Wednesday, June 30, 2010

Lion

ජොන්ස්ටන් සහ ලක්ෂ්මන් යුද අධිකරණයේ සාක්ෂි දීමට යයි


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි යුද අධිකරණයේ සාක්ෂි දීමට සූදානමින් සිටින බව වාර්තාවේ. පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ජෙනරාල්වරයා රාජකාරියේ යෙදී සිටින අතරතුර දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබදව පළමු යුද අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සූදානමින් සිටී.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර පසුව ආණ්ඩුවට එක්වූ අතර ලක්ස්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකි.

මේජර් ජෙනරාල් හර්ෂ වීරතුංග, මේජර් ‍ජෙනරාල් ලලිත් විජේතුංග සහ මේජර් ජෙනරාල් අරුණ ජයතිලකගෙන් යුතු පළමු යුද අධිකරණ විනිසුරු මඩුල්ල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ජුලි මස 12 වැනිදා යුද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. lankatruth

ජෙනරාල්ගෙන් අලුත් පක්ෂයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා අයදුම් පත්‍රයක් භාරදී ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි. අලුත් පක්ෂයේ නම වන්නේ "ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය"යි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම නව පක්ෂයේ නායකයා වන අතර ටිරාන් අලස් මහතා එහි මහලේකම්වරයායි.

අලුත් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තුළ කටයුතු කරන බව වාර්තාවේ.lankatruth

සාදරයෙන් පිළිගනිමු


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය යුක්රේනයට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේදී සම්ප්‍රදායානුකූලව පිළිගත් අයුරු ඡායා රූපයෙන් දැක්වේ. adaderana

දරුවන්ට දෙන්නේ කැ-කිරිද..?


2010 අයවැය දෙවෙනි වර කියවීම ඊයේ වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණු ගම මහතා විසින් සිදුකරන ලදී.අයවැයෙන් ජනතාවට අත්වන සහනයක් නැති බවත්,ආනයනික කිරිපිටි ආදී පාරිභෝගික භාණ්ඩ සඳහා අය කරනු ලබන බදුමුදල් වැඩිකිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සිදුවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී චෝදනා නැඟූහ.විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අයවැයට විරෝධය දැක්වූ අයුරු ඡායා රූපයේ දැක්වේ. adaderana

ගෑස් බසී


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 117කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 85කින් අඩුකළ කර ඇත. මේ හේතුවෙන් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල ‍රුපියල් 1652ක් වන අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1659ක් වෙයි. ගෑස් මිල සංශෝධනය කිරීමේ මිල සුත්‍රයට අනුව මෙම නව මිල ගණන් තීරණය කර ඇති බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.adaderana

බාධා ගැන හිතන්නේ නෑ-"රෙඩී"වෙනුවෙන් රෙඩී


තම චිත්‍රපටය ශ්‍රි ලංකාවේ රූගත කිරීම සම්බන්ධයෙන් එල්ල විය හැකි බාධා පිළිබඳ තැකීමක් නොකරන බව ඉන්දීය සුපිරි සිනමා නළු සල්මන් ඛාන් පවසයි. මෙරට රූගත කෙරෙන"රෙඩී"චිත්‍රපටය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී සල්මන් ඛාන් මේ බව ප්‍රකාශ කළේය.

මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් දකුණු ඉන්දීය විරෝධය එල්ල වු බවත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , භාෂාව සහ සංස්කෘතිය චිත්‍රපටය සඳහා මෙරට තෝරා ගැනීමට හේතු වු බවත් හෙතෙම කියා සිටියේය.

එමගින් තමන්ට මුදල් සහ කාලය ඉතිරි කර ගැනීමට හැකි වන බව ද සල්මන් ඛාන් පැවසීය. රුපියල් කෝටි පනහක පමණ ආයෝජනයකින් දින තිහක් පුරා අදාළ චිත්‍රපටය මෙරට ප්‍රදේශ කිහිපයක රූගත කෙරෙන අතර එය ලබන වසරේ ජූලි මාසයේදී තිරගත කිරීමට නියමිතය.

දකුණු ඉන්දීය සිනමා නිළියක වන අශීන් තෝත්තුම්කල් මෙම චිත්‍රපට‍යේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑම විශේෂත්වයකි. තමන් ශ්‍රි ලංකාවේ ජනතාවට දැඩි කැමැත්තක් දක්වන බව ද අද පැවති මාධ්‍ය හමුවේදී ඇය සඳහන් කළාය.adaderana

ධනුනගේ බැංකු ගිණුම් 7 ක් රාජසන්තකයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාගේ බැංකු ගිණුම් 7 ක් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දුකර තිබේ.

හයිකෝප් මූල්‍ය වංචාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

හයිකෝප් මූල්‍යවංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ධනුන තිලකරත්න මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාවකදී නියෝග කර තිබිණි.

