Tuesday, March 9, 2010

හාල් ගැන පුළුවන්-බිත්තර ගැන බෑ


යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
වන විට සහල් අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළෙඳපොළේ පවතින බවත්,සහල් ආනයනය මේ වන විට නතර කර ඇති බවත්, එසේ කරනු ලැබුවේ දේශීය සහල් ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඇමතිවරයා කියා සිටියේය.
2012 වන තෙක් සහල් සම්බන්ධයෙන් තමා වග කියන වගද ඔහු පැවසීය. ‍වෙළෙඳපොළේ සහල් මිල අත්තනෝමතික ලෙස වැඩි කරන අයට හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්,පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කුකුල් මස් කිලෝවක උපරිම මිල රු.350 ක් විය යුතු බවත්,බිත්තර සම්බන්ධයෙන් තමන්ට වග කිව නොහැකි බවත් ඇමතිවරයා පැවසීය. බිත්තර මිල පිළිබඳ වගකීම දරනු ඇත්තේ පශු සම්පත් අමාත්‍යංශය බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ada

ත්‍රස්තවාදය නැතත් ආරක්ෂාව ඕනෑ


ත්‍රස්තවාදය නැති නිසා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැතැයි එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
‍ හදිසි නීතියේ මුවාවෙන් ආණ්ඩුව සිය පටු දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන නිසාම අද හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගත් බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ත්‍රස්තවාදය තුරන් වී ඇත්නම් හා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැත්නම් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නඟින්නේ නැතිනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගත්තේ ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරක්ෂාව ලබා දිය යුතු බවය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම පැවසීය. 19 දින සිට මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත්,ප්‍රථම රැළිය යාපනයේ පවත්වන බවත් මහ ලේකම්වරයා පැවසීය.ada

ෆොන්සේකාට වරප්‍රසාද දෙන්න බැඳී නෑ


අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විවිධ පහසුකම් ඉල්ලා සිටියද එකී පහසුකම් ලබා දෙන්නට රජය හෝ හමුදාව හෝ බැඳී නැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
හමුදා අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ට පහසුකම් ඉල්ලීමේ වරප්‍රසාදය හිමි නොවන බව හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකින් පසු අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමිනි.සරත් ෆොන්සේකා මහතා යම් සැකයක් මත අත්අඩංගුවට ගෙන මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙකු බවත්,එවැනි සැකකරුවෙකු සම්බන්ධයෙන් වරප්‍රසාද ලබා දිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටියදී යුද අධිකරණයට පමුණුවන ලද හමුදා නිලධාරීන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් තමන්ට කෙතරම් අකටයුතු කම්වලට ලක්වීමට සිදුවූවාද යන්න පිළිබඳ ප්‍රකාශ කර ඇති වග හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය. ada

හදිසිය"හදිසියේ සම්මතයි


අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක්ද විපක්ෂව ඡන්ද 24 ක්ද ලැබීමෙන් වැඩි ඡන්ද 69 න් සම්මත විය.
ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත..
පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී යළි කැඳවීමට ජනාධිපතිවරයාට හිමි බලතල උපයෝගී කර ගනිමින් හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා අද දින පාර්ලිමේන්තුව යළි රැස් කෙරිණි.
එසේම අප්‍රේල් මස 06 වන දින හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී මේ අයුරින් පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා හදිසියේ කැඳවූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.
2001 සැප්තැම්බර් මස 14 වන දින එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සමයේදීද මේ අයුරින්ම පාර්ලිමේන්තුව හදිසයේ කැඳවා තිබේ. ada

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් මරුට


කුරුණෑගල බඩගමුව රක්ෂිතයේදී සිදුවු වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි පොලිසිය ‍විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත. මීනිමැරුම් 28 කට සහ කොල්ලකෑම් 15 කට සම්බන්ධ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.br>
පසුගියදා පන්නල පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ රාත්‍රියේදී පොලිස් අත්අඩංගුවෙන් පැන ගොස් තිබේ.
මෙම පාතාල සාමාජිකයන් දෙදෙ‍නා බඩගමුව රක්ෂිතයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදි පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් ජිවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පාතාල සාමාජිකයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහේස්ත්‍රාත් නිමල් රණවක මහතා විසින් අද‍ පෙරවරුවේ සිදුකරන ලදී.

අප්‍රේල් වනවිට රනිල්ව අගමැති කරනවා


ලබන අප්‍රේල් මාසය වන විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජය කිරීමෙන් අනතුරුව විපක්ෂය බලය තහවුරු කරගන්නා බවය. වත්තල පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජයලත් ජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයද මෙවර පරාජය කරන බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා සඳහන් කළේය. ada

නොරොච්චෝලේ හදිසි ගින්නක්


කල්පිටිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාර‍යේ පිහිටි බඩු ගබඩාංගනයක හදිසි ගින්නක් ඇති වී තිබේ.
අද අළුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා නොමැති අතර එහි තිබූ බට සහ නල තොගයකට අලාභ හානී සිදුවී ඇති බව සඳහන්ය. පලාවිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ වැඩ බිමෙහි කම්කරුවන් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. ada

මත්පැන්හල් සඳහා අවසර නොදිය යුතුයි


මත්පැන්හල් විවෘත කිරීම සදහා අවසර ලබානොදෙන බවට සියලුම අපේක්ෂකයින්ගෙන් ප්‍රතිඥාවක් ලබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
තම පාලන කාලය තුළ මත්පැන්හල් ආරම්භ කිරීම සඳහා අවසරයක් හෝ අනුබලයක් ලබාදී නොමැති බව එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. එබැවින් මෙවැනි ඉල්ලීමක් කිරීමට සදාචාරාත්මක අයිතියක් තමාට ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හරගම, පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අප රට ත්‍රස්තවාදීන්‍ට ගොදුරු කිරීමට උත්සාහ දැරූ විදේශීය බලවේග, ඉදිරියේදී ද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළ හැකි බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. ada

බලය බෙදීමේ ක්‍රමයක් අවශ්‍යයි


සියලු ජනකොටස් වල ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා බලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
යුද්ධය නිමා වීමෙන් පසුව රජය මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. මුස්ලිම් නියෝජිත පිරිසක් සමග කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මිලින්ද මො‍රගොඩ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ වාසය කරන මුස්ලිම් ජනතාවට පවතින ප්‍රශ්න ඉදිරි කාලසීමාව තුළ විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. ada