර වන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර, උතුරු මැද පළාතේ සෞඛ්‍ය කටයුතු සඳහා අමතර ගිලන් රථ 6 ක්ද, පිටත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජලගැලීම් සහ නායයෑමේ අවදානමට ලක්ව ඇති දිස්ති‍්‍රක්කයන්හි ඇතැම් ප‍්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති විද්‍යා අමරපාල සදහන් කර සිටියේ ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කළ බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් හෙට දිනයේ සිට දින 03 ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන දිස්ති‍්‍රක් ලේකම් රෝහන කීර්ති දිසානායක.

උතුරු මැද පළාතේ සියලූම පාසල්ද, හෙට සහ අනිද්දා යන දෙදින තුළදී වසා දැමීමටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අද තීරණය කළේ. එමෙන්ම, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර සහ මහඔය අධ්‍යාපන කලාපවල හැර සෙසු සියලූම පාසල් ලබන බදාදා දින දක්වා වසා තැබෙනු ඇති. මහනුවර ගෝතමී විද්‍යාලය, වලපනේ කීර්තිබණ්ඩාරපුර පාසල සහ මාතලේ ඉඹුල්පිටිය මහා විද්‍යාලය හෙට දිනයේදී වසා තැබෙන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප‍්‍රකාශ කළා. ඊට අමතරව ගලේවෙල අධ්‍යාපන කලාපයේ, දඹුල්ල ජාතික පාසල, වීරමොහාන් ජයමහා විද්‍යාලය සහ වෑවල වැව මධ්‍ය මහා විද්‍යාලයද, හෙට දිනයේ වසා තැබෙනු ඇති.

ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කැකිරාව දක්වා සීමා කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.

බලාපොරොත්තු වූ පරිදි අද දිනයේ වර්ෂාවේ අඩුවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වවුනියාව ප‍්‍රදේශයට බවයි. එය මිලිමීටර 7.3 ක් තරම් අඩු අගයක්. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ

අඩු පීඩනයේ වෙනසක් නෑ-වැසි අවදානම තුරන් වී නෑ

දිවයිනට ඉහළ වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බැවින් වැසි සහිත කාලගුණයේ වෙනසක් සිදුනොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව නැගෙනහිර , මධ්‍යම , ඌව , උතුර සහ උතුරු මැද පළාත්වලට කඩින් කඩ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ‍ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ අතර අධික වාර්ෂාව හේතුවෙන් පිටාර ගලමින් තිබු වැව් රැසක ජලමට්ටම පහත බැස ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ආචාර්ය ජි.ජි.ඒ.ගොඩලියද්ද මහතා පවසයි.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යන තෙක් නාය යෑම් පිළිබඳ ඉතා සුපරික්ෂාකාරීව සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා කියා සිටියේය.

එසේ වුවද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා සඳහන් කළේ එම දිස්ත්‍රික්කයේ ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතින බවයි. මේ අතර පසුගිය දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව‍ හේතුවෙන් පුද්ගලයන් දොළොස් ලක්ෂ 43,000ක් පමණ පීඩාවට පත්ව තිබේ.

ඔවුන්ගෙන් දෙලක්ෂ 50,000ක් පමණ අවතැන් කඳවුරු 689ක් වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වර්ෂාව හේතුවෙන් සිදුවු විවිධ අනතුරු වලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 11 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජලගැලීම් වලින් විපතට පත්වු අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සංචාරයක නිරතව තිබේ.

ජල ගැලීම්වලින් හානියට පත් කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට පියවර ගන්නා බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

කහවත්ත රෝහලේ වෘත්තීය ක්‍රියා මාර්ගය එලෙසම

රත්නපුර , කහවත්ත මූලික රෝහලේ කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටියි.

තම ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යන බව රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

පසුගිය 4 වන දින රාත්‍රීයේදී බීමත් පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහලට පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහල් පොලිසියේ නිලධාරීන්ට පහරදීමේ සිදුවීමට විරෝධය පළ කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව සඳහන් වේ.

ඒ අනූව ඊයේ(05)දිනයේ සිට වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවා වලින් ඉවත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වු බව ද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආපදා පෙදෙස් වල ඡන්දය එපා-විමල් ඉල්ලයි

ආපදාවට ලක්වු බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් රැසක විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් මාර්තු 17 වන දින අදාළ ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීම යෝග්‍ය නොවන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙම ලිපියේ සඳහන් කර තිබේ

ශ්‍රී ලංකාවට එරෙහිව වයිකෝ උපවාසයේ

අද(06)උදෑසන ඉන්දියාවේ නාගෙයි ප්‍රදේශයේ දී මෙම උපවාසය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් ඝාතනය කළ බවට පවසමින් මොවුන් උපවාසය ආරම්භ කර තිබේ.

ඉන්දීය ධීවරයින්ගේ ගැටලුවට මධ්‍යම රජය තමන්ට සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලබා දෙන තෙක් උපවාසයේ නිරත වන බව වයිකෝ පවසයි.

මෙම උපවාසය සඳහා එම්.ඩී.එම්.කේ පක්ෂයේ සාමාජිකයින්ට අමතරව තවත් පක්ෂ කිහිපයක සහයෝගය ලැබී ඇති බව වාර්තා වේ.

