Tuesday, August 17, 2010

කරුණා අම්මාන්, පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊය පැරදවීමට සහය දුන්නා


එල්. ටී. ටී. ඊ සංවිධානයට එක්ව කටයුතු කළ කරුණා අම්මාන්, පිල්ලෙයාන් හා කුමරන් පද්මනාදන් වැනි පුද්ගලයින් එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම සඳහා රජයට සහය ලබාදුන් බව ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2005 වසරේ දී වඩාත් ශක්තිමත් වූ එල්.ටී.ටී.ඊ සංවිධානය ජාති භේදයකින් තොරව සිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය.

ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍ර‍යේ දී උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කෙ‍මිසම සිව්වන දිනටත් අද රැස් වූ අවස්ථාවේ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය යනු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් බව එහිදී ඔහු සඳහන් කළේය. මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කරමින් මෙරට නායකයින් මෙන්ම සිවිල් ජනතාව ද ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. adaderana.lk

ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට


පකිස්ථානයේ ගංවතුරින් අවතැන්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා මෙරටින් 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා‍ගේ උපදෙස් මත අදාළ වෛද්‍ය කණ්ඩායම අද පිටත් ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍යවරු 6 දෙනෙක්, හෙදියන් 6 දෙනෙක්, ‍ඖෂධවේදින් දෙදෙනෙක් සහ සහායකයින් දෙදෙනෙක් ද ඇතුළත්ය. මෙම පිරිසට අමතරව රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශල්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් යැවීමට ද පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය. adaderana.lk

යුද අධිකරණයත් අධිකරණයක්-තීන්දුව ගැන විවාද සුදුසු නෑ


යුද අධිකරණ තීන්දු පිළිබඳ විවාද කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

යුද අධිකරණය ද අධිකරණ පද්ධතියේ ම කොටසක් බවත්, ඒ අනුව එහි තීරණ පිළිබඳ විවාද කිරීම නුසුදුසු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අදාළ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

යුද අධිකරණයේ තීන්දු විවාදයට ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ද උල්ලංඝණය කිරීමක් බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය. adaderana.lk

ෆොන්සේකාගේ පළමු යුද අධිකරණයේ වාර්තා පාර්ලිමේන්තුවට ඉල්ලයි


සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ පළමු යුද අධිකරණයේ සියලු වාර්තා සහිත ලිපිලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

විපක්ෂනායකවරයාගේ කතාවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ කතාවාරය පැමිණ තිබුණ ද ඔහු සභාවේ නොසිටි බැවින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට කතාවාරය ලබාදීමට මූලාසනය පියවර ගත් බව අප වාර්තාකරු සඳහන් කරයි.

එහෙත් එයින් අනතුරුව ජී.එල්. පීරිස් මහතා සභාවට පැමිණීමෙන් අනතුරුව තම කතාව ආ‍රම්භ කිරීමට උත්සාහ කළ ද එම අවස්ථාවේ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

සභාවේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් විනාඩි 5 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල්තැබීමට මීට සුළු වේලාවකට පෙර නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රරත්න මුරුගේසු මහතා පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

මගේ අපේක්ෂාව අමාරු ඉලක්ක ජයගැනීමයි -රාජිත


වසර 2013 වන විට මෙරට මන්දපෝෂණය පිටුදැකීම තම ඉලක්කය බව ‍ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අසීරු ඉලක්ක ජයගැනීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇති පරිදි 2013 වසර වන විට මෙරට මන්දපෝෂණ ප්‍රතිශතය 12% දක්වා අවම කිරීමේ වැඩසටහන අභිබවා මන්දපෝෂණය පිටුදැකීමේ ඉලක්කයකට ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා පවසයි.

ධීවර සංවර්ධන ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් කොළඹ, පදනම් ආයතනයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අදාළ ඉලක්කය සපුරා ගැනීමට නම් මෙරට දැනට පවතින ග්‍රෑම් 31 ක දෛනික මාළු පරිභෝජන මට්ටම 60 දක්වා වැඩිකරගත යුතු බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. adaderana.lk

විදුලියෙන් වන හානි වැලකීමට ලංවිම ජනතා සහය පතයි


විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් සිදුවන විදුලිය බිඳවැටීම් හා එමගින් මිනිස් ජීවිතවලට සිදුවන හානිය අවම කරගැනීමට ජනතා සහය අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. විදුලි උපකරණ අපරික්ෂාකාරී භාවිත‍ය හේතුවෙන් සිදුවන අනතුරු ද සුලභ වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‍මේ හේතුවෙන් විදුලි උපකරණ භාවිතයේ දී සුපරීක්ෂාකාරී වන ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විදුලි සැර වැදීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ලැබෙන බව එම අමාත්‍යාංශය පෙන්වා‍දෙයි.

විදුලි රැහැන් පද්ධතිවලට බාධාවන ලෙස ගස්කොළන් වැවීම නොකරන ලෙසත් අකුණු සැර පවතින අවස්ථාවලදී විදුලි උපකරණ භාවිතා නොකරන ලෙසත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. adaderana.lk

මට පහරදෙද්දී පොලිස් ස්ථානාධිපතිත් බලාගෙන හිටියා-විජිතගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්


ගාල්ල පොලීසිය විසින් තමන්ට පහරදුන් බවත්,එමගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

මන්ත්‍රීවරයාගේ කරුණු දැක්වීම මෙපරිදිය.

2010.08.12 වන දින සවස ගාල්ල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයට ගාල්ල පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ පෞද්ගලිකව මමත් එදින සවස 5.00ට පමණ ගාල්ල පොලිසිය වෙත ගියෙමු. පළමුව පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මුණ ගැසී ඒ බව ඔහු වෙත දැන්වීමු.

ඉන් පසු පැමිණිලි සටහන් කරන ලද ස්ථානයට ගිය විට එහි සිටි පොලිස් පරීක්ෂක ආරියසේන මහතා විසින් ඒ මොහොතේ පැමිණිල්ල ලියා ගැනීම සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් නොමැති බව දැන්වීය. ඒ සඳහා යම් කාලයක් ගත වන බව දැන ගත් පසු අජිත් කුමාර මන්ත‍්‍රීතුමාත් මමත් නැවත පොලිස් අධිකාරීවරයා මුණ ගැසී ඒ බව දැන්වීම සඳහා ඔහු සිටින ස්ථානයට යාමට පිටත් වුණෙමු. එහිදී පොලිස් කොස්තාපල්වරයකු අපට ඇතුළුවීමට ඉඩ නොදී බාධා කරන ලදී.

එවිට මා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් බවත් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බවත් ඔහු වෙත දැන්වීමි. එය නොසලකමින් ඔහු එක්වරම මගේ බෙල්ලෙන් අල්ලා පස්සට තල්ලූ කරනු ලැබුවේය. ඒ මොහොතේම ඔහුත් ඒ අසල සිටි පොලිස් පරීක්ෂක ඩයස් මහතාත් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම එකවර මගේ හිසට පපුවට හා මුහුණට තදින් පහර කීපයක්ම එල්ල කරනු ලැබූහ. ඒ මොහොතේ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාත් පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතාත් එම ස්ථානයේ මෙම සිද්ධිය බලාගෙන සිටියත් ඔවුන් එය වැළැක්වීමට කිසිදු පියවරක් ගනු නොලැබීය. එකවරම පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් මත පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතා, එතැන සිටි පොලිස් නිලධාරීන්ට මාවත්, පා. ම. අජිත් කුමාර මහතාත් පළාත් සභා මන්ත‍්‍රී නලීන් හේවගේ මහතාත් කූඩුවට දමන ලෙස නියෝග කරනු ලැබීය. ඉන් මොහොතකට පසු අප විසින් පොලිස් නිළධාරීන්ට පහර දුන් බවට වූ අභූත චෝදනාවක් අප වෙත යොමු කර අපව අත්අඩංගුවේ රඳවා ගනු ලැබීය. පැමිණිල්ල විත්තිය බවට පත් කරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපට පොලිසිය විසින් කරන ලද මෙම පහරදීම හෝ පැවති උද්ඝෝෂණය පිළිබඳ පැමිණිල්ල සටහන් කිරීමට අප ඉල්ලා සිටියද එයට අවස්ථාවක් ලබා නොදුනි.

ගරු කතානායකතුමනි,

පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන අපට පොලිසියකදී මෙසේ පහර දෙනු ලබන්නේ නම් සාමාන්‍ය සිවිල් පුරවැසියකුට මුහුණ පාන්න සිදුවන තත්වය ඉතාම ගැටලූ සහගතය. එබැවින් මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. adaderana.lk

දේව පූජාවක ආහාර ගත් දැරියක් මරුට


බදුල්ල, මඩුල්සිම ප්‍රදේශයේ දේව පූජාවකට සැකසූ ආහාර අනුභව කිරීමෙන් දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු එක හමාරක පමණ දැරියකි.

පාචනය උත්සන්න වීමෙන් විජලන තත්ත්වයට පත්වී හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් අදාළ දැරිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. පසුගියදා එම දේව පූජාව අනුභව කිරීමෙන් තවත් වයස අවුරුදු 10 ට අඩු ළමුන් 15 දෙනෙකු ද රෝගී වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

රෝගී වූ දරුවන් සිව්දෙනෙකු මේ වන විටත් බදුල්ල, මැටිගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල‍ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.adaderana.lk

රට රැකියා ඉල්ලන්න ආ පිරිසක් නොසන්සුන්


විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගාල්ල ශාඛා‍ව ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. කොරියානු රැකියා සඳහා ලියාපදිංචි වීමට පැමිණි පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අද අලුයම කාලයේ සිට එහි රැඳී සිටි ලියාපදිංචි වීම සඳහා පැමිණි දහස් ගණනක පිරිසට අමතරව පිටස්තර පුද්ගලයින් ලියාපදිංචි කිරීම සිදුවූ නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය. එහිදී ඇතමුන් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගල්මුල් ප්‍රහාර ද එල්ල කර ඇති අතර එම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවා තිබූ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය. කොරියානු රැකියා සඳහා දිනකට ලියාපදිංචි කෙරෙන්නේ 600 ක පමණ පිරිසක් වුව ද ලියාපදිංචි වීම සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණ සිටි බව සඳහන්ය. adaderana.lk

අතුරුදන් වූ තිදෙනාගෙන් එක් සිරුරක් හමුවෙයි


කිරින්ද මුහුදේ දී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද අලුයම සොයාගෙන තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ දැනට අතුරුදන්ව සිටින දරුවන්ගේ පියාගේ සිරුර බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර ඇති බව‍ සෙනරත් මහතා පැවසීය. එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කිරින්ද මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා නාවික හමුදාවට අයත් බෝට්ටුවක ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ පස්වරුවේම සොයා ගනු ලැබීය. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ද රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව අතුල සෙනරත් මහතා සඳහන් කළේය. adaderana.lk

යාපනය -මොරටු වෙළෙඳුන් ගැටෙයි


මොරටුව ප්‍රදේශයේ සිට ලී බඩු අලෙවි කිරීම සඳහා යාපනයට ගිය ව්‍යාපාරිකයින් පිරිසක් සහ යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය සඳහන් කරයි. යාපනය ආදිපාද වීදිය අසල දී මෙම ගැටුම හටගෙන ඇති අතර එහි දී මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින්‍ට අයත් ලොරියක් ද ගිනි තබා තිබේ.adaderana.lk

දෙවන යුද අධිකරණයේ තුන්වන සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසයි


සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය අද යළි රැස්වී තිබේ. අද දිනයේ තුන්වන සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ රැස්වූ දෙවන යුද අධිකරණය පළමු ‍හා දෙවන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. එම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා ෆොන්සේකා මහතාගේ නීතීඥයින් ඊයේ දිනයේ පැමිණ සිටි බව උභය මැදවල මහතා සඳහන් කළේය. adaerana.lk

සරණාගතයින් ගැන ශ්‍රී ලංකාව කැනඩාවෙන් තොරතුරු ඉල්ලයි


ශ්‍රී ලාංකික සරණාගතයින් 500 ට ආසන්න ප්‍රමාණයක් රැගත්"සන් සී"නැමති නෞකාව පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කැනඩාවෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධව කැනඩා බලධාරීන් සමග පසුගිය සති කිහිපය තුළ නිල නොවන මට්ටමේ සාකච්ඡාවන් පැවැත්වූ බව ද කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ. එසේ තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධව තවමත් දෙරට අතර ගිවිසුමක් ගොඩනැඟී නොමැති බව ද ඒ මහත්මිය පෙන්වාදෙයි.

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 500 ක් පමණ රැගත් ‍ මෙම නෞකාව පසුගිය සිකුරාදා දින කැනේඩියානු මුහුදු සීමාවට ඇතුළු වී තිබිණි. MV Sun Sea නම් මෙම නෞකාව තුළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද සිටින බව ද සඳහන් විය. මෙම නෞකාවෙන් කැනඩාව වෙත පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසි භාවය ලබා‍ නොදෙන ලෙස ද කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය කැනඩා බලධාරීන්ගෙන් ඉල්ලීම කර ඇති බව ද පසුගියදා වාර්තා විය.adaderana.lk

එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් හා සටන් වැදීමට වීඩියෝ ක්‍රීඩාවක්


යුබිසොෆ්ට් නම් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීමේ සමාගම විසින් තවතම වීඩියෝ ක්‍රීඩාවක් හඳුන්වා දී තිබේ. ‍ Sony PlayStation Portable ක් තුළ ක්‍රීඩා කළ යුතු මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත්තේ එල් .ටී. ටී. ඊ ත්‍රස්වාදීන් සමග සටන් වැදීම සම්බන්ධ ක්‍රීඩාවක් ලෙසය. මෙම ක්‍රීඩාව නම්කර ඇත්තේ Ghost Recon Predator ලෙසය.

මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයින්හට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ කැළෑ ලෙස සැකසුණු පසුබිමක් තුළය. ක්‍රීඩාවේ ජයග්‍රහණය ළඟාකර ගැනීම සඳහා වන ඔබගේ මෙහෙයුම වන්නේ එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් පරාජය කිරීමය. එමෙන්ම ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින්ගේ සහයට තවත් කණ්ඩායමක්ද සිටී. මෙම වීඩියෝ ක්‍රීඩාව නොවැම්බර් මාසය වනවිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. adaderna.lk

උතුරේ වැසියන්ගෙන් පැමිණිලි 4763 ක්


උතුරු ප්‍රදේශයේ වැසියන්ගෙන් පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිලි 4763 ක් ලැබී තිබේ. වව්නියාව, මන්නාරම හා යාපනය යන දිස්ත්‍රක්ක වල පිහිටි මානව හිමිකම් කොමිසන් සභාවේ කාර්යාල වෙත මෙම පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

එම ‍ලැබුණු පැමිණිලි වලින් 3000 ක් පමණ පුද්ගල අතුරුදහන් වීම් සම්බන්ධ පැමිණිලි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරියෙකු සදහන් කළේය. බලහත්කාරයෙන් රඳවාගෙන සිටීම සහ අත්අඩංගුවට ගෙන තිබීම වැනි කරුණු සම්බන්ධයෙන් ද තවත් පැමිණිලි රැසක් ලැබී තිබේ. adaderana.lk