Tuesday, December 21, 2010

සහන මිලට පොල් ලබා දීමට වි‍ශේෂ වැඩපිළිවෙළක්


සහන මිලට පොල් ලබා දීම සඳහා වි‍ශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි හලාවත වැවිලි සමාගමේ සභාපති ආචාර්ය සුනිල් ජයසේකර මහතා පවසයි.

උත්සව සමය වෙනුවෙන් කොළඹ සිට තදාසන්න ප්‍රදේශවලට සහන මිලට ‍පොල් බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගබඩා සංකීර්ණයක පොල් ගබඩා කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් සුනිල් ‍ජයසේකර මහතා මේ අදහස් පළ කළේය.

මෙම ගබඩා සංකීර්ණය තුළ පොල් ගෙඩි ලක්ෂ 2 ක් ගබඩා කිරීමට නියමිතය.

මෙම ගබඩා සංකීර්ණයෙන් පොල් ගෙඩියක් රුපියල් 32 ත් 35 ත් අතර මිලකට අලෙවි කිරීමට නියමිත බව සුනිල් ජයසේකර මහතා කියා සිටියේය.
adaderana.lk

රටට ආදරය නැති නම් දක්ෂයෙක් වුවත් ශ්‍රේෂ්ඨයෙක් නොවේ


රටට ආදරය නැති පුද්ගලයා කෙතරම් දක්ෂයෙකු වුව ද ශ්‍රේෂ්ඨයෙකු නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පළිගැනීමේ චේතනාවෙන් මානුෂිකත්වයට නොගැළපෙන දඩුවම් කිසිවෙකුටත් නොදිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පැවති විසිරයාමේ උළෙලකට අද(21) පෙරවරුවේ එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.

යුද හමුදා සාමාජිකයින් හමුදා නීතියටත් රටේ නීතියටත් යටත් විය යුතු බව එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් ‍කළේය.

එම ආයතන දෙකෙන්ම පනවන දඬුවම්වලට ද ඔවුන් යටත් විය යුතු බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර සිටියේය.
adaderana.lk

ව්‍යවස්ථාව අලුත් වුණත් නායකත්වයේ බලය වෙනස් නෑ


නව පක්ෂ ව්‍යවස්ථාව තුළින් වුවද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය අඩුවීමක් සිදුව නැති බව එ.ජා.ප.ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් ජන මාධ්‍ය විසින් ගැටලුවක් ඇතිකරගත යුතු නැති බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඡන්දයෙන් තොරාපත් කරගත යුතු ඉහළ තනතුරු හැකි ඉක්මනින් පත් කර ගැනීමට කටයුතු කරන බවද මයිකල් පෙරේරා මහතා පෙන්වාදුන්නේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කළ විද්වත් කමිටුව මුලදී ශ්‍රී ලංකාවට පැමිණ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අදහස් කළද මේ වන විට එවැන්නක් සිදුනොවන බව‍ට මාධ්‍ය මගින් කරුණු අනාවරණය වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුලදී මෙම අන්තර් ජාතික විද්වත් කමිටුවට සිය විමර්ශන කටයතු සිදු කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව රජයෙන් කියා සිටියද,ඒ වෙනුවට වීසා ලබාදීමට පවා අදිමදි කිරීම නිසා උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් විදේශ රටකට ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමට ඔවුන් අදහස් කරන බවට තොරතුරු දැක්වෙන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද බී.බී.සී ලෝක සේවය උපුටා දක්වන ආකාරයට එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව හා ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ගේ හමුවීම සිදුවන්නේ කිනම් රටක කිනම් ස්ථානයකද යන්න මේවන තෙක් තහවුරු වී නොමැති බවයි. adaerana.lk

වල් අලි එළවන්න මී මැස්සන්ගේ සහය


ගම් වදින අලින් පළවා හැරීම සඳහා විශේෂ වැඩසටහනක් ලෙස රක්ෂිත මායිම් වල මී මැසි පෙට්ටි සවි කිරීමට වනජීවි අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රක්ෂිත මායිම් වල අගල් කැපීම සහ තල් ගස් සිටුවීම ද සිදු කෙරෙන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ‍ වල මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් ලබා ගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

වන අලින් ගම් වැදීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අලි මිනිස් ඝාතන පිළිබඳ වාර්තා ඉහළ යාම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබේ. adaderana.lk

කැමරා පද්ධතිය විවෘත කිරීම 29 වැනිදා


අද(21) දින විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ නගරයේ ආරක්ෂිත කැමරා පද්ධතිය අද විවෘත නොවන බව පොලිසිය පවසයි.

ඒ අනුව අදාළ ආරක්ෂක කැමරා පද්ධතිය ලබන 29 වැනිදා විවෘත කිරීම සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

කොළඹ නගරයේ ක්‍රියාත්මක අපරාධකරුවන්, කොල්ලකල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිසියට හසු කර ගැනීම මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සවි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී දිවයිනේ සියලුම නගර වල මෙවැනි ආරක්ෂක කැමරා සවි කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.
adaerana.lk

ජංගම දුරකථන වල සැඟවූ මත් කුඩු පැකට් සමග තිදෙනෙක් කොටුවෙයි


හෙරොයින් මත් කුඩු පැකට් 14ක් ළඟ තබා ගෙන ‍සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(20) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් අයෙකු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

මෙම මත්කුඩු පැකට් තොගය සඟවා තිබු‍‍ණේ ජංගම දුරකථන වල අභ්‍යන්තරයේ සහ නිවසක ස්ථාවර දුරකථනයක් තුළ බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

සැකකරුවන් අද(21) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.adaerana.lk

ජනපති බොරුකාරයෙකු වනු දැකීමට අකමැතියි -රනිල්


මහින්ද චින්තනය ඉදිරි දැක්ම ප්‍රකාශනය තුළින් රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන බවට වූ පොරොන්දුව ඉටු කරවා ගැනීම සඳහා ජනවාරි 26 වැනි දින දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා බොරුකාරයෙකු වනු දැකීමට තමන්ට නොහැකි බැවින් අදාළ පොරොන්දුව ඉටු කරවා ගැනීම සඳහා එය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙයි.

මහර ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වූ පොරොන්දු කිසිවක් ජනතාව වෙනුවෙන් ඉටු කර‍ නොමැති බව මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළ, සොරකම් කරන නායකයකු නොවන බව විපක්ෂ නායකවරයා පිළිබඳ අදහස් දක්වමින් එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

1994 දී වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත්වූ අවස්ථාවේ කාර්යාල බෑගයත් රැගෙන මහත්මයෙකු සේ බලයට කෑදරකමක් නොමැතිව අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගිය නායකයකු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට, තනතුරු වලට කෑදර නැති නායකයකු බවද, තනතුරු අලුයම හෙලූ කෙළ පිඬක් සේ ඉවත් කර ජනතාව වෙනුවෙන් පෙනීසිටින නායකයකු බව ද පතිරණ මහතා අවධාරණය කර සිටියේය.

ආණ්ඩුව කේරළයෙන් ගුරුකම් සඳහා යොදා ගන්නා පොල් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana.lk