Sunday, April 11, 2010

රංගේගේ ප්‍රහාරකයන් 23 දක්වා රිමාන්ඩ්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට පහර දුන් බවට චෝදනා ලැබූ සැකකරුවන් අප්‍රේල් මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසාවිනිසුරු විසින් මීට ස්වල්ප මොහොතකට පෙර නියෝග කර තිබේ.
පුත්තලම දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණඩාර මහතාට පහර දුන් බව කියන ප්‍රධාන සැකකරු ප්‍රමුඛ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අත තිබී රංගේ බණ්ඩාර මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගෙන් කොල්ල කන ලද ටී.56 වර්ගයේ ගිනි අවියද සොයා ගැනීමට හැකිවී තිබුණි.
සැකකරුවන් ගමන් ගත් අංක 32-6999 දරණ ජීප් රථය ද අත්අඩංගුවට ගන්නට හැකි වූ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. adaderqana

රංගේ බණ්ඩාරට මැර ප්‍රහාරයක්


එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සඳහා තේරී පත්වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට එම පක්ෂයේම පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදුකර තිබේ. හලාවත ප්‍රදේශයේ දී ඒ මහතාට පිරිසක් මෙලෙස පොලුවලින් පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැදුණු අපේක්ෂකයෙකු වන ශාන්ත අබේසේකර ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. බරපතල තත්ත්වයේ පසුවන පාලිත රංගේ බණ්ඩාර මහතා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව මාරවිල රෝහල සඳහන් කළේය. adaderana

ඡන්ද අඩුවීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්


මෙවර මැතිවරණයේදී විපක්ෂයේ කාර්ය භාරය ඉටුනොකිරීම ඡන්ද ප්‍රතිශතය අවම වීමට හේතුව බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
විපක්ෂය මෙම මැතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බව ඔහු සඳහන් කරයි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩුවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වු මරු පහරක් බව විපක්ෂයෙන් නඟන චෝදනා අසත්‍යක් බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු දැක්වු ඔහු ප්‍රකාශ කළේ ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම සාමකාමී රටක දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයක් බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ සපයන රාජ්‍යයන් වල පවා ඡන්දය ප්‍රකාශ කිරීම අවම මට්ටමක පවතින බව ද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.adaderana

ෆොන්සේකා අත්අඩංගුවේ සිටින්නේ වාසනාවටයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට පත්වූයේ ඔහුගේම වාසනාවට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
යම් හෙයකින් ඔහු අත්අඩංගුවට පත් නොවී වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් ප්‍රචාරක කටයුතු වල නිරත වූවානම් මේ තරම් ආසන සංඛ්‍යාවක් වත් ලබා ගන්නට හැකි නොවන බව ද ඔහු කියා සිටියේය.
‍ෆොන්සේකා මහතා අත්අඩංගුවේ සිටින නිසාත් අනුකම්පාව හිඟා කෑමට එමගින් අවස්ථාව සැලසුණු නිසාත් ‍ආසන 5 ක් දිනා ගන්නට ඔවුනට හැකි වූ බව ද වීරවංශ මහතා සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ලබා ගන්නට හැකි වූ ආසන 5 න් ජනතා විමුක්ති පෙරමුණට අයිති වන්නේ මන්ත්‍රීධූර 3 ක් පමණක් බවත්,එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජ.වි.පෙ ට ආසන 39 ක් දිනා ගැනීමට හැකි වූ බවත්,ඔවුන්ගේ පරාජයට හේතුව නායකත්වය විසින් දිගින් දිගටම ගනු ලැබූ වැරදී තීරණයන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.adaderana

අපරාධකාරියක් දැලේ


කටුනායක , සීදුව ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ කාන්තාවක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ඊයේ රාත්‍රීයේ සිදු කළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය...
එහි දී ඇය සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 4 කට වටිනාකමින් යුත් රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ....
අත්අඩංගුවට ගත් සැකකාරිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සීදුව පොලිසිය මේ සම්බන්ධ‍යෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

දකුණේ මහ ඇමති නිවසටත් මැර ප්‍රහාර


දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බව ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් නිවසේ ජනේල කිහිපයකට අලාභහානී සිදු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව අද අලුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නිවාස වලට ද මැර ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ. අම්බලන්ගොඩ ‍පොලිසිය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

වෙඩි තබා ඝාතනය කරයි


මහරගම , පන්නිපිටිය ගුවන් පාලම අසල ‍ දී මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
මෙසේ ඝාතනය වී ඇත්තේ පැලවත්ත , බත්තරමුල්ල ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
මොහු මුදල් සම්බන්ධ නඩු ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මහරගම පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

රට සංවර්ධනයට උපරිම තරුණ ශක්තිය


ජාතික සංවර්ධනයට රටේ තරුණ ශක්තිය උපරිමයෙන් යොදාගැනීම අනාගත ආණ්ඩුවේ අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙම ජයග්‍රහණයට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඍජුවම බලපෑ බව ඔහු පෙන්වා දෙයි. හම්බන්තොටට පමණක් සීමා ‍ෙනාවූ ජාතික සංවර්ධනයකට උරදීමට තමන් අපේක්ෂා කරන බව මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය. adaderana

මැතිවරණයට මුහුණ දුන්නේ බොහෝ දුෂ්කරතා මැදයි


අතිශයින්ම දුෂ්කර පසුබිමක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දීමට තම පක්ෂයට සිදුවූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සෑම අභියෝගයක්ම ජයගැනීමට තමාට හැකිවූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආත්ම ශක්තියෙන් බව ඒ මහතා සඳහන් කරයි. මැතිවරණය නිමාවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන්ම කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. adaderana

මහින්ද චින්තන ඉදිරි දැක්මට වැඩි ව‍ටිනාකමක්


මෙවර මහ මැතිවරණයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම සඳහා ජනතාව වැඩි ව‍ටිනාකමක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක පියසේන ගම‍ගේ මහතා පවසයි.
බටහිර කුමන්ත්‍රණ සහ කඩාකප්පල්කාරී බලවේගවලට මෙවර මැතිවරණ ප්‍රතිඵල මනා පිළිතුරක් ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉදිරියේ රැස්වන නව පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීම සඳහා විපක්ෂයේ සහය ද ලැබිය යුතු බව ගමගේ මහතා සඳහන් කරයි. රජයේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින්, ලබාගත් ජයග්‍රහණය භුක්ති විඳින ලෙස ගමගේ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. adaderana

ඔහු සිරකළත් ඔහුගේ හඬ සිරකරන්න බෑ


මෙවර මහ මැතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සතුටට පත්වන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
එමෙන්ම එම ජයග්‍රහණය වෙනුවෙන් ජනතාවට ස්තූතිවන්ත වන බවත් එම මහත්මිය අවධාරණය කරයි. සරත් ෆොන්සේකා මහතාට ඔහු ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව තමන් දැනුම් දුන් අවස්ථාවේ ඔහු නිහතමානීව සතුටු වූ බව ද ෆොන්සේකා මහත්මිය පෙන්වාදෙයි. නමුත් ජනතාව ඉදිරියට පැමිණ තම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් වෙත ස්තූති කිරීමේ අවස්ථාව අහිමිවීම පිළිබඳව සරත් ෆොන්සේකා මහතා කණගාටු වන බව ද ඇය සඳහන් කළාය. ෆොන්සේකා මහතා ලද ජයග්‍රණයෙන් පෙනීයන්නේ ඔහු සිරගත කළ ද ඔහුගේ හඬ සිරගත කළ නොහැකි බව යැයි ද ෆොන්සේකා මහත්මිය සඳහන් කරයි.
ඇය මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය.
මෙම මස 22 වන දින රැස්වන පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මහතා සිය මංගල කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම පක්ෂයක ප්‍රධාන අපේක්ෂකයකු රැඳවුම් භාරයේ සිටියදී මැතිවරණයකින් ජයග්‍රහණය ලද ප්‍රථම අවස්ථාව මෙය බව ද ඒ මහතා අවධාරණය කළේය. adaderana