Tuesday, March 30, 2010

රන්මිණිතැන්න විවෘතයි


රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත විය. adaderana

එජාප රජයක් යටතේ 10,000 ක වැටුප වාරික 4කින්


තම ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් වාරික 4ක් යටතේ සිදුකරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා‍ මේ අදහස් පළ කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කර භාණ්ඩ මිල පහත හෙළීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය. ජංගම දුරකථන සඳහා පනවා ඇති බදු ද ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

සංවර්ධිත ‍දේශයක් වෙනුවෙන් කැපවෙනවා


ඒකීය රටක් මෙන්ම සංවර්ධිත ‍දේශයක් අනාගත පරපුරට උරුම කරදීමට තමන් කැපවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ ආර්ථිකය ශක්තිමක් කර සියලු ජනතාවගේ ජිවිත ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අද‍ පෙරවරුවේ අම්බලන්තොට දික්වැල්ලවත්තේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රටේ සංවර්ධන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

අප්‍රේල් 8න් පසු දැඩි තීන්දු ගන්නවා


අප්‍රේල් 8 වැනිදායින් පසු දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
මෙතෙක් දැඩි තීන්දු තීරණ ගනු ලැබුවේ මානුෂීය අයිතිවාසිකම් නැති කිරීම‍ට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කිරීමට නොවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මාතර කඹුරුපිටියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා මේ බව කියා සිටියේය.
දේශීය හා ‍විදේශීය ව‍ශයෙන් රටට එල්ල වන තර්ජන ගර්ජන මෙල්ල කර ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට දැඩි තීන්දු තීරණ ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. තුනෙන් දෙකක ජනවරමක් ලබාදී රජය සමඟ මෙරට ජනතාව සිටින බවට විදේශීය රටවලට පණිවිඩයක් ලබාදිය හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

සිව් මසක් තුළ සියලු උපාධිධාරීන්ට රැකියා


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවා සිව් මසක් තුළ රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර ගන්නා බව එස්.බී.දිසානායක මහතා පවසයි.
ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී. උසස් පෙළ , සාමාන්‍ය පෙළ මෙන්ම විවිධ ඩිප්ලෝමා සමත් වු දරුවන් තුන් ලක්ෂ 60,000 ක් පමණ මෙරට තුළ සිටින බව එස්.බී.දිසානායක මහතා පෙන්වා දෙයි.
එයින් ලක්ෂයකට මේ වසර තුළදී රැකියා ලබාදීමට පියවර ගන්නා බව එස්.බී.දිසානායක මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම වතුකරයේ උගත් තරුණ තරුණියන් හට මෙහිදී විශේෂ සැළකිල්ලක් දක්වන බව හෙ‍තෙම කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.බී. දිසානායක මහතා කියා සිටියේ විසි වන වරටත් මැතිවරණ පරාජයේ අභියස රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවයි. adaderana

රාජගිරිය නොසන්සුන්


රාජගිරියේ පවත්වන්නට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ මහ රැළියට අදාළ සැරසිලි පොලිසිය විසින් ඉවත් කිරීම නිසා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්යක් වර්ධනය වී ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
මෙම රැළිය අද සවස 3.00 ට රාජගිරිය නගරයේදී පවත්වන්නට නියමිතව තිබිණි.
එහෙත් ඊට අදාළ සැරසිලි,කටවුට් ආදිය ඉවත් කර ඇති අතර ඒවා සමහරක් පොලීසිය බාරයේ තබා‍ගෙන ඇති බවත්,එ.ජා.ප ආධාරකරුවන් ඒවා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙන බවත් අප වාර්තාකරු පවසයි. adaderana

පොලීසිය 58,700 යි-හමුදාව 19,500 යි


මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 219 ක් වාර්තා වී ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
එකී සිදුවීම් වලට අදාළව පුද්ගලයින් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්,එයින් 161 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති වගද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
ඉතිරි පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත්,මේ වන විට මඩකළපුව ප්‍රදේශයෙන් 24 ක්,මහනුවරින් 20 ක්,මාතලේ 13 ක්,කන්තලේ 12 ක් වන සේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
නුවරඑළිය ප්‍රදේශයේද බරපතල සිදුවීම් වාර්තා වීමට ඉඩ ඇති නිසා සාමය ආරක්ෂා කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය. මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 58,700 ක් ද ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 19,500 ක් ද යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ පැමිණිලි කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදීම කියා සිටියේය.

ඊට අමතරව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද සමන්විත පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජංගම මුර සංචාරයේ යෙදවීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.adaderana

ජංගම දුරකථනයටත් අකුණු එන්න පුළුවන්


අකුණු සහිත තද වැසි පවත්නා කාලගුණ තත්ත්වයක් අත්දකින්නට ඇති හෙයින් ජංගම දුරකථන භාවිතය අවදානම් සහගත බව කාර්යභාර කාලගුණ විද්‍යාඥ ඩී.ඒ ජයසිංහ ආරච්චි මහතා පවසයි.
අකුණු සහිත තද වැසි පවත්නා විට රැහැන් සහිත දුරකතන භාවිතය ඉතාමත් අවදානම් බවත්,ඒ තරමටම නොවුණත් ජංගම දුරකතන භාවිතයත් අවදානම් බවත් හෙතෙම කියා සිටියි.
මාතලේ- උකුවෙල ප්‍රදේශයේ වත්තක සිටි පුද්ගලයින් පස් දෙනෙකු අකුණු සැර වැදීමෙන් ඇතිවූ කම්පනමය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවූවත් එක් පුද්ලගයෙකු ළඟ තිබූ ජංගම දුරකතනයක් හේතුවෙන් මෙම අකුණු සැර වැදී ඇති බවද සඳහන් වේ.adaderana

නුවරඑළියට එස්.ටී.එෆ් කැඳවයි


නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් අතර දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අද දෙරණ වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති ගාමීණි නවරත්න මහතා සමඟ ද තමන් සාකච්ඡා කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජංගම රථ දිස්ත්‍රික්කය පුරා යෙදවීමට සැලසුම් කර ඇති බව ‍ ඩී.පී.ජී කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


කිලෝග්‍රෑම් 100 කට අධික ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හුංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රී රත්නවේල්ල මාර්ග බාධකයේ දී ලොරියක් පරීක්ෂා කිරීමේ දී මෙම ගංජා තොගය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ලොරියේ වහලයේ සකස් කර තිබුණු විශේෂ රහස් කුටියක් තුළ මෙම ගංජා තොගය අසුරා තිබූ බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

දැන් රටේ නීතියක් නෑ


රටේ නීතියක් නොමැති තත්ත්වයකට පත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
රජය මේ වන විට විපක්ෂයේ දේශපාලන නායකයින් මර්දනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරයි. කුරුණෑගල රීදීගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් දයාසිරි ජය‍සේකර මන්‍ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ඇතැම් පොලිස් ස්ථාන මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා කාර්යාලය ලෙස කටයුතු කරමින් සිටින බව ඔහු එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

ජනතා ගැටලු විසඳන මැතිවරණයක්


මෙවර මැතිවරණය ජනතාවගේ ගැටලු විසඳන මැතිවරණයක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
තරුණ තරුණයින්ට රැකියා අවස්ථා හිමි කර දීමට එහි දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඊයේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් සරත් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය. යුද්ධය අවසන් කර ඇති මේ මොහොතේ රට සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana