Monday, March 22, 2010

Sirasa Attack

සිරස"සිරසට ගල් මුල් එල්ල වූ පසු


කොළඹ, කොම්පඤ්ඤවීදිය බේබෲක් පෙදෙසේ පිහිටි MTV/MBC මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අයුරු. adaderana

සිරස"සිරසට ප්‍රහාරයක්


කොළඹ, කොම්පඤ්ඤවීදිය බේබෲක් පෙදෙසේ පිහිටි MTV/MBC මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා විය.
අදාළ පිරිස ගල්මුල්වලින් කාර්යාල ගොඩනැඟිල්ල වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
එම ස්ථානය වෙත පැමිණි පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ‍ද ගෙන ඇති බව ද සඳහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි. adaderana

ආරක්ෂක ලේකම් ඝාතනයට තැත් කළ සැකකරුවන් යළි රිමාන්ඩ්


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කොල්ලුපිටිය, පිත්තල හන්දියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකය මගිනි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේ සැකකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රහාරය එල්ල කිරීම සැලසුම් කිරීමේ කාර්යයට තමන් සහභාගී වූ බව පාපොච්චාරණය කර ඇති බවයි.
එසේම අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරු මරාගෙන මැරෙන බෝම්බකරු සමග ඍජු සබඳතා පවත්වා ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.adaerana

හිමිකම් කඩවන බව කියන චෝදනා වලට එකඟයි


විජාතික බලවේග තවමත් මාතෘභූමියට එරෙහිව ක්‍රියාකරමින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.
ඇතැම් අවස්ථාවල විජාතික බල‍වේග නිහඬව සිටින ආකාරයක් දැකිය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙයි.
මෙරට මානව හිමිකම් සම්බන්ධ ගැටලු පිළිබඳ ඇතැම් විදෙස් රටවල් පළකරන අදහස් සමග ජාතික භික්ෂු පෙරමුණ එකඟ වුවද ඔවුන්ගේ පටු න්‍යාය පත්‍රයන්ට යටත් නොවන බව පූජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කරයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා‍ දුන්නේ ජාතික භික්ෂු පෙරමුණ මේ පිළිබඳ අවධානයෙන් පසුවන බවයි. adaderana

අවසන් මනාප සටන මෙයයි


මනාප ඡන්ද ක්‍රමය යටතේ පවතින අවසන් මැතිවරණය මෙවර පැවැත්වෙන මහ මැතිවරණය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පවතින මනාප ක්‍රමය හේතුවෙන් අපේක්ෂකයින් අතර ගැටලු මතු වී ඇති බව ඔහු පෙන්වාදෙයි. ලබන පාර්ලිමේන්තුවේ දී මෙම මනාප ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. adaderana

මාධ්‍යවේදියා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද"‍‍බොටම් ලයින්"පුවත්පතේ ආරක්ෂක තොරතුරු වාර්තාකරු ලෙස කටයුතු කරන රුවන් වීරකෝන් මහතා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
රුවන් වීරකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් විසින් මෙම පෙත්සම මගින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා පුමුඛ 07 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් තමා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා කරමින් පසු ගිය දිනෙක ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවත්,තමා කිසිදු අයුරින් එවැනි කුමන්ත්‍රණයකට හවුල් නොවුණු බවත් පෙත්සම්කරු කියා සිටියි.
ඒ හේතුවෙන් තමන් නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.adaderana

පෙත්සම විභාගයට අභියාචනාධිකරණයේ අවසර


ජනතා විමුක්ති‍ පෙරමුණු පාලනය යටතේ පවතින තිස්සමහාරාම ප්‍රා‍දේශීය සභාවේ සභාපතිවරයාගේ තනතුර අත්හිටුවීමට එරෙහිව ‍ගොනු කෙරුණු පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.
අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.එල්.ජයසිරි මහතා‍ ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මැයි මස 5 වැනිදා මේ පිළිබඳ කරුණු දක්වන ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි ද නිකුත් කෙරුණි. ජනාධිපතිවරණ සමයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා දෙබරවැව ක්‍රීඩාංගණය ලබා දීමට ප්‍රා‍දේශීය සභාවේ සභාපතිවරයා අවසර නොදීම හේතුවෙන් පළිගැනීමක් ලෙස තනතුර අත්හිටුවා ඇති බව පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත. එම තනතුර අත්හිටුවීමට පෙර පරීක්ෂණයක් පවත්වා නොමැති අතර එබැවින් මෙම අත්හිටුවීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබේ. adaderana

