Friday, April 2, 2010

Paba

නිශාන්ත පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට


වයඹ පළාත් සභා මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා ලබන පස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පිස්තෝලයකින් පහරදී පුද්ගලයෙකුට තුවාල සිදුකරන ලදැයි පොලිසිය අධිකරණය හමුවේ දැක්වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව හලාවත දිසා විනිසුරු කේ.ශිවපත්තියර් සුන්දරම් මහතා අද මෙම නීයෝගය ලබා දුන්නේය. ඊයේ අළුයම එක්සත් ජනතා නිදහස් සන්ධාන අධාරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.adaderana

විශ්වාසය ආරක්ෂා කරනවා


පක්ෂය තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැමවිටම ආරක්ෂා කරන බවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක මොහොමඩ් මුසම්මිල් මහතා අද ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
මහජන ඡන්දයෙන් එක් පක්ෂයකින් තේරී පත්වී වෙනත් පක්ෂයකට මාරු වීම ද්‍රෝහිකමක් මෙන්ම වංචාවක් ද වන බව මුසම්මිල් මහතා පවසයි. ඒ අනුව තමා සැමවිටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ ප්‍රතිපත්තීන්ට ගරු කරන බව දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් මුසම්මිල් මහතා සඳහන් කළේය. කළේ ඡන්ද දායකයාගේ විශ්වාසය කඩකරන හෝ පක්ෂයේ ගෞරවය පළුදු වන කිසිදු ක්‍රියාවකට දායක නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana

ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට


අතුරුගිරිය හොරහේන ප්‍රදේශයේ සිදුවු ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු බත්තරමුල්ල තලාහේන ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. හොරහේන ප්‍රදේශයේ පිහිටි "නිව් සිටි" නිවාස සංකීර්ණයේ නිවසක් තුළ ඝාතනයට ලක්ව සිටි කාන්තාවක පොලිසිය විසින් සොයා ගත්තේ පසුගිය 27 වන දිනය.
මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී මියගිය කාන්තාව හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන්නියක් බව අනාවරණය වී තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු එම ප්‍රදේශයේම පදිංචි සැකකරු සහ මියගිය කාන්තාව සතුවු රන් ආභරණ සහ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය. adaderana

ආරක්ෂාව ගැන සතුටුයි


2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට දී පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සළසා ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වන බව අයි.සී.සී. උප සභාපති ශාවඩ් පවර් මහතා පවසයි.
තරගාවලිය පැවැත්වීමට සුදුසු ආරක්ෂක තත්ත්වයක් මෙරට පවතින බව තමන් විශ්වාස කරන බව ඔහු පැවසුවේය. ශාවඩ් පවර් මහතා මේ අදහස් පළ ‍කළේ 2011 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ අතර අදාළ තරගාවලියේදි මෙරට පැවැත්වෙන ක්‍රිකට් තරග සඳහා අවම ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 50 දක්වා පහළ හෙලීමට තීරණය කර ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රි ලංකාවේ ලෝක කුසලාන ක්‍රිකට් කමිටු සංවිධාන ප්‍රධානී සුරාජ් දන්දෙනිය මහතා පැවසු‍වේය. මීට අමතරව මේ වසරේ ජුනි පළවැනිදා සිට අන්තර්ජාලයෙන් ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව ද අන්තර්ජාතික ක්‍රිකට් කමිටු සභාපති හරූන් ලෝගාට් මහතා පවසා සිටියේය. adaderana

පෙට්‍රල් ප්‍රමාදයට හේතුව නව හඳුන්වාදීමක්


දිවයින පුරා ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථ‍ාව අවධාරණය කරයි.
කෙසේ වෙතත් ඉන්ධන බෙදා හැරීමේ සුළු ප්‍රමාදයක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේය. ඉන්ධන බෙදා හැරීම සඳහා ටර්මිනල් සමාගමට හඳුන්වා දුන් නව පරිඝණක ක්‍රම‍වේදයක් හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බව විජේතුංග මහත්මිය අවධාරණය කළේය. එම තත්ත්වය මග හැරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව ද ඇය ප්‍රකාශ කළේය. adaderana

කප්පම් ගැනීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට


හැටන් ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි තුනහමාරක පමණ කප්පම් මුදලක් ගැනීමට තැත් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්ය. මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය පැවසුවේය.
හැටන් ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු‍‍ වෙත දුරකථනය මගින් තර්ජනය කරමින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර අධිකරණ නියෝගයක් මත පොලිසිය විසින් අදාළ දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. පසුව කප්පම් ගෙවන බවට සඳහන් කරමින් ව්‍යාපාරිකයා‍ගේ නිවසට සැකකරුවෙකු ගෙන්වා ගෙන ඇති අතර එහි දී ඔහු අත්අඩංගුවට ‍ගෙන තිබේ. ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටිය දී සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. adaderana