උතුරු මැද පාසල් දින 2 ක් වසාදැමෙ

උතුරු මැද පළාතේ සියලුම පාසල් හෙට(07) සහ අනිද්දා(08) දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ,මඩකළපුව යන දිස්ත්‍රික්ක වල සියලුම පාසල් හෙට සිට දින 3ක කාලයක් වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය

එෆ්.එම් දෙරණින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එන්තරවාසියක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට ගුවන් විදුලි විස්තර විචාරයේ විකාශන අයිතිය එෆ්.එම් දෙරණට ලැබී තිබියදීත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් එම විස්තර විචාරය ලබා දෙන බවට පූර්ව ප්‍රචාරයන් සිදුකිරීම තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් එෆ්.එම් දෙරණ සිය නීතිඥයන් මගින් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා වෙත එන්තර වාසියක් යවා තිබේ.

මෙම එන්තර වාසිය ඊයේ දිනයේ දී යවා ඇත.

ශ්‍රී ලාංකේය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ඉතිහාසය වෙනස් කරමින් එෆ්.එම් දෙරණ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශන අයිතිය ලබාගත් පුවත ඉකුත් පෙබරවාරි මස 01 වන දින පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

එසේ වුවද ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරය ලබාදෙන බවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් දිගින් දිගටම පූර්ව ප්‍රචාරක පට විකාශය කරනු ලැබිණි.

ඒ අනුව මින් ඉදිරියට එවැනි ප්‍රචාරක කටයුතු වලින් වළකින ලෙස හා ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් තමන්ට වූ අලාභය සම්බන්ධයෙන් වන්දි ලබාදෙන ලෙසද දැනුම් දෙමින් එෆ්.එම් දෙරණ සිය නීතිඥයින් වන"කැපිටල් ලෝ චේම්බර්ස්"නීතිඥ සමාගම මගින් ගුවන් විදුලි සංස්ථා සභාපති වෙත මෙම එන්තර වාසිය යවා තිබේ.

ෆොන්සේකා වෙනුවෙන් 8 දා සත්‍යග්‍රහයක්

ලබන 8 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් මෙය සංවිධාන කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජනතා ව්‍යාපාරයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු විජිත හේරත් මහතා පැවසුවේ එක් එක් කාරණා හමුවේ වෙන්ව සටන් කිරීම හෝ එක්ව සටන් කිරීම පිළිබඳ වෙන වෙනම තීරණගත යුතු බවයි.

මන්ත්‍රීවරුන්ගේ උපවාසය මාරාන්තික වෙයිFebruary 6, 2011 12:36 pm

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසළ උපවාසයේ යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද(06) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ සිට ආරම්භ කරන ලද මෙම උපවාසයෙන් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම මන්ත්‍රීවරුන් පවසයි.

මෙම උපවාසයට හේතු වී ඇත්තේ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මෙම මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කිරීමයි.

මෙම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

ජ.වි.පෙන් තරග කළොත් මැරුම්-අපේක්ෂිකාවකගෙන් පැමිණිල්ලක්February 6, 2011 12:30 pm

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පේදුරුතුඩුව නගර සභාවට තරගවදින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂිකාවක වන තවරාසා පුෂ්පරාණි නැමැති අයට නන්නාදුනන පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රීයේ තමන්ට නාදුනන පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කළ බවට ඇය විසින් අද(06)පොලීසියට පැමිණිලි කර තිබේ.

ඇගේ නිවසට පැමිණුනු පොලිස් ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් මෙසේ තර්ජනය කර ඇති බවත්,ජනතා විමුක්ති පෙරමුණ සමග පවත්නා සබඳතා පිළිබඳ මෙම පිරිස විසින් ප්‍රශ්න කළ බවද සඳහන් වේ.

පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග නොකරන ලෙසට තරයේ තවරාසා පුෂ්පරාණි නැමැත්තියට අවවාද කළ බවත්,එකී නියෝගය නොපිළිපදින්නේනම් මරා දමන බවට තර්ජනය කළ බවද අද දෙරණ වාර්තාකරු පවසයි.

ජනවාරියේ 11 දෙනෙක් ඩෙංගු මාරයාට බිලිFebruary 6, 2011 12:09 pm

ඩෙංගු රෝගය වැළඳීමෙන් ජනවාරී මාසය තුළ පමණක් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගය වැළඳුනු පුද්ගලයින් 831 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 297 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 107 දෙනෙකු මේ වසරේ ජනවාරී මාසය තුළ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු රෝගය වැළඳීමෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 5දෙනෙකු වන අතර කළුතර, හම්බන්තොට , මුලතිව් ල අම්පාර, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් ද එක් පුද්ගලයෙකු බැගින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව 11 ක් අත්අඩංගුවේ

පළාත් පාලන මැතිවරණයට අදාළ පුද්ගලයින් 11 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පොලිස් මැතිවරණ කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනය වන විට මෙම පිරිස අත්අඩංගුවට ගෙන සිටි බවයි.

පළාත් පාලන මැතිවරණ නීතී රීතී වලට පටහැනිව කටයුතු කළ සහ කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කරයි.

පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයට අදාළ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද අඩු වී ඇති බව ගාමිණි නවරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණ නීතී පිළිබඳව අපේක්ෂකයින් දැනුවත් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වල මෙහෙයවීමෙන් තවදුරටත් ක්‍රියාත්මක බවද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.