Saturday, February 6, 2010

Renuka Balasuriya


හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රසාද් සමරසිංහට


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා පත්කර තිබේ.
ලබන සඳුදා සිට බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා එම ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. මෙ‍තෙක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා හමුදා මාධ්‍ය ක්ෂේත්‍ර ඉංජිනේරු ධුරයේ වැඩ බාරගැනෙනු ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආධුනිකයින් බඳවාග‍ැනීමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙතෙක් නම් කර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී අයි.එම්.කරුණාරත්න මහතා පැවසීය.

දැයට කිරුළෙන් පෙළපොත් සහන මිලට


පෙළපොත් සහ අතිරේක කියවීම් පොත් දැයට කිරුළ ප්‍රදර්ශ‍න‍ භූමියෙන් සහන මිලට ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එම ප්‍රදර්ශන භූමියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියෙන් ලබාගත හැකිය. එමෙන්ම ලබන වසරේ දී පාසල් සිසුන්ට හඳුන්වා දීමට නියමිත නව පාසල් බෑගය පිළිබඳව ද මෙහිදී ජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අළුතින් හඳුන්වා දෙන පාසල් බෑගය පරිහරණය කරන ආකාරය වෛද්‍යවරයෙකු විසින් මෙහිදී පැහැදිලි කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාවෙන් ලංකාවට ණය මුදලක්


රුසියාව, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ආයුධ මිලදී ගැනීම සඳහා ලබාදෙන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව මෙම ණය මුදල ලබාදෙන බව සඳහන් වේ.
මීට අමතරව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.