Sunday, May 2, 2010

කිරිඇල්ල එජාපයෙන් ඉවත්වන්න යයි


(ලංකා ඊ නිව්ස් 2010 මැයි 01, ප.ව.4.55) මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ලක‍ෂ්මන් කිරිඇල්ල මහතා එජාපයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ඉදිරියේ කටයුතු කිරීමට සූදානම් වෙයි.
විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය කිරිඇල්ල මහතාට ලබාදෙන බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වූ පොරොන්දුව කඩකිරීම නිසා දේශපාලන වශයෙන් කිරිඇල්ල මහතා කලකිරී සිටින බව වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කිරිඇල්ල මහතා විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කිරීමට නිර්දේශ කිරීමට සූදානමින් සිටි අතර එම නිර්දේශයට පෙර ජෝන් අමරතුංග මහතා එම ධුරයට පත් කිරීමට එජාප නායකත්වය ගත් තීරණයට පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩිදෙනකුට නොසතුට පළකොට තිබේ.
ජෝන් අමරතුංග මහතාට එම ධුරය ලබාදුන්නේ කතෝලිකයකුට තනතුරක් දිය යුතු නිසා බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබේ. එජාපයේ සමහර මන්ත්‍රීවරුන් පවසන්නේ අමරතුංග මහතා පිල් මාරු කරන්නට සිටි සූදානම වළක්වා ගන්නට මේ තනතුර ඔහුට දුන් බවයි.

ජය වේ සොයුරනි...!


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නගරසභා පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට සහභාගී වෙමින් ජනතාවට ආචාර කළ අයුරු.රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. adaderana

විය පැහැදම් විධිවිධාන වලට අනුවයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සෑම ක්‍රියාවලියක්ම සිදුකරන බව ඔහු සඳහන් කරයි.
මේ වසරේ මුල් මාස හතර අතුරු සම්මත ගිණුමක් මගින් ද , තවත් මාස තුනක් ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මුදල් වෙන්කිරීමක් මගින් ද , සෙසු මාස පහ සඳහා කෙටි කාලීන අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම මගින් ද , රජයේ කටයුතු සැළසුම් කර ඇතැයි කබ්රාල් මහතා සඳහන් කළේය.
විපක්ෂය එල්ල කරන පරිදි රජය මුල්‍ය අර්බුදයකට මුහුණ දී නොමැති බව මහ බැංකු අධිපතිවරයා"අද දෙරණ"කළ විමසීමකදී ප්‍රකාශ කළේය. adaderana

තනිව තරග කළේ ගැටුම් වළකන්නයි


පසුගිය මැතිවරණයේදී ටී.එම්.වී.පීය තනිව තරග කරනු ලැබුවේ නැඟෙනහිර පළාතේ යළි ද්‍රවිඩ-මුස්ලිම් අරගලයක් මතුවන්නට ඉඩ දිය යුතු නැති නිසා බව නැඟෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
මඩකළපුව බස් නැවතුම්පළේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයටකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ටී.එම්.වී.පී ය හැටියට තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තනිව තරග කළ නිසා එක් ආසනයක් දිනා ගැනීමට හැකි වූ බවත්,අනෙක් පක්ෂ සමග එක්ව තරග කළා නම් ආසන තුනක් දිනා ගැනීමට හැකියාව තිබූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අයුරින් තමන්ට ආසන තුනක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේනම් එය ද්‍රවිඩ-මුස්ලිම් මතභේදයකට තුඩුදිය හැකිව තිබුණු බව ඔහු පැහැදිලි කළේය.
එක්ව තරග කළානම් පළාත් අමාත්‍ය හිස්බුල්ලා මහතාත්,හිටපු අමාත්‍ය අමීර් අලී සහ අලි සහීර් මව්ලානා යන තිදෙනාටම ජය ගැනීමට හැකියාව තිබූ බවත්,එසේ වන විට එක්සත් ජාතික පක්ෂයෙනුත් මුස්ලිම් ජාතිකයෙක් තරග වදින නිසාවෙන් මඩකළපුව දිස්ත්‍රීක්කයෙන් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට පාර්ලිමේන්තුවට තේරි පත්වන්නට අවස්ථාව සැලසෙන බවත් චන්ද්‍රකාන්තන් මහතා පෙන්වා දෙයි.
ඒසේ වූයේ නම් මඩකළපු දිස්ත්‍රීක්කයේ ජනගහනයෙන් 25% ක් පමණ වන මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මුස්ලිම්වරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්වෙද්දී මඩකළපු දිස්ත්‍රීක්කයේ 75% ක් වන බහුතර ද්‍රවිඩ ජනයා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නියමිතව සිටියේ එක් නියෝජිතයෙක් පමණක් බවත්,එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ-මුස්ලිම් ගැටුමක් ඇතිවීමට තුඩුදෙන කරුණක්වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
එබැවින් දුරදිග බලා තනිව තරග කිරීමට කටයුතු කළ බව නැඟෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

සජිත්ට නායකත්වය දිය යුතුයි


සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ජෝන් අමරතුංග මහතා පවසයි.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් ක‍රයි.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 17 වැනි ගුණසමරුව වෙනුවෙන් රද්දොළුගම ප්‍රදේශයේ පැවැති සමරු උත්සවයකට එක්වෙමින් ජෝන් අමරතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් රජය නව යෝජනා ක්‍රම කිසිවක් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවයි.adaderana

අයවැයක් නොගෙනාවොත් ව්‍යවස්ථාවට පටහැණියි


රට තුළ බරපතල මූල්‍ය අර්බුදයක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රජය අයවැයක් ඉදිරිපත් නොකර අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළහොත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.
අයවැයක් ගෙන ඒමට තරම් සැලැස්මක් නොතිබීම තුළින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

