Sunday, February 27, 2011

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයිFebruary 27, 2011 04:40 pm

කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත

එදා රාත්‍රං,මිල මුදල් කොල්ලකරුවෝ අද අල,පරිප්පු කොල්ල කනවාFebruary 27, 2011 03:06 pm

අලුතෙන් මුද්‍රණය වූ 5000 නෝට්ටුවේ මීට පෙර මුදල් නෝට්ටුවල දක්නට ලැබුණු සිංහයා ලකුණ නැත්තේ ආණ්ඩුවේ වත්මන් භාවිතයට සිංහයා නොගැලපෙන බව ආණ්ඩුව කල්පනා කරන නිසා විය හැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මුදලේ වටිනාකම අද හෑල්ලූ වී ඇති නිසා රුපියල් පන්දහසේ නෝට්ටු මුද්‍රණය කරන්නට සිදුව ඇති බවත්,රුපියල් දහසකින් ගත් භාණ්ඩ මිලදී ගන්න අද රුපියල් පන්දහසකට වඩා වැය වන බවත් ජ.වි.පෙ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ වත්මන් භාවිතාවට අනුව නම් ගැලපෙන්නේ සිංහයෙකු නොව නරියෙකු බවත්,අද නාගරික ජනතාව විශාල අසීරුතාවකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(27)පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

"අද වන විට ජනතාවට දරා ගන්න බැරි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්. ආණ්ඩුව පනවන අධික බදු නිසා බඩු මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි, ඒකක 120ට වඩා පරිභෝජනය කරන නිවාසවලට, කර්මාන්ත ශාලාවලට, වෙනත් ආයතනවලට විදුලිය බිල 8%කින් ඉහළ නංවා තිබෙනවා. කර්මාන්ත ශාලාවල විදුලිය බිල ඉහළ ගියාම එහි නිෂ්පාදනය කරන භාණ්ඩවල මිලත් ඉහළ යනවා. අද වැඩි දෙනාගේ අවධානයට ලක් වෙන්නේ එළවළු මිල ඉහළ යාම පමණයි. නමුත් විදුලිය ගාස්තු ඉහළ යාම නිසා මදුරු කොයිල් එකේ සිට, සබන් කැටේ, දත් බෙහෙත් එකේ සිට මිල ඉහළ යමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි. පාසල්වල මූලික අවශ්‍යතා ඉටු කරන්න සිදු වී තිබෙන්නේත් දෙමාපියන්ට. ඩෙස්පුටු, කළු ලෑල්ල පමණක් නොවෙයි චෝක් කෑල්ල පවා අරගෙන දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ දෙමාපියන්ට. පොත් බෑගයට සල්ලි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

ආශ්චර්යවත් සෞඛ්‍ය සේවාවක් තිබෙනවා කියා ඇමතිවරයා කිව්වාට රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් තිබෙනවා. දඹුල්ල, කුරුණෑගල ඇතුළු රෝහල් ගණනාවක මී උණ රෝගීන්ට දෙන බෙහෙත් නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පමණක් පසුගිය දිනවලදී මී උණ රෝගීන් 119ක් වාර්තා වුණා. ඔවුන්ගෙන් 12 දෙනකු මරණයට පත්ව තිබෙනවා.

මේ අතරේ ආණ්ඩුව ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල ඉහළ නංවන්න ඉඩ දුන්නා. අපට තිබෙන ආරංචිවලට අනුව ඡන්දය අවසන් වූ ගමන්ම නැවතත් ඉන්ධන මිල ඉහළ යාමට නියමිතයි. එවිට බස් ගාස්තු, ත‍්‍රී වීල් ගාස්තු ඇතුළු ප‍්‍රවාහන සේවාවල මිල ඉහළ යනවා. එවිට නැවතත් බඩු මිල ඉහළ යනවා. කිරි පිටි මිල ඉහළ යාම ආණ්ඩුව දැන් තාවකාලිකව නතර කර තිබෙනවා. ඡන්දය ඉවර වූ විගස කිරිපිටි වගේම ගෑස් මිලත් ඉහළ යාමට නියමිතයි.

භාණ්ඩ මිල ඒ ආකාරයට ඉහළ ගොස් තිබෙන අතරේ ආණ්ඩුව අය කරන විවිධ ගාස්තු ඉහළ දමා තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ගාස්තු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, විදේශ ගමන් බලපත් ගාස්තු, සියලූම විභාගවල විභාග ගාස්තු ඉහළ නංවා තිබෙනවා. රුපියල් 200ක් වූ විභාග ගාස්තු රුපියල් දහසක් දක්වා වැඩි කර තිබෙනවා.

මේ නිසා අද පාරිභෝගිකයා පමණක් නොවෙයි සිල්ලර වෙළෙන්දා පවා අසරණ වෙලා ඉන්නවා. සිල්ලර වෙළෙන්දා අද බඩු විකුණා ගන්න බැරිව සිටිනවා. වෙනදා පොළට ආපු වෙළෙන්දා අද එන්නේ නැහැ. ඒ වගේම, ආණ්ඩුවට බදු ප‍්‍රතිපත්තියක් නැති නිසා තොග වෙළෙන්දාත් අපහසුතාවට පත්ව තිබෙනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුවට විසඳුම් නැහැ. ඒ නිසා පැලැස්තර අලවමින් සිටිනවා.

එළවළු ප‍්‍රවාහනයේදී පෙබරවාරි පළමුවැනිදා සිට ප්ලාස්ටික් බකට් අනිවාර්යය බවට නීතියත් ගෙනාවා. එවැනි තීරණයක් ගන්නා විට ගොවීන්ට, වෙළෙන්දන්ට බකට් හඳුන්වා දී තිබුණේ නැහැ. ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛනවලට අනුව ප්ලාස්ටික් බකට් ලක්ෂ හතක් අවශ්‍යයි. දැන් මාර්තු පළමු වැනිදා සිට නැවත ප්ලාස්ටික් බකට් අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ වන තුරුත් ඊට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිකුත් කර නැහැ. ක‍්‍රියාත්මක කරන්න හදන පැලැස්තර විසඳුමක්වත් හරියට කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ.

මේ තත්වය නිසා අද රට පුරා තැන් තැන්වල හොරකම්, මංකොල්ලකෑම් සිදු වෙනවා. කප්පම් ඉල්ලීම් වැඩි වී තිබෙනවා. ඉස්සර කොල්ලකෑවේ රත‍්‍රං හෝ මුදල්. නමුත් දැන් චින්තන ආශ්චර්යේ බලමහිමයෙන් වැඩිපුර කොල්ල කන්නේ අල, පරිප්පු වැනි අතශ්‍යවශ්‍ය ආහාර. පසුගියදා රත්මලානේ සිට අකුරැස්ස බලා අල, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ ලොරියක් කොල්ලකෑමට ලක් වුණා.

මේ අතරේ ආණ්ඩුව උත්සවවලට කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරනවා. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අමාත්‍යාංශයෙන් පමණක් රුපියන් තුන් කෝටි පනස් ලක්ෂයක් වැය කර තිබෙනවා. ඉන් එක් කෝටි අසූ දෙලක්ෂයක් වැය කර තිබෙන්නේ සංස්කෘතිකාංගයක් සඳහා. ඒ විතරක් නොවෙයි, හෙජිං ගනු දෙනුව නිසා කෝටි 700ක් විතර රටට අහිමි වී තිබෙනවා. මේ තරම් රටේ ප‍්‍රශ්න තිබෙන්නේ ඇමති මණ්ඩලයක් 95ක් පත් කළා. ඒ 95න් 10ක්ම කිසිම වගකීමක් නැති කාර්ය භාරයක් නැති ඇමතිවරු. ඒ බරත් අද දරන්න සිදු වී තිබෙන්නේ ජනතාවට. ආණ්ඩුවේ මේ නාස්තිකාරී වැඩ නිසා එහි බර ජනතාවට දරන්න සිදු වී තිබෙනවා. අද වාහන බලපත‍්‍ර ගාස්තු, විභාග ලියාපදිංචි වීමේ ගාස්තු වැඩි කරන්න සිදු වී තිබෙන්නේ මේ නාස්තිය නිසා. ඇමතිකම් නැති මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රාඩෝ ගන්න කෝටි 148ක් වැය කළා.

රජයේ ආයතනවල සිදු වන දූෂණ, වංචා වළක්වන්න වැඩපිළිවෙළක් නැහැ කියා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාම පිළිගෙන තිබෙනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අක‍්‍රිය කොට තිබෙනවා. ඒ නිසා කෝප් කමිටුව කිසියම් දූෂණයක්, අක‍්‍රමිකතාවක් සොයා ගත්තත් ඊට දඬුවම් කරන්න යාන්ත‍්‍රණයක් නැහැ." යයි කීවේය. මේ අයුරින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ මන්ත්‍රීවරයා ඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවත්,මාර්තු මස පළමුවැනිදා ප.ව. 3.00ට කැම්බල් පිටියෙන් එකී පාගමන ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරන බවත් අවසාන වශයෙන් කියා සිටියේය.

