Sunday, February 27, 2011

තානාපති සබඳතා දුෂ්කරයි-ඒත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වනවා February 27, 2011 12:58 pm

ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කිරීමේදී එහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කරගැනීම දුෂ්කර වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බී.බී.සී ලෝක සේවයේ සංදේශය වැඩ සටහනට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඇතැම් විට කඩින් කඩ තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණත් එය ප්‍රමාණවත් නොවන බවත් ඉතා සුළු මොහොතකින් එකී සබඳතාවය බිඳ වැටෙන බවත්අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලිබියාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු මේ වන විට ග්‍රීසියට පැමිණ ඇති බවත්,එම පිරිස ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ මොහොතේ පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

තවත් ශ්‍රී ලාංකිකයින් 400 ක් පමණ ලිබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින බව හා එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදන බවද හෙතෙම සඳහන් කර තිබේ.

ලිබියාවේ සිටින ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට නැවක් යැවීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බවත්එබැවින් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ හරහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය මගින් එකී නෞකාවටම නංවාගෙන ශ්‍රී ලාංකිකයින් පිරිසද ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බව විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවටම නැතත් අසල්වැසි ග්‍රීසිය,මෝල්ටාව වැනි රටකට හෝ ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ලිබියාවේ පවත්නා දැවැන්ත අර්බුදය නිසා මේ වන විට ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු ඉතාලි තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

0 comments:

Post a Comment