ජනාධිපති යටතේ එ.ජා.ප ආණ්ඩුවක්


ජනාධිපතිවරයා විධායකයේ කටයුතු කළද එළඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මෙම මහ මැතිවරණයෙන් 2/3ක බලයක් ලැබුණොත් මේ රටේ ජනතාවට ප්‍රාණ භුක්තිය හෝ නැති වන බව හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එ.ජා.ප ආණ්ඩුවක් බලයට පත් වූ පසු රට දැනට අරගෙන යන අත්තනෝමතික ගමන නවත්වා රට යහපත් දිශාවට යොමු කරන බව ද ඔහු කියා සිටියේය.
මහ මැතිවරණයෙන් පසු විදුලිය,ජලය,ප්‍රවාහන,ආදී ක්ෂේත්‍රයන්හි පමණක් නොව අත්‍යවශ්‍ය බඩු භාණ්ඩවල ඇතුළු සියලු දේහි මිල වැඩිවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. adaderana

එක් අසුනකින් හෝ ආණ්ඩුවක් බිහිකරනවා


ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී එක් මන්ත්‍රී අසුනකින් හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
ඒ සඳහා දකුණේ ජනතාව පෙළ ගැසී සිටින බව සමරවීර මහතා පෙන්වා දෙයි. තමන් මෙවර අලියා ලකුණින් තරග කළ ද කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා නොදුන් බව සමරවීර මහතා පවසයි. මාතර, දෙවුන්දර ප්‍රදේශයේ එක්සත් ජාතික පෙරමුණු ප්‍රධාන කාර්යාලය ‍විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේය. adaderana

ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පෙනෙන්නේ එජාපයේ බංකොලොත්බවයි


ප්‍රතිපත්ති ප්‍රකාශ කිහිපයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රදර්ශනය කරන්නේ එහි බංකොලොත්භාවය බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පළමුව පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සහ දෙවනුව කාන්තාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් මේ බව එක්සත් ජාතික පක්ෂය තහවුරු කර ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාව මේ වන විටත් සූදානමින් සිටින බවද වීරවංශ මහතා සඳහන් කරයි. හබරකඩ ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.adaderana

මාලිගාවත්තේ වෙළෙඳසල් 12 ක් කොල්ලකයි


මාලිගාවත්ත පොදු වෙළෙඳ සංකීර්ණයෙහි වෙළෙඳසල් 12 ක් පමණ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.
ඊයේ රාත්‍රීයේදී මෙම කොල්ලකෑම සිදුවී ඇති බව මාලිගාවත්ත පොලිසිය පැවසුවේය. කොල්ලකරුවන් අදාළ වෙළෙඳසල් වලින් මුදල් සහ භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලිසිය විසින් සිදුකරයි. adaderana

නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් ඇරඹේ


ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් ආරම්භ කෙරෙයි.
එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් වෙත අද භාරදීමට නියමිතය. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 14,488,500කි. ඔවුන් වෙත ලබන 31 වන දින වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කරන බව තැපැල්පති එම්.කේ.බි.දිසානායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා තැපැල්කරුවන් 7,500 ක් පමණ යොදවා ඇති බව ද සඳහන්ය. ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකෙරෙන අතර තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් ද පත්කර තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස මේ මස 28 වන දින නම් කර ඇත. එම ඡන්ද පත්‍රිකා බෙදා හැරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව ‍පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසීය. adaderana

රනිල්ගෙන් නව නීතියක්


යුධ හමුදාවෙන් ඉවත් වු අයට යුධ හමුදා නීතිය බල නොපාන අයුරින් නව නීතියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තම ආණ්ඩුවක් යට‍තේ එය ක්‍රියාත්මක කරන අතර දැනටමත් ඊට අදාල කෙටුම්පත් සකස් කර අවසන් බව ඔහු සඳහන් කරයි. ඊයේ පානදුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා ‍මේ අදහස් පළ කළේය. adaderana