එහෙත් ඔහු අද දිනයේද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අදාළ මුදල් අධිකරණ අමාත්‍ය වරයාගේ අභිමතය පරිදි යොදා ගන්නා ලෙසද නියෝග කරන ලද බව අධිකරණ වාර්තාකරු සඳහන් කරයි. adaderana

කථානායකගෙන් ආචාර්ය මර්වින්ට අවවාදයක්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා"අපි වෙනුවෙන් අපි"අරමුදල සමබන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විටදී ඊට බාධා කරමින් හැසිරුණු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට කථානායකවරයා විසින් අවවාද කර තිබේ.

හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කිරීම නිසා"මේ විදිහට හැසිරුණොත් පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් පිටමං කරන්නට සිදුවන බව"කථානායකවරයා පවසා ඇත.

"ඔබතුමා කියනවානම් මං වාඩිවෙන්නම්"කියමින් මර්වින් සිල්වා මහතා කථානායකවරයාට අවනත වී නිහඬව අසුන්ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. adaerana

ඉඩම් නඩු විසඳන්න අලුත් අධිකරණයක්


ඉඩම් නඩු විසඳීම සඳහා දිස්ත්‍රික් අධිකරණයක බලතල සහිත අධිකරණ පිහිටුවීමට පියවර ගන්නා බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගයන්ට එළඹෙන පුද්ගලයින්ට සිදුවන ප්‍රමාදයන් සලකා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි. මෙම නව අධිකරණ පද්ධතිය පිහිටුවීමෙන් අනතුරුව ඉඩම් නඩු කඩිනමින් විසඳීමේ හැකියාව ලැබෙනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කරයි.

මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දී ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.adaderana

කුඩුත් එක්ක බඩු මාට්ටු


හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙකු ළඟ තිබී හෙ‍රොයින් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 10 ක් ද තවත් සැකකරුවෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 150 ක් ද සොයා ගත් බව පොලිසිය කියා සිටියි.

මොවුන් තිහගොඩ සහ හලාවත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව වාර්තා වේ. ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම් වල දී හික්කඩුව , මීටීයාගොඩ , බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ වල සිදු කරන ලද දේපළ සොරා ගැනීමට අදාළ අපරාධ කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි. adaderana

එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි


එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය. adaderana

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ අත්අඩංගුවේ ඉන්න තුන්දෙනාමයි


ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මාළිගාවත්ත බෝධිරුක්ඛාරාමයේ තිබී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවේ පසුවන දෙමළ ජාතිකයින් ‍තිදෙනා විසින් රැගෙන ආ බවට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී ඇති බව සඳහන් වේ. රජයට එරෙහිව ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය එම විහාරස්ථානයේ සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උවතැන්නේ සුමන හිමි මේ වන විට රිමාන්ඩ් භාරයේ පසු වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විහාරාධිපති හිමි ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී .adaderana

චන්ද්‍රිකාගේ ආරක්ෂක අධ්‍යක්ෂකට බරපතල සිර දඬුවම්


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශයේ හිටපු අධ්‍යක්ෂ නිහාල් කරුණාරත්න මහතාට වසර 4 ක බරපතල සිර දඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවීමට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා ඊයේ නියෝග කර ඇත. නිහාල් කරුණාරත්න මහතාට මෙම දඬුවම් නියම වූයේ හඟුරන්කෙත හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කොට තැති ගැන්වීමේ චෝදනාවට වරදකරු වූ නිසාය.

2001 වසරේ නොවැම්බර් 20 වැනි දා හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මෙම තර්ජනය එල්ල කර ඇති බව සඳහන් වේ.

දඬුවම් නියම කරමින් මහනුවර පළාත් බද විනිසුරුවරයා නියෝග කළේ වරදකරු අදාළ රුපියල් පනස්දහසක දඩය නොගෙවන්නේ නම් අමතර වසරක දඬුවමක් ද නියම කරන බවයි.adaderana

නොවැම්බරයේ සහන මල්ලක්


ලබන නොවැම්බර් මාසය වන විට ජනතාවට දැඩි සහන ලැබෙන අය වැයක් ඉදිරිපත් කෙරෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇත්තේ කෙටිකාලීන ජනප්‍රිය මාතෘකා පිළිබඳව නොව රටේ සංවර්ධනයට බලපාන දීර්ඝ කාලීන සැලසුම් පිළිබඳව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවන් අයවැයක් ඊට කදිම පෙරහුරුවක් බව ද පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

‍රටේ මාර්ග , බලශක්තිය ඇතුළු සෙසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ මෙහි දී ප්‍රමුඛ අවධානය යොමුව ඇති බවත්, මෙමඟින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙන ඒම නිතැතින්ම සිදු වන බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා කියා සිටින‍්නේ 2011 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය මඟින් ජනතාවගේ වැටුප් ජීවන වියදම ආදිය පිළිබඳව අවධානය යොමු වනු ඇති බව ත් අමාත්‍යවරයා කියා සිටියි. adaerana