Monday, January 24, 2011

අනුරාධපුර බන්ධනාගාරය යුද පිටියක්!අයෙක් මරුට!23 ට තