Thursday, December 30, 2010

Sri lankan student killed in usa


Road Cam In Colombo

කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ වලට ප්‍රමුඛත්වය දිය යුතුයි


කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ හෝ ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදාළ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නිසිකලට ලබාදීමට ඊට සම්බන්ධ ආයතන කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා‍ පෙන්වා දෙයි.

මාතර නව නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද(30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මාතර නව රෝහල් සංකීර්ණය ඉදිකිරීම, ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග පුළුල් කිරීම, නිල්වලා ගංඟා නිම්නය සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබේ.adaerana.lk

ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට


2009 වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එක් දහස් අටසිය විසි හය දෙනෙකු වාර්තා වු අතර ඉන් 21 දෙනෙකු මියගොස් ඇති බව අ‍මාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් මේ වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වු ඩෙංගු රෝගීන් ගණන 645ක් වන අතර මියගොස් ඇත්තේ තිදෙනෙකු පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය වසරේ එම මාසය තුළ වාර්තා වු මරණ සංඛ්‍යාව පනහකි. adaderana.lk

මාතර නගරාධිපති ඉල්ලා අස්වෙයි


මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද(30) උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන්‍ වෙත ලබාදුන් බව අද දෙරණ කළ විමසීමකදී උපුල් නිශාන්ත මහතා පැවසුවේය.

මීට කළින් තමා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කළ ද තමාට එරෙහිව පරීක්ෂණ කමිටුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම තීරණය නොගත් බව උපුල් නිශාන්ත මහතා කියා සිටියි.

කෙසේ වෙතත් ඊයේ(29) වන විට අදාළ පරීක්ෂණ කොමිසමට තමා විසින් ලබාදීමට නියමිව තිබු ලිඛිත දේශනය ලබාදුන් බව ඔහු පවසයි.adaderana.lk

රාජ්‍ය‍ සේවක වැටුප් 5% න් ඉහළ නගියි


ලබන ජනවාරි පළමු වැනිදා සිට සෑම රාජ්‍ය‍ සේවකයෙකුගේම වැටුප 5% න් ඉහළ දැමීමට සහ රුපියල් 600ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මීට අදාළ චක්‍රලේඛය රජයේ සෑම ආයතන ප්‍රධානියෙකු වෙතම යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.adadera.lk

විද්වත් කමිටුවට වීසා දීමට සූදානම් -නමුත් සාක්ෂි දීමට පමණයි


ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළි සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල විද්වත් කමිටුවට වීසා ලබා‍දීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නමුත් අදාළ කමිටුව ශ්‍රී ලංකාවෙහි විමර්ශන කටයුතු සිදුකිරීමට විරුද්ධ බවත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කමිටුව වෙත ඔවුන් සාක්ෂි ලබාදීමට පැමිණෙන්නේ නම් පමණක් එම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන බව ද ඔහු සඳහන් කර ඇත.

අද(30) රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.adaderana.lk

ප්‍රවාහන ගැටලු වලට විසඳුම් දෙන්න ගමින් ගමට යයි


ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසෙමින් ඒවාට විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සංකල්පයකට අනූව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

පාසල් සිසුන්, රජයේ සේවකයින් මෙන්ම එදිනෙදා මහමග ගමන් ගන්නා ජනතාව ප්‍රවාහනය සම්බන්ධව විවිධ ගැටලු වලට මුහුණපාන බවට හඳුනාගෙන ඇත.

බොහෝ බස් ඩිපෝ කළමනාකරුවන් කළමනාකරණය පිළිබඳ දක්වන අඩු සැලකිල්ල මෙවැනි ගැටලු බොහෝමයකට හේතුවී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.adaderana.lk

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි


අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.

මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.

සිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේ

වෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.adaderana.lk

ලංකා, ශ්‍රී ලංකාට මාරුවෙයි


"සිලෝන්" යන නමින් ඇරඹෙන සියලුම රජයේ ආයතනවල නාමයන් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ(29) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළඹි බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

තවමත් සිලෝන් යන නම භාවිත වීම නොගැළපෙන බවත්, ජාත්‍යන්තර සම්මේලන වලදී පවා මේ වනවිට අපේ රට හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාව ලෙස බවත් ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා සඳහන් කළේය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිලොන් යන නාමය භාවිත වන අවස්ථා හා ආයතන පිළිබඳව හඳුනාගෙන එය ශ්‍රී ලංකා ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.adaderana.lk

වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්


වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.adaderana.lk

දුම්රිය පැමිණිලි, තොරතුරු හා යෝජනා සඳහා අමතන්න


දුම්රිය තුළ හෝ දුම්රිය පරිශ්‍රයන් ‍තුළ හදිසි අවශ්‍යතාවන් සඳහා මඟීන්ට තොරතුරු දැන ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හදිසි දුරකථන අංකයන් කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද(30) සිට එම දුරකථන අංකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

හදිසි දැනුම්දීමක් සඳහා 011 -3135202 දරන අංකයෙන් ප්‍රධාන දුම්රිය පාලක කාර්යාලයද, දුම්රියක් පිළිබඳව තොරතුරු විමසීමට 011 -2434215 දරන දුරකථන අංකයෙන් කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ විමසීම් අංශය ද ඇමතිය හැකි බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නව අදහස් හා යෝජනා ඇත්නම් ඒවා 071 4393102 දරන අංකයෙන් සැලසුම් අධ්‍යක්ෂටද, ආරක්ෂක කටයුතු සම්බන්ධව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මෙහෙයුම් කාර්යාලයේ 011 -2347988 දරන දුරකථන අංකයට ද ඇමතිය හැකිය.adaderana.lk