Sunday, May 9, 2010

දෙදෙනෙක් මරුට-23 ක් රෝහලේ-සෝමාවතිය ජල රකුසාට බිලි


සෝමාවතිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් එකී ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් වන්දනාවේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
රෝහල්ගත කළ පිරිසෙන් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහළට මාරු ක ර එවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මිය ගිය දෙදෙනා ගලේවෙල සහ වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තහවුරු වී ඇත.
මේ වන විටත් කොටුවී පීඩාවට පත්ව ඇති ජනයාට ගුවන් මගින් ආහාර ද්‍රව්‍ය ලබා දෙන බවත්,ඔවුන් බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට සෝමාවතිය ප්‍රදේශයේ සියලු මං මාවත් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ. adaderana

අත්‍යවශ්‍ය ඖෂධ ගුවනින් ගෙන්වයි


මෙරට රෝහල් වලට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී ඇත.
ඒ අනුව ඉදිරි සතිය ඇතුළත මෙරටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ ගුවන් මඟින් ගෙන ඒමට නියමිත බව සඳහන් වේ. ඉන්දියාවෙන් මෙම ඖෂධ ගෙන්වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා රෝහල් රැසක පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට කඩිනම් පිළියමක් ලෙස මෙම පියවර ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

අද සුනාමි නෑ


උතුරු සුමාත්‍රා දිවයින ආසන්නයේ භූ චලනයක් සිදු වී ඇත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
එය රිච්ටර් පරිමාණයේ 7.4 ක භූ චලනයක් බව වාර්තා විය. මෙම භූ චලනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි..
එබැවින් ඒ සම්බන්ධව කලබලයට පත් නොවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. adaderana

ආණ්ඩුව පරණ බස් එකට අලුත් බෝඩ් එකක් දැම්මා


ආණ්ඩුව පරණ බස් එකටම අලුත් බෝඩ් ලෑල්ලක් දාගෙන ගමන් අරඹා ඇතත් මේ යන්නේ අලුත් ගමනක් නොව පරණ ගමන පමණක් බව ප්‍රජාත්නත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩලය සීමා කරන බව කීවද පසුගිය අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලුම අයටමත් අමාත්‍ය පදවි හෝ නියෝජ්‍ය අමාත්‍ය පදවි ලබා දී ඇති බවත්,මීට අමතරව අලුත්ම අයටත් අමාත්‍ය පදවි ලබා දි ඇති බවත් හෙතෙම කියා සිටියේය.
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඒ ඒ අමාත්‍යංශ වලට හිමි ආයතන හා සංස්ථා මොනවාද යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇතද එයින් ආයකන 78 ක් ම ජනාධිපතිවරයා තමාගේ බලය යටතට පවරාගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව අයවැයෙන් 80%-90% ක් පමණ ජනාධිපතිවරයා වෙන් කරගනු ඇති බවට ‍ඔහු විශ්වාසය පළ කළේය.adaderana

තමන්ට හිමි අලුත් අමාත්‍යංශය බාර ගන්නා සියලුදෙනාම එකී අමාත්‍යංශය පෙර බාර ගෙන කටයුතු කළ ඇමතිවරයා යටතේ අක්‍රමිකතා හා වංචා සිදුව ඇති බව ප්‍රසිද්ධියේ කියද්දී අදාළ අමාත්‍යවරයා පෙර සිටි අමාත්‍යංශයට පත්ව ආ අනෙක් අමාත්‍යවරයා ද ඒ කතාවම කියන බවත් සඳහන් කරමින් දිසානායක මහතා කියා සිටියේ මේ අයුරින් සියලුම ඇමතිවරුන් කවුද හොරා කියමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

මුරලි ලංකාවට ගෙන්වයි


අබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 20 / 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් යළි දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.
පසුගිය දා සිය පාදයේ මස් පිඩු ඉරීමක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් අබාධයකට ලක් විය.. එහෙත් පෙරේදා දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග පැවති තරගයට මුත්තයියා මුරලිදරන් සහභාගී වූ අතර එහි දී ඔහුගේ ආබාධය උත්සන්න වී ඇති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේය.
එම නිසා ඔහු යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නිශාන්ත රණතුංග මහතා අද දෙරණට සඳහන් කළේය.
මුත්තයියා මුරලිදරන්ගේ පුරප්පාඩුව පිරවීම සඳහා වේග පන්දු යවන තිලාන් තුෂාර මේ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් වෙත යවා තිබේ. adaderana

දඬුගම ඔයේ ජලය තහනම්


සීදූව , දඬුගම ඔයේ ජලය භාවිතයෙන් වලකින ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි. දින කිහිපයක සිට සීදුව , දඬුගම ඔයට විෂ ද්‍රව්‍යයක් මුසු වීම හේතුවෙන් එහි මාළු මිය ගොස් ජල මත පා වෙමින් පවතින බව වාර්තාවේ.
මෙයට හේතු‍ව ඔයට ආසන්න කර්මාන්ත ශාලාවකින් පිටවන විෂ ද්‍රව්‍යයක් හෝ වෙනත් බාහිර විෂ ද්‍රව්‍යයක් ජලයට මිශ්‍ර වීම බවට පොලිසිය සැකකරයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට එම ඔයේ ජලය භාවිතා කිරීම නුසුදුසු බව පොලිසිය පවසයි. adaderana

ඒඩ්ස් රෝගීන් ඉහළයයි


මේ වසරේ ගත වූ පළමු කාර්තුව තුළ ඒඩ්ස් රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාර‍යේ වාර්තා වලට අනුව පළමු කාර්තුව තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 1223 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
එයින් 313 දෙනෙකු ඒඩ්ස් ‍රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වන අතර එයින් 212 දෙනෙකු පිරිමින්ද 101 දෙනෙකු කාන්තාවන්ද සිටින බව සඳහන් වේ. මෙම තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මෙරට පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පළමු කාර්තුව තුළ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු පමණයි.
ඒ අනුව 2009 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වස‍රේ පළමු කාර්තුව තුළ ඒඩ්ස් රෝගය වැළඳී‍මෙන් මිය ගිය සංඛ්‍යාව දෙගුණ වී තිබේ. adaderana