Friday, February 12, 2010

ගෝඨාගේ සල්ලි කතාව නිසා ආණ්ඩුව බරපතල අර්බූදයක



පසුගිය ජනාධිපතිවරණයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අමෙරිකානු රජය හා නෝර්වේ රජය විශාල මුදල් ආධාර ලබා දුන් බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ක‍ර තිබූ ප්‍රකාශයක‍් හේතුවෙන් මේ වන විට බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් මතුව ඇත. ආරක්ෂක ලේකම්වරයා ‘ස්ටේ‍රට් ටයිම්ස්’ පුවත්පතට ඊයේ (11) දිනයේ දී සාක‍ච්ඡාවක් ලබා දෙමින් කියා සිටියේ අමෙරිකාව සහ නෝර්වේ රජය සෘජුවම සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් ආධාර ලබා දුන් බවකි. නමුත් ආරක්ෂක‍ ලේක‍ම්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප ක‍රන නෝර්වේ රජය සහ අමෙරිකානු රජය සෘජුවම ප්‍රකාශ කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අසත්‍ය එක‍ක‍් බවත්, තම රජයන් කිසිඳු විටෙක‍ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මුදල් ආධාර ලබා දී නොමැති බවත්ය. මෙහිදී නෝර්වේ රජය නිවේදනයක‍් නිකුත් කරමින්, තමන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන බව සඳහන් කොට ඇති අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ දී තම රජය කිසිදු අපේක්ෂක‍යෙකුගේ පාර්ශ්වයක් නොගත්ත ද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පමණක් රජයට බලකර සිටි බවකි. Mirasa.or

ඡන්ද පෙත්සම වැළැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය අධිකරණය හමුවේ පරාජයට පත්වුණා - සෝමවංශ අමරසිංහ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන ගොස් ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඡන්ද පෙත්සම වැළැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පරාජයට පත්වූ බව ‍ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‍ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණයේදී විභාගයට ගැනීමට අවසරදීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමරසිංහ මහතා, "සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන යාමේ ප්‍රධාන හේතුව ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව එතුමා ඉදිරිපත් කරන ඡන්ද පෙත්සම වැලැක්වීම ලෙසයි අප දකින්නේ. ආණ්ඩුව එය වලක්වන්නේ වෙන යමක් නිසා නොවෙයි. ආණ්ඩුව ඡන්ද නීති උල්ලංඝනය කළා ඊට සාක්ෂි තියනවා, එනිසා ආණ්ඩුව බයේ ඉන්නේ.
නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්ද පෙත්සමක් ගොනු කිරීමට එතුමාට අවශ්‍ය කරන සියලු කටයුතු සිදුකිරීමේ අවස්ථාව අවසරය ලබාදුන්නා. එය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක්. අපි විශ්වස කරනවා එළඹෙන 23 වැනිදා ෆොන්සේකා මහතා ඔහුට නගා ඇති සියලු චෝදනාවලින්ද නිදහස් වෙයි කියලා. " යැයි පැවසූහ.

සංවේදී යැයි කියාගත් උදවිය රටේ වත්මන් තත්වයට සංවේදී නැත්තේ ඇයි - කලාකරුවෝ ප්‍රශ්න කරති



පසුගිය සමයේ සංවේදීකම වෙනුවෙන් පෙනීසිටි පිරිස් මේවන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය අභියෝගයට ලක්කරමින් සිදුවෙමින් තිබෙන ක්‍රියාවලියට සංවේදී නොවන්නේ මන්දැයි ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය පළ කරන කලාකරුවන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ රටේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට විරෝධ්‍ය පළ කරමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මාධ්‍ය හමුවේදී කලාකරුවන් දැක්වූ අදහස් පහත දැක්වේ
වසන්ත මොරගොඩ
අපි කලාකරුවන් ලෙස පසුගිය මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, යහපාලනය වෙනුවෙන් පෙනී සිටියා. අපි අදත් ඒ අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක ජයග්‍රහණය සහ පරාජය ඒ ඒ පාර්ශ්ව පිළිගන්නවා. නමුත් අද සිදුවෙමින් තිබෙන්නේ ඒ ප්‍රතිඵලය පිළිගත නොහැකි තත්වයක්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නවා, මාධ්‍ය ආයතන සීල් තබනවා. සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. මේවා සංවේදී හදවතක් තියන කලාකරුවන්ට අනුමත කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන්, නිර්මාණ කරුවන් මේ මර්ධනයට එරෙහිව මීට වඩා පෙරට ආ යුතුයි. සංවේදීකම වෙනුවෙන් පෙනී සිටි පිරිස් මේ කාරණයේදී සංවේදී වියයුතුයි. කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් යුද වීරයා නිදහස් කර ගැනීම සදහා සියලු දෙනා පක්ෂ පාට නොබලා පෙරට ආ යුතුයි.
කිංස්ලි ලෝස්
අවුරුදු 36ක් පමණ ජනතාවත් සමග සිටි කලාකරුවෙක් ලෙස මම ජනාධිපතිවරයාට අභියෝගයක් කරන්න කැමතියි. මේ සිදුවන දේ එතරම් හොද දෙයක් නොවෙයි. ජනාධිපතිවරයා දිනෙන් දින ජනතාවගේ කෝපයට, වෛරයට බදුන් වෙමින් තිබෙනවා. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ චෝදනා තියනවා කියා නමුත් තවම ඒවා ඔප්පුකර නැහැ. එතුමාට විරුද්ධව චෝදනා තිබුණානම් අධිකරණය හරහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න තිබුණා.
දැන් ජනතාවගේ පිළිකුළට භාජනයවූ දේශපාලකයින් රජයේ රූපවාහිනී නාලිකාවලට ඇවිල්ලා ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීම සාධාරණය කරන්න අහගෙන ඉන්න බැරි ප්‍රකාශ කරනවා. ඊයේ එක් දේශපාලකයෙක් කිවුවා "මේ යකා කාලකන්නියා" කියලා. මේ විදිහට අපහස කරන්නේ එතුමාට එරෙහි චෝදනා එකක්වත් ඔප්පුවෙලා නැති තත්වයක් තුළ. ශිෂ්ඨ සම්පන්න ජනතාවක් ජීවත්වන අප රටේ මෙවැනි අශිෂ්ඨ ප්‍රකාශ අනුමත කරන්න බැහැ. රජය වෙනුවෙන් මේ අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවට අහගෙන ඉන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න අයෙක් නැහැ. දෙවියන් වහන්සේට අනුව හැම ක්‍රියාවක්ම උන්වහන්සේගේ විනිශ්චයට භාජනය වනවා. එම නිසා මේ ක්‍රියාව සම්බන්ධයෙනුත් උන්වහන්සේගේ තීරණය ලගදීම ලබාදෙයි.
සේපාල අමරසිංහ
එදා අපට එරෙහිවූ කලාකරුවන්ට, හිතවතුන්ට දැන් සත්‍ය වැටහිලා. අපි නියෝජනය කළ මතය නිවැරදි බව ඔවුන් දැන් අපට පවසනවා. අද සියලුදෙනාට ජීවත්වන්න සිදුව ඇත්තේ විශාල අභියෝගයක් මැද, ඊයේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ සංගයාවහන්සේට සැලකූ ආකාරය අප සියලු දෙනා දැක්කා. මේ තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අප කිසිවෙකුටත් මේ රටේ ජීවත්විය නොහැකි තත්වයක් ඇතිවනවා.
කණගාටුවට කාරණයක් තියනවා මේවන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හිරේ ඉද්දී ඒ මහතාට සහය පළකළ පක්ෂවල මන්ත්‍රීවරුන් මහ මැතිවරණය වෙනුවෙන් පෝස්ටර් ගහනවා. ඔවුන් කිසිවෙක් ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කර නැහැ. දේශපාලනය කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව දේශපලානය කියන්නේ වහලක් නැති ගෙයක් වගෙයි. මෙම තත්වය යටතේ අපි කලාකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට හිස නමා අාචාර කරනවා. ඔවුන් පමණයි ජෙනරාල් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අනවරත අරගලයක නිරතව සිටින්නේ.
චන්ද්‍රසෝම බිංදුහේවා -
කොතරම් විශාල මර්ධනයක් තිබුණත් අපට නිහඩව සිටින්න බැහැ. මොකද අප සැබෑම කලාකරුවන් නිසා. නමුත් අද රට පත්ව ඇති තත්වයට ගෙන ඒමේ මුල සිටියේ කලාකරුවෝ කොටසක් ඒක කණගාටුවට කාරණයක්, ඔවුන්ගෙන් ඇතැම් අය කලාකරුවෙකුට කරන්න බැරි ආකාරයේ ප්‍රකාශත් කළා. ජෙනරාල්ගේ අහේ ඉදන් පට්ට ගහන්න ඕන කියලත් ඇතැම් අය කිවුවා. දැන් අපට වැටහෙන ආකාරයට නම් එම ප්‍රකාශ වල බරපතල කම අනුව ඔවුන්ට ආණ්ඩුවේ ලැබෙන තනතුර තීරණය වුවා වියයුතුයි.truth