තානාපති සබඳතා දුෂ්කරයි-ඒත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වනවා February 27, 2011 12:58 pm

ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කිරීමේදී එහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කරගැනීම දුෂ්කර වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බී.බී.සී ලෝක සේවයේ සංදේශය වැඩ සටහනට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඇතැම් විට කඩින් කඩ තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණත් එය ප්‍රමාණවත් නොවන බවත් ඉතා සුළු මොහොතකින් එකී සබඳතාවය බිඳ වැටෙන බවත්අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලිබියාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු මේ වන විට ග්‍රීසියට පැමිණ ඇති බවත්,එම පිරිස ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ මොහොතේ පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

තවත් ශ්‍රී ලාංකිකයින් 400 ක් පමණ ලිබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින බව හා එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදන බවද හෙතෙම සඳහන් කර තිබේ.

ලිබියාවේ සිටින ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට නැවක් යැවීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බවත්එබැවින් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ හරහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය මගින් එකී නෞකාවටම නංවාගෙන ශ්‍රී ලාංකිකයින් පිරිසද ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බව විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවටම නැතත් අසල්වැසි ග්‍රීසිය,මෝල්ටාව වැනි රටකට හෝ ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ලිබියාවේ පවත්නා දැවැන්ත අර්බුදය නිසා මේ වන විට ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු ඉතාලි තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

නායකඩ කන්ද නාය යෑමේ අවදානමක්..!February 27, 2011 11:02 am

බදුල්ල , මීගහකිවුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලුකහකඳුර ගම්මානයට ඉහළින් ඇති නායකඩ කන්දේ නාය නායමත් සමඟ ගල් කඩා වැටීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම කන්දේ සිට පෙරළෙන ගල් කෙළින්‍ම පතිත වනුයේ ප්‍රපාතයේ පහළ ඇති විදුහලට බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම විදුහලට දරුවන් එවීමට පවා ප්‍රදේශවාසීන් බියක් දක්වන අතර අවදානම් සහිත නිවාස වල ජනතාව එයින් ඉවත්වී ඇති බවද වාර්තා වේ.

මීට දිගු කලකට ඉහත දී මෙම කන්දේ සිට දැවැන්ත නායයාමක් සිදුවීම හේතුවෙන් මෙම කන්ද නායකඩ කන්ද ලෙස නම් කොට තිබේ.

මේ පිළිබඳව කඩිනමින් භූ විද්‍යා පරීක්ෂණයක් පවත්වන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට පත්වීම් 3389 ක්February 27, 2011 10:44 am

රාජ්‍ය කළමනාකරණ සහකාර‍ සේවයේ තුන් වන පන්තියේ නව පත්වීම් 3389 ක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2009 වසරේ පවත්වන ලද විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබා දෙන බව රාජ්‍ය පර්පාලන හා ස්වදේශන කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය පවසන්නේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් පවත්වා අවසන් බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයට 376 දෙනෙකු , මහනුවර දිස්ත්‍රික්කයට 223 දෙනෙකු , ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 181 දෙනෙකු වන පරිදි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස මෙම පත්වීම් ලබා දීමට නියමිතය.

මෙම නව පත්වීම් ලබන අප්‍රේල් වන විට ප්‍රදානය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශන කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වහලයෙන් බිමට වැටී සිවිල් ආරක්ෂකයා මරුටFebruary 27, 2011 10:40 am

හලාවත , ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී වහලයකින් වැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

‍ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි.

සාලියවැව පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අඹකැලේ , බීජ පොල් පර්යේෂණ ආයතනයේ ‍ආරක්ෂක කටයුතු වල නිරත වී සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

වහලයෙන් බිමට වැටීමෙන් අනතුරට පත් වූ මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි.

ගුවන් හමුදාවේ මහ පුටුව භාරදීම අදයි-වැඩ ඇරඹීම හෙටයිFebruary 27, 2011 10:23 am

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා වෙත තමා මෙතෙක් දැරූ ධූරය නිල වශයෙන් පිරිනැමීම අද(27)සිදුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා පසුගිය දා පත්කරනු ලැබිණි.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් ‍ගුවන් හමුදා පරිශ්‍රයේ දී අද පස්වරුවේ නිල වශයෙන් ගුවන් හමුදාපතිධුරය භාර දීම සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

එයින් ඉක්බිතිව හෙට දිනයේදී(28)එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා සිය නව ධූරයෙහි වැඩ භාර ගැනීම නිල වශයෙන් සිදුකරන බව පැවසෙයි.

ගුවන් හමුදාපතිධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ

බස් නැවතුම්පොළක මළ සිරුරක්..!February 27, 2011 10:00 am

ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටි පුද්ගලයාගේ මුහුණේ සීරීම් තුවාල තිබූ බව කහවත්ත පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(27) ‍රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

මෙසේ මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කරයි.

