Saturday, December 4, 2010

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්




මහින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු සිය රටට ද්‍රෝහි වේ නම් තමන් පාර්ලිමේන්තුවේ වූ සිදුවීම අනුමත කරන බවත්, තමන් එම අවස්ථාවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන බවත් හෙතෙම කියා සිටියේය.

රුවල් නැවක් හෝ සොයාගෙන රටින් පිටව යන ලෙස සියලු ද්‍රෝහින්ට අවධාරණය කරන බවත් සිල්වා මහතා වැඩිදුරටත් කියා සි‍ටියේය. ත්‍රස්වාදය අවසන්ව, රටට සාමකාමී පරිසරයක් උදාවී ඇති නිසා ව්‍යායාම වෙනුවට පාපැදිය භාවිතකරන ලෙස දේශපාලකයින් වෙත දැනුම්දෙන බව ද ඔහු කියා සිටියේය.

මහ වැස්සෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි


පවතින අධික වර්ෂාපතනයත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

තුම්මුල්ල, ආමර් වීදිය, කිරුළපන පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය, බේස්ලයින් මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

ජලයෙන් යටවී තිබෙන තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිතව රථවාහන ධාවන කටයුතු බරවාහනවලට පමණක් සීමා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සෙසු මාර්ගවල ජලය රැදී තිබුණ ද සුපුරුදු පරිදි ධාවන කටයුතු සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

පඩි වැඩිකරන්න බැරි ආණ්ඩුව ඇමතිවරුන් 10 දෙනෙකුට කෝටි ගණන් වියදම් කරනවා


රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට‍ නොහැකි ආණ්ඩුව කිසිම අමාත්‍යාංශයක් නොමැති අමාත්‍යවරුන් දහ දෙනෙකුට රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බව එක්සත් ජාතික පක්ෂ ම‍හ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙම එක් අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය කරන බව ඔහු පෙන්වාදෙයි. අද(04) මහනුවර, පාතදුම්බර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් විදේශීය දූත පිරිස් මෙරටට පැමිණි අවස්ථාවලදී නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ විසුම්පායෙහි අද එල්. ටී. ටී. ඊ හිතවාදී කුමරන් පද්මනාදන් නවාතැන්ගෙන සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.adaderana.lk

12 වනදාට එජාප නායකත්වය වෙනස්වන බව සිතන්න බෑ


ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සමුළුවේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අදාළ තනතුර අත්හරිනු ඇති බවට විශ්වාස කිරීම දුෂ්කර බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවුව ද තමා යළි එම පක්ෂය සමග එක් නොවන බව ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂය යළි ඉදිරියට පැමිණීමට නම් ආකල්පමය වෙනසක් ද අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
adaderana.lk

මෙරට නිවාස ගැන තොරතුරු ලබාගැනීමට නිවාස ලේකම් කාර්යාලයක්


ශ්‍රී ලංකාව තුළ පිහිටි නිවාස සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ලබන 5 වැනිදා නිවාස ලේකම් කාර්යාලයක් පිහිටුවන බව ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(04) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ ඉදිකරන ලද නිවාස පිළිබඳ සංඛ්‍යාලේඛන ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලුවක් පවතින බව එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

1978 සිට 1994 දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂ රජය මගින් ඉදිකරන ලද නිවාස දස ලක්ෂය මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය. මෙම සංඛ්‍යාලේඛනවල ඇතුළත් වන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස පමණක් බව මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංඛ්‍යාලේඛන නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් සංඛ්‍යාලේඛනයක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය ඒවා බව මෙහිදී අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.
adaerana.lk

ජනපතිට එරෙහි උද්ඝෝෂණය මෝඩ ක්‍රියාවක් පමණයි


පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයේදී ඊට එරෙහිව ලන්ඩනයේදී ද්‍රවිඩ ජනතාව සිදුකළ උද්ඝෝෂණයට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා පවසයි.

එම උද්ඝෝෂණය අඥාන ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කරයි. අද(04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහ මේ බව කියා සිටියේය.

යුද්ධය අවසන්ව, රටට සාමය උදාවී මේ වනවිට රටේ සංවර්ධන කටයුතු ද කඩිනමින් සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් මෙන්ම සංවර්ධන කටයුතු යහපත් ලෙස සිදුවන බවත් ඒ සඳහා දායකත්වය දක්වන ලෙසත් හෙතෙම ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියි.

මෙම උද්ඝෝෂණය සිදුකළේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ජන කොටසින් සුළුතරයක් පමණක් නමුත් එහි වගකීම සමස්ත ද්‍රවිඩ ඩයස්පෝරාවටම එල්ල වී ඇති බවට ද ගනේෂන් මහතා චෝදනා කරයි.

එමෙන්ම මෙම උද්ඝෝෂණය සම්පූර්ණයෙන් ඵල රහිත ක්‍රියාවක් බවත්, මෙවැනි උද්ඝෝෂණ නිසා ජනාධිපතිවරයා තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.adaderana.lk

මට ශ්‍රී ලංකාව ගැන කතාකරන්න අයිතියක් නෑ


ශ්‍රී ලංකාවේ අවතැන්ව සිටින ද්‍රවිඩ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව අමෙරිකාව අවධානය යොමුකර ඇති බව ඉන්දියාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති තිමෝති ජේ. රෝමර් මහතා පවසයි.

එම කටයුතු සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රුපියල් කෝටි 150 ක මුදලක් ලබාදී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ට කිසිදු අදහසක් දැක්විය නොහැකි බවත්, ඒ සඳහා තමන්ට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

‍ඊයේ(03) ඉන්දියාවේ වෙන්නායි නගරයේ ජාත්‍යන්තර පාසලක් නැරඹීම සඳහා තිමෝති ජේ රෝමර් මහතා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට බවත්, ඔහු ඒ සම්බන්ධව සොයාබැලීම් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොතිබීම සම්බන්ධව මාධ්‍යවේදියකු විසින් තානාපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.adaderana.lk