ජනතා සිහින මල් ඵල ගැන්වීමට කැපවෙනවා


කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑ අහිංසක ජනතාවගේ අනාගත සිහින මල් ඵල ගැන්වීමට තමා කැප වී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාති, ආගම්, කුල භේදය අමතක කොට රට ගොඩනැගීමේ කාර්යයට උර දීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වව්නියාව මහ නගර සභා පිටියේ දී ඊයේ පස්වරුවේ දී පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
වන්නි ප්‍රදේශයේ ජනතාවට නවීන පහසුකම් භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ යෙදීමේ අවශ්‍යතාව හැකි ඉක්මනින් උදා කරන බව එහි දී වැඩි දුර‍ටත් අදහස් දැක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ප්‍රදේශයේ වාරි මාර්ග සඳහා අවශ්‍ය ජල පහසුකම් ඉක්මනින් ලබා දෙන බවට ද ජනාධිපතිවරයා එහි දී පොරොන්දු වී තිබේ.adaderana

මන්ත්‍රීවරුන් පත් නොකිරීම අයිතීන් කඩකිරීමක්


පාර්ලිමේන්තුවේ පුරප්පාඩු සඳහා මන්ත්‍රීවරුන් පත් ‍නොකර සිටීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ව්‍යවස්ථාදායකය ක්‍රියාවට නැංවීමේ අයිතිය පැහැර හැරීමක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම්.එම්.එම්.මුස්තාෆා, ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන්ට ලබන 6 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී දිවුරුම් දීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් කතානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මන්ත්‍රීවරයෙකුට දිව්රුම් දීම වැළැක්වීමේ කිසිඳු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව මඟින් පනවා නොමැත. යම් හෙයකින් එසේ දිව්රුම් දීම වළක්වාලුවහොත් එය පාර්ලිමේන්තු මහලේකම් සහ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව විපක්ෂනායකවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය මන්ත්‍රීධූරය අහිමි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන්ට තව දුරටත් ඇමති සහ මන්ත්‍රී වරප්‍රසාද ලබා දීමකි.
ඔවුන් පාර්ලිමේන්තු රැස්වීමේ සඳහා සහභාගී වීම ආගන්තුකයන් පාර්ලිමේන්තු රැස්වීමේ සඳහා සහභාගී වීමක් බැවින් එය පාර්ලිමේන්තු වරප්‍රසාද පූර්ණ වශයෙන් කඩ කිරීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපිය මගින් දන්වා සිටියි. එබැවින් අදාළ පුද්ගලයන්ට නව මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේ අවස්ථාව ලබන 6 වනදා ලබා දිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වෙත වැඩි දුරටත් දන්වා සිටියි. මේ සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවට ද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි. adaderana

ක්‍රීඩා සමාජ තුළින් තරුණ පරපුරට විදේශ රැකියා


ක්‍රීඩා සමාජ තුළින් තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
ක්‍රීඩා සමාජ තුළ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බවට සමීක්ෂණ වලින් හෙළි වී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. මෙම පිරිස හඳුනාගෙන වෘත්තීය පුහුණුව ලබා දීමෙන් පසු විදේශ රැකියා සඳහා යොමු කරවීම වැඩසටහනේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
ඒ යටතේ සූරිය වැව, ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ලියාපදිංචි ක්‍රීඩා සංගම් 70 ක් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වීමට නියමිතය. මීට පෙර උඩුනුවර, මිනුවන්ගොඩ සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ක්‍රීඩා සංගම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රීඩා උපකරණ බෙදා දී ඇත.adaderana

තීන්දු ගන්නේ සිසු දරුවන් වෙනුවෙන්


නිලධාරීන් සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවට තමන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නේ ලක්ෂ 40 ක් පමණ වූ සිසු දරුවන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කිසිදු අහිතකර තීන්දුවක් තමන් නොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ඉසුරු පාසලක් බවට පත් කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයක දී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව ප්‍රකාශ කළේය. වසර 13ක් ප්‍රමාදව පැවති විදුහල්පති සේවාවේ පත්වීම් සහ උසස්වීම් ලබා දීමට තමා පියවර ගත් බව එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adadera

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්


සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.
ඒ අනුව අප්‍රේල් 7 වන දා සිට අප්‍රේල් 18 වන දින දක්වා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලය පවසයි. කොළඹ කොටුව සිට බදුල්ල, රඹුක්කන, මහව, ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වෙත විශේෂ දුම්රිය ධාවනය වන අතර එම ප්‍රදේශ වල සිට කොළඹ දක්වා පැමිණීමට ද දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ යටතේ ‍අප්‍රේල් මස 7 , 9 , 10 , 11 සහ 12 යන දිනවල දී රාත්‍රී 7 . 20 ට කොළඹ කොටුවෙන් බදුල්ල දක්වාත් 9 , 10 , 11 සහ ‍12 දින වල පෙරවරු 9 .15 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය කිරීමට නියමිතව ඇත.
අප්‍රේල් මස 12 වන දින රාත්‍රී 7 .30 ට ද රඹුක්කන දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙයි. මේ මස 7 වන දින පෙරවරු 8.45 ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා තවත් දුම්රියක් ධාවනය වීමට නියමිතය. මීට අමතරව දිනපතා ධාවනය වන දුම්රිය සඳහා අලුතින් මැදිරි එක් කිරීමට ද පියවර ‍ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලය සඳහන් කළේය. adaderana