නාවලපිටිය වාර්තාව සූදානම්


මහනුවර, නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශ‍යේ සිදුවූ දූෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන විනය කමිටු වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බව එම කමිටුවේ ප්‍රධානී ඩබ්ලිව්.ජේ. කරුණාජීව මහතා පවසයි.
මේ වන විට ඒ සඳහා වූ සියලු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව කරුණාජීව මහතා අද දෙරණට සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 8 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිදු වූ ඡන්ද අක්‍රමිකතා හේතුවෙන් එම ඡන්ද කොට්ඨාසයේ ඡන්දය ශුන්‍ය කරනු ලැබිණි.
එම ඡන්ද අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ කණ්ඩායමක් පත් කළ අතර ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
ඒ වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දෙන දිනක එය භාර දීමට සූදානම් බවත් කරණාජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. adaderana

නිමල් සිරිපාලට දිනේෂ්ට තනතුරු


පාර්ලිමේන්තු සභානායක ධුරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් පිරිනමා ඇති බව සඳහන් වේ.adaderana

බදුල්ල ජලයෙන් යටවෙයි


බදුල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රීයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලව්වත්ත , පිලිපොතගම , අතගොල්ල , නඩුකාරකන්ද , පිංඅරාව යන ප්‍රදේශ කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබේ.
ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ප්‍රදේශයේ නි‍වාස කිහිපයක් සහ බදුල්ල මහ රෝහල ද ජලයෙන් යට වී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
ජලයෙන් යට වූ මාර්ග පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වැඩිදුරටත් පවසා සිටියේය.. adaderana

පිහි ඇනුමකින් අයෙක් මරුට


සීදූව , ලියනගේමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.. ඊයේ රාත්‍රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් මාධය ප්‍රකාශ ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු ව ඇති බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිතය.
ඝාතනය සිදු කළ පුද්ගලයා පිළිබඳ ‍තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

වීදි ළමුන් 32 ක් පරිවාස භාරයේ


වීදී ළමුන් සමාජ ගත කිරී‍මේ වැඩසටහනට සමගාමීව මේ වන විට වීදී ළමුන් තිස් දෙදෙනෙකු පරිවාස භාරයේ රඳවා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
කොළඹ නගරය අවට සිටි වීදි ළමුන් තිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත් කොට ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට වීදී ළමුන් සමාජ ගත කිරීමේ මෙම වැඩ පිළිවෙළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබිණි.. ඒ අනුව වීදී ළමුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහන ඉදිරියට විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

පුරා වස්තු සොරුන් පහක් කොටුවෙයි


උප්පුවේලි , විල්ගම්වෙහෙර කැලෑ ප්‍රදේශයක පුරා වස්තු සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු උප්පුවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ..
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම පුද්ගලයින් නටබුන් වූ වැවක කැණීම් කටයුතු සිදු කරමින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් හය දෙනෙකු පළා‍ ගොස් ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබූ මෝටර් රථයක් සහ කැණීම් කටයුතු සඳහා යොදා ගත් උපකරණ රැසක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මීට අමතරව සොරකම් කරන ලද පුරාවස්තු රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ නියෝගයක් මත රඳවා තබා ගෙන පරීක්ෂණ සිදු කරන බව උප්පුවේලී පොලිසිය පවසයි.. adasderana

පාන් රුපියලකින් නඟියි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක පාන් රාත්තලක මිල රුපියලකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
තිරිඟු පිටි මිල වැඩි වීම හේතුවෙන් පාන් මිල මෙසේ රුපියලකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු පවසන්නේ පසුගිය දා සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති බවයි. ඊයේ රාත්‍රීයේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විසින් මෙම තීරණය ගත් බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පාන් රාත්තලක මිල වැඩි වුවද අනෙක් බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.. adaderana

බස් රථ වල හිඟමනට තහංචි


පෞද්ගලික බස් රථ වල වෙළඳාම් කිරීම සහ සිඟමන් යැදීම තහනම් කරමින් පනවා තිබෙන නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මෝටර් රථ ආඥා පනත යටතේ සහ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ බලපත්‍ර ‍කොන්දේසි යටතේ පනවා ඇති මෙම නීති අද සිට බලාත්මක කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
පසුගිය කාලය පුරා අනවසර වෙළෙන්දන් සහ යාචකයින් හේතුවෙන් මගී ජනතාවට විඳින්නට සිදු වූ පීඩා ඉහළ යාම හේතුවෙන් නීතී බලාත්මක කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ බව විජේරත්න මහතා අවධාරණය කරයි. ඔහු සඳහන් කළේ නීතී ක්‍රියාත්මක කිරීම සඳහා මගී ජනතාවගේ සහය ද අත්‍යවශ්‍ය බවය. මෙම නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් බස් රථ සේවකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

රට ගැන හිතා වැඩ කළ යුතුයි -සජිත්


යල් පැන ගිය රාමු වලට සිර නොවී රට ගැන සිතා කටයුතු කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතෘ භූ‍මියේ ජනතාවට ජයග්‍රහණ අත් පත් කර දිය හැක්කේ එවැනි ක්‍රියාමාර්ග තුළින් පමණක් බව සජිත්‍ ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පිහිටි දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි. ජනතාවට ජයග්‍රහණ අත් කර දීම සඳහා හිටපු ‍ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා ගෙන ගිය වැඩපිළිවෙල ආදර්ශයට ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදු‍රටත් ප්‍රකාශ කළේය. adaderana