මාර්තු 1 ට පෙර කටවුට් නොකවුට්ලු..?February 27, 2011 09:00 am

පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් , කටවුට් සහ බැනර් සියල්ල මාර්තු මස 1 වැනි දිනට පෙර ඉවත් කළ යුතු බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පළාත් පාලන මැතිවරණයට අදාළව පෝස්ටර් , කටවුට් සහ බැනර් විශාල වශයෙන් ප්‍රදර්ශනය කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙය මැතිවරණ නීතීය උල්ලංඝණය කිරීමක් වන බැවින් එම සියලු දෑ ඉවත් කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ගාමිණි නවරත්න මහතා පවසයි.

මාර්තු මස 1 වැනි දිනට පෙර එවැනි සියලු පෝස්ටර් , කටවුට් සහ බැනර් ඉවත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් එම සියලු දෑ ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන බව ද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දැව ජාවාරම ජයට ගෙන ගිය පොලිස් සැරයන් මාට්ටුFebruary 27, 2011 08:55 am

පොලිස් සැරයන්‍වරයෙකුගේ මූලිකත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දැව ජවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට අනුරාධපුර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

රුපියල් ලක්ෂ 2 ට අධික තේක්ක දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ලොරි රථයේ සිටි අනුරාධපුර නගරයේ ලී වෙළදසැලක සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් සැරයන්වරයා ව්‍යාජ බලපත්‍ර යොදා ගනිමින් කාලයක සිට මෙලෙස දැව ජාවාරමේ නිරත වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැයන්වරයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බව සඳහන්වේ..

ශ්‍රී ලංකාව පරදා පකිස්ථානය තියුණු ජයක් ලබයි February 26, 2011 10:51 pm

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද(26) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 11 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

‍ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 277 ක් රැස්කරනු ලැබීය.

‍ පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

මුරලි ලෝක කුසලාන වැඩිම කඩුලු ලැබූවන්ගෙන් දෙවන තැනට February 26, 2011 08:10 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තාවකට හිමිකම්කීමට අද(26) ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමත්විය.

‍ ඒ පකිස්ථාන කණ්ඩායම සමග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී 56 වන කඩුල්ල ලබාගැනීමත් සමගය.

‍ මීට පෙර එම ස්ථානයේ රැඳී සිටියේ කඩුලු 55 ක් ලබාගෙන සිටි පකිස්ථාන ක්‍රීඩක වසීම් අක්‍රම්ය.

‍ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත් කඩුලු 71 ක් ලබාගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයාට හිමි වාර්තාව උසුලයි

සංගක්කාරගෙන් ලෝක වාර්තාවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම දවාගැනීම් සංඛ්‍යාවක් සිදුකළ දෙවන කඩුලු රකින්නා ලෙස වාර්තාවකට හිමිකම්කීමට අද(26) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත්විය.

‍ ඒ පකිස්ථාන කණ්ඩායම සමග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී දවාගැනීම් 38 ක් සම්පූර්ණ කිරීමත් සමගය.

‍ දවාගැනීම් 52 ක් සමග ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ලෝක කුසලාන තරග තුළ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවක් සිදුකළ පළමු කඩුලු රකින්නාට හිමි වාර්තාවට හිමිකම් කියයි.

මාර්තු 01, 03 මීගමුව ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් වෙනුවෙන් මාර්තු මස 01 සහ 03 යන දෙදින තුළ මීගමුව නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

මීගමුන නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන, කටුනායක ආයෝජන කලාපය සහ කටුනායක ගුවන් හමුදාව යන ප්‍රදේශ වලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව එම දෙදින තුළ පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

එමනිසා ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස එම මණ්ඩලය ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දෙයි.

මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා ජනපති හමුවක්

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද(26) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

මාලදිවයින් ජනාධිපතිවරයා සහ දූත පිරිස වෙත අරලිය ගහ මන්දිරයේදී දිවා භෝජන සංග්‍රහය ද පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඊයේ(25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද රාත්‍රියෙහි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මාලදිවයින් ජනාධිපතිවරයා සමග මාලදිවයින් අමාත්‍ය මහමුද් රාසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුසා මනික්, ඉබ්‍රාහිම් මොහොමඩ්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් හුසේන් ෂිහාබ් යන පිරිස ද අදාළ අවස්ථාවට පැමිණ තිබේ.

එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රියංකර රත්නායක, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන, ජෙන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍ය අමාත්‍යවරියන් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසක් ද එක්වී සිටියහ.