ඇමැති ජී.එල්ට මහින්දට ජනතාව හූ කියත

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ට කොළඹ අලූත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අද (12) පෙරවරුවේ හූ සංග්‍රහයකට ලක් වන්නට සිදුවිය.
මෙම ඇමැතිවරුන් දෙදෙනා කිසියම් කාර්යකට අධිකරණ භූමියට පැමිණ සිටි අතර ඔවුන් හූ සංග්‍රහයට ලක්වූයේ අධිකරණ බිමේ සිට පෙරළා යද්දීය.
අමාත්‍යවරුන් දෙදෙනාට හූ කියන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට පැමිණ සිටි පිරිස විසිනි.
ඇමතිවරුන් දෙදෙනා වාහනවල නැග අධිකරණ භූමියෙන් පිටවන තෙක්ම හූ සංග්‍රහය නොකඩවා පැවැත්විණි.

ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතාලියේ උද්ඝෝෂණ






ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඊයේ (11) රෝමයේ පිහිටී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. ඉතාලියේ විවිධ නගරවලින් පැමිණ සිටි විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට එක්වී සිටි අතර, උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට තානාපතිවරයා ඇතුළු පිරිස දැඩි උත්සාහයක නිරත වූ බව ඉතාලි ආරංචා මාර්ග පවසයි. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දුෂිත බවත්, එය වහාම අවලංගු කළ යුතු බවත් පවසමින් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරත වූහ. දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකාව වහාම නිදහස් කළ යුතු බව ඔවුහු ලංකා රජයට බල කර සිටි අතර, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
"ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා. ඔහුව අත්අඩංගුවට අරන් ඡන්ද මංකොල්ලයකින් බලයට පත්වෙලා රාජපක්ෂ ජනාධිපතිවරයා වීරයෙක් වෙන්න හැදුවට ජනතාව ඔහුව පිළිගන්නෙ නැහැ. මේ රජය කරන්නේ රට විනාශ කරන එක. අපි සම්පූර්ණයෙන්ම මේ දුෂිත පාලනයට විරුද්ධයි."උද්ඝෝෂණයට සහභාගිවී සිටි ලාංකීකයෙක් මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබිණි.truth

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් නීතිඥයෝත් වීදි බසිති



ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් නීතිඥවරුන් අද අලුත්කඩේ උසාවි සංකීර්ණය අභියස විරෝධතාවය නියැලෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි. කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ඉල්ලා ‍මෙම නීතිඥවරු මේ මොහොතේත් අලුත්කඩේ අධිකරන භූමිය අසල උද්ඝෝෂයේ නියැලෙමින් සිටී. truth

අනුරාධපුර ප්‍රහාරයෙන් 5 ක් තුවාලයි


අනුරාධපුරයේ දී දෙපිරිසක් අතර හටගත් නොසන්සුන්කාරී වාතාරවණයක් මැඩපැවැත්වීමේදී පොලිසිය විසින් එල්ල කළ රබර් උණ්ඩයක් වැදීමෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන රෝහණ ගමගේ මහතා ද තුවාල ලබා තිබේ.
අනුරාධපුර රෝහලේ ප්‍ර‍කාශකයෙකු සඳහන් කරන පරිදි එහිදී උද්ඝෝෂකයින් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර වලින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල් ගත කර ඇත.
තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන් වේ. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
එම අවස්ථාවේදී උද්ඝෝෂකයින්ට කිසියම් පිරිසක් පහරදී ඇති අතර එහිදි දෙපාර්ශවය අතර හටගත් නොසන්සුන්කාරී වාතාවරණය මැඩපැවැත්විම සඳහා පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. adaderana

එකම මගක පියවරමැන යන්නයි.....


