Thursday, February 25, 2010

වෙබ් අඩවි වාරණයට විශේෂ පද්ධතියක් ටෙලිකොම් ආයතනයේ ස්ථාපිත කරයි


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වෙබ් අඩවි අවහිර කිරීමේ අරමුණින් විශේෂිත ‍firewall පද්ධතියක් ස්ථාපිත කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
ශ්‍රී ලංකා රජය සහ විදුලි සන්දේශන නියාමන කොමිෂමේ නියාමන කටයුතු නවීකරණය කිරීම සදහා මෙරටට පැමිණ ඇති චීන බුද්ධි අංශ එක්ව ‍ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ. මෙමගින් ටෙලිකොම් ආයතනය හරහා ශ්‍රී ලංකාවට පිවිසෙන (SLT ISP) වෙබ් අඩවි වාරණය කිරීමට සැලසුම්කර ඇතැයි ටෙලිකොම් ආයතනයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.truth

මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි - නැවත සළකා බලන්නේ නව අමාත්‍ය මණ්ඩලයක් තුළ


දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාණය ලබාගෙන, අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට එකගවූ කොන්දේසිද උල්ලංඝනය කර ගෙන යන අවිදිමත් මූල්‍ය කළමණාකරණය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 2.6 ණය මුදලේ තෙවන වාරිකය ගෙවීම ප්‍රමාද කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
එම ණය මුදලට අදාළ කොන්දේසි සපුරාලිම සමාලෝචනය සදහා මෙරට පැමිණි මුල්‍යඅරමුදලෙහි නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා අදකොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඒ බව අනාවරණය කළේය.
පසුගිය වසරේ අය වැය හිගය සම්බන්ධයෙන් රජය එකග වු 7% ඉලක්කයට වඩා අය වැය හිගය ඉහළ ගොස් ඇති බවත් අයවැය හිගය පියවිම සදහා දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාරජය ණය ලබාගෙන බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැවසුහ.
නියෝජිතපිරිසෙහි ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා ප්‍රකාශ කළේ, රජයේ අය වැයහෙවත් රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තමන් සතුටුනොවන බවය. එබැවින් නවඅමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවමුල්‍ය අරමුදලේ දුත පිරිස මෙරටට පැමිණ ණය මුදල ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බවද ආචාර්ය බ්‍රයන්එයිට්කන් පැවසීය.

හෙළ උරුමයෙන් තවත් හිමිනමක් ඉල්ලා අස්වේ


හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අලව්වේ චන්දාලෝක ස්වාමීන් වහන්සේද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත. මෙම ඉල්ලා අස්වීමට ද හේතුව වී ඇත්තේ මෙවර මහ මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමයේ නාම යෝජනා අවස්ථාවන් ලබා නොදීම හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ. truth

අපේ මුදල්වලින් අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව රජයට අවධාරණය කරයි


විදුලි සංදේශන නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සදහා ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙන මුදල් අන්තර්ජාල වාරණ ක‍ටයුතු සදහා යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව ශ්‍රි ලංකා රජයට අවධාරණය කර තිබේ.
ලෝක බැංකු ප්‍රදානය යටතේ එවැනි වැඩසටහනක් අනුමත කර නොමැති බවද, මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරට‍ත් සඳහන්ය.
ලෝක බැංකුව සඳහන් කරන්නේ, විදුලි සංදේශ නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ප්‍රදානයක් ලබාදෙමින් තිබෙන නමුත් එම මුදල් කිසිදු ලෙසකින් අන්තර්ජාල වාරණයක් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, චීන වි‍‍ශේෂඥයින් මාර්ගයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම මෙරට තුළ වෙබ් අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පුවත් පළවීමෙන් පසුව ලෝක බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම විශේෂ කාරණයකි.ada

ගමනට නම් දුන්නා....


කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් කණ්ඩායම අද සවස නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව සන්ධානයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයුරු. ada

මහේස්ත්‍රාත්වරිය පොලීසියට දෙහිකපයි


පොලිස් දෙපාර්තමේන්තුවේ පෞරුෂය බිඳවැටීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස පොලිස්පතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී. කොළඹ ම‍හේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කරන පරිදි අපරාධ සම්බන්ධයෙන් පොලිසි‍යේ විමර්ශන කටයුතුවල අඩුපාඩුකම් රැසක් පවතී.
විනිසුරුවරිය මේ බව කියා සිටියේ නීතිවිරො‍්ධී විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගත් පුද්ගලයෙකුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වීම හේතුවෙනි..
වර්තමානයේ දී නඩුවල පැමිණිලි මෙහෙයවීම හා සාක්ෂි ලබාදීමේ දී අඩුපාඩුකම් රැසක් සිදුවන බවයි විනිසුරුවරිය සඳහන් කළාය. පොලිසියේ මෙම ක්‍රියාකලාපය සමාජයේ නීතිය හා සාමය කඩා වැටීමට ප්‍රධානතම හේතුව බව කොළඹ මහේස්ත්‍රාත්වරිය තරු පැළඳ සිටින නිලධාරීන් ශීත කාමරවලින් බැහැර වී නඩු කටයුතු පවත්වාගෙන යාමට දායක විය යුතු බව චම්පා ජානකී රාජරත්න මහත්මිය කියා සිටියාය.
කෙසේ වෙතත් පොලිසියේ මෙම දුර්වලතාව සම්බන්ධයෙන් ලබන මස 14 වැනිදාට කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට උපදෙස් ලබාදුන්නාය.ada

පුපුරන ද්‍රව්‍ය සොයා පොලීසිය නාලන්දාරාමය පීරයි


නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානය පොලිසිය විසින් සෝදිසි කර තිබේ. විහාරස්ථානාධිපති පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ අද පස්වරු 2 ට පමණ මිරිහාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ විහාරස්ථානය සෝදිසියට ලක් කළ බවයි.මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු විහාරස්ථානය තුළ රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම සො‍්දිසි කිරීම සිදුකළ බවයි.
විහාරස්ථානයේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා නොගත් බව ‍ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.. adade

නාම යෝජනා හෙටින් අවසන්


මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීම හෙටින් අවසන් වේ. අද දිනය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ, දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදී තිබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට අද නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාරදීම සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවිය.බදුල්ල දිස්‍ත්‍රික්කය සඳහා එම සන්ධානයේ නාමයෝජනා බාරදීම සිදුවූයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. එක්සත් ජාතික පෙරමුණ ද අද දිනය තුළ රත්නපුර, හම්බන්තොට, ගාල්ල, යාපනය වැනි දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී ජා‍තික සන්ධානය කළුතර, යාපනය, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ නාම‍යෝජනා බාරදුන් බව විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි. ada

ඝාතක යුවළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට


වැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතික දරුවෙකු සහ එම නිවසේ මෙහෙකාරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුක්රේන ජාතික යුවළ හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙ‍නා ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාවක් කැඳව‍න ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළාය.යුක්රේන ජාතික යුවළ දෙසතියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ෆොන්සේකා නීති දෙකකට මැදිවෙයි


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රධාන චෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා අධිකරණයක් හමුවේ ද චෝදනා ගොනු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා තිබේ. ada

කෙරවලපිටිය බලාගාරයේ දෙවන අදියර ඇරඹෙයි


කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ දෙවන අදියර අද ආරම්භ කෙරුණි. මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් මෙම තාප විදුලි බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගාවොට් 100 ක විදුලි උත්පාදනයක් සිදුකිරීමට අපේක්ෂිතය.
රජය පවසන පරිදි මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 10 ක් සැපිරීමට කෙරවලපිටිය තාප විදුලිබලාගාරයට හැකියාව ඇත.
කෙරවලිපිටිය දෙවන අදියර ආරම්භ කිරීමත් සමග විදුලි ඒකකයක මිල රුපියල් 14 දක්වා අඩු කළ හැකි බවට රජය විශ්වාස කරයි.ada

සචින්ගෙන් ලෝක වාර්තාවක්


එක් දින ක්‍රිකට් තරඟයකදී ලකුණු 200 ක් ලබා ගත් ලොව ප්‍රථම පිතිකරුවා බවට පත්වීමට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද සමත්විය. ඒ අද පැවති ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟයේදීය.
පන්දු 147 ක් තුළ වාර්තා වූ සචින් ගේ ලකුණු 200ට හතරේ පහර 25 ක් සහ හයේ පහර තුනක් අන්තර්ගතය. ඒ අනුව එක්දින ක්‍රිකට් තරඟයකදී ලොව ඕනෑ පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද බිඳ දැමිණි. මීට පෙර ලකුණු 194 බැගින් රැස් කර එම වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක සයඩ් අන්වර් සහ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කොවෙන්ට්‍රි විසිනි.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වන සචින් වයස අවුරුදු 36 දී මෙම වාර්තාව පිහිටුවීමද විශේෂත්වයකි. ඒසේම වත්මන් ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභියා මෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාද වේ.

අධිවේගේ ගල් රෝලෙන් මාරයා මතුවෙයි


වැලිපැන්න, නවුත්තුඩුව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ සේවයේ යෙදී සිටි පුද්ග‍ලයෙකු ගල් රෝලකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
ගල් රෝලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ගල් රෝලේ ක්‍රියාකරු බව සඳහන් වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුලවලාන, මීරිගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.ada