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12)ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.මෙම හමුවේ අරමුණ වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලීමය.මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරය තුළට කැටුව ගිය අවස්ථාව.adaderana

අවසානය නොවේ....


සිය සැමියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට ගොනු කළ අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබා දීමෙන් පසු අනෝමා ෆොන්සේකා මහත්මිය උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඇය වට කරගත් මාධ්‍යයන්ට ඇය අදහස් දක්වන අයුරු. adaderana

‍ෆොන්සේකා වෙනුවෙන් රනිල් ජනපති හමුවෙයි


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී දැනට හමුදා බාරයේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි ඉල්ලා තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කළ බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වන විට ඊට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත්ව ඇති හෙයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරියට කටයුතු කළ හැකි බව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
සරත් ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙස ද විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පැෆරල්ගෙන් ඉල්ලීමක්


ඉදිරි මහ මැතිවරණයට අදාල අපේක්ෂකයින් තෝරා ගැනි‍මේ දී යහපත් දෙ‍්ශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ඉවහල් වන පිරිස් තෝරා ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ සාපරාධි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නොයෙදුනු සහ විනයානුකූල ආදර්ශමත් පිරිස් සිය අපේක්ෂක ලයිස්තුවෙත ඇතුළත් කෙරෙන්නේ නම් එය යහපත් දේශපාලන සංස්කෘතියකට ඉවහල් වනු ඇති බවයි.
ඊට අමතරව රටේ නීතිය පිලිපැදීමට සහ ගරු කිරීමටත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා නොකිරීමටත් ක‍ටයුතු කරන පිරිස් අපේක්ෂකයින් ලෙස තෝරා ගැනීම වැදගත් බව පැෆ්රල් සංවිධානය පවසයි.
එවැනි පිරිස් තුළින් තෝරා ගන්නා ජනතා නියෝජිතයින් මගින් ජනතා අභිලාෂයන් ඉටුකරන ව්‍යවස්ථාදායකයක් ගොඩනැගෙන බව පැෆරල් සංවිධානයේ විශ්වාසය වී තිබේ.

ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර


සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ බව කියැවේ.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධී බවත්, ඔහු මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ‍මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

උසාවි සංකීර්ණයේ පොලීසිය සීරුවෙන්


අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ට හා ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසාවි සංකීර්ණයේ නීතිඥ මහත්වරුන් සඳහන් කරයි.
අද පෙරවරුවේ උසාවි සංකීර්ණය හරහා යන පුද්ගලික වාහන සීමා කර තිබුණු බවත්,ඒවා දැඩි සෝදිසි කිරීම්වලට ලක් කළ බවත්,ඔවුන් කියා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ උසාවි සංකීර්ණයේ විශේෂයෙන් ආරක්ෂාව තර කිරීමක් නොකළ බව හා එය සාමාන්‍ය තත්ත්වය බවයි.
අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබේ. adaderana

රැඳවූ ශ්‍රීලාංකිකයින් සරණාගතයින් කෙරෙයි


බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන්ට සරණාගතභාවය ලබා දීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
වර්ජින් දූපත් හි සරණාගත රැඳවුම් මධ්‍යස්ථ‍නයේ ප්‍රධානී ඩෙනිස් ජෙනිංග්ස් වෙත මහ කොමසාරිස්වරයා විසින් ලිපියක් මඟින් මේ බව දන්වා ඇත.
ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සිදු කළ පූර්ණ පරීක්ෂණ වලට අනුව ඔවුන්ට සරණාගතභාවය පිරිනැමීමේ සුදුසුකම් ඇති බව එම ලිපියෙන් දන්වා තිබේ.
සරණාගතයින් සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර නීතීන්ට අනුව ඔවුන්ට පහසුකම් සැලසීමට පියවර ගතයුතු බව ද සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ඉල්ලා ඇත.adaderana

සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය වුණේ නෑ


ශ්‍රී ලංකාවේ මානූෂීය මෙහෙයුම පැවති අවසන් කාලයේ දී සිවිල් වැසියන් හතළිස් දහසක් පමණ ඝාතනයට ලක්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රකාශක ගෝර්ඩන් වයිස් කර ඇති ප්‍රකාශය රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසන්නේ මීට පෙරද ඔහු එවැනි අසත්‍ය ප්‍රකාශන නිකුත් කර ඇති බවයි.
ගෝර්ඩන් වෙයිස් ඕස්ට්‍රේලියානු මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකාව පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කර තිබේ. එහි දී ඔහු සඳහන් කර ඇත්තේ ලක්ෂ තුනක පමණ සිවිල් වැසියන් පිරිසකට මානූෂීය මෙහෙයුම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වී ඇති බවයි.
කෙසේ වුවද මානූෂීය මෙහෙයුම පැවති කාලයේ දී කිසිදු අයරකින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් හෝ සිවිල් වැසියන් ඝාතනය කිරීමක් සිදු ‍නොවූ වග රජයේ ස්ථාවරය බව රජිව් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

ෆොන්සේකා ගේ පෙත්සම අද සලකා බලයි


ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීමට නියමිතව තිබේ.
අගවිනිසුරු අශෝක එන් ද සිල්වා මහතා‍‍ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද එය සලකා බලනු ඇතැයි සඳහන් වේ. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
සරත් ‍‍‍‍‍‍ෆොන්සේකා මහතා එහි තුන්වන පෙත්සම්කරු ලෙස සඳහන් කර ඇත.
ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධී බවත්, ඔහු මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ‍මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පොලිස් මැතිවරණ කටයුතු අද සිට


පොලිස් මැතිවරණ කටයුතු පිළිබඳ අංශය අද සිට ක්‍රියාත්මක කරන බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි.
මැතිවරණයට අදාල මෙහෙයුම් කටයුතු සහ පැමිණිලි විමර්ශනය කිරිම මෙහි අරමුණ බව සඳහන් වේ..
පොලිස් මූලස්ථානය , පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල , නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් අධිකාරි කාර්යාල තුළ මැතිවරණ කාර්යාල ස්ථාපිත කරන බව ඔහු කියා සිටියි.
මීට අමතරව දිවයිනේ සියලු පොලිස් ස්ථානයකම මැතිවරණ අංශ පිහිටුවා ඇති බව ගාමිණි නවරත්න මහතා සඳහන් කරයි..
විධිමත් සැලසුමකට අනුව මෙවර මැතිවරණයේ දී පොලිස් මැතිවරණ අංශය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේය.

ආහාර විෂ වී සිසුවිය මිය යයි


ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගී වූ මාතලේ පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ පාසැල් ශිෂ්‍යාවක මිය ගොස් තිබේ.
මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස් කුමාරවංශ මහතා සඳහන් කරන පරිදි ඊයේ රාත්‍රී රෝහලට රැගෙන එමින් සිටිය දී එම ශිෂ්‍යාව මිය ගොස් ඇත.
පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් පසුගිය බදාදා ආහාර විෂ වීමක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
සිසුන් දහසය දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කරයි..
මීට අමතරව තවත් සිසුන් විසි දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා පිට‍ව‍ ගොස් තිබේ.
මා‍තලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනුර දිසානයක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ..

ම.එ.පෙ. දිස්ත්‍රීක්ක නවයකින් එයි


මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දිස්ත්‍රික්ක 9 ක් වෙනුවෙන් තම පක්ෂය තරග වදින බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
එහි ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , හම්බන්තොට , අනුරාධපුර , මහනුවර , බදුල්ල , නුවරඑළිය හා දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක සඳහා තම පක්ෂය ඉදිරිපත් වන බවයි.
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.
මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයෙන් පසු ක්‍රමය වෙනස්


ඉදිරි මහ මැතිවරණයෙන් පසු අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමක් ලබා ගන්නා බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඡන්ද දායකයා සහ මන්‍ත්‍රීවරයා අතර සමීප සබඳතාව නැවත ඇති කිරීම නව මැතිවරණ ක්‍රමයේ අරමුණ බව ද අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සඳහන් කරයි.
හොරණ පැල්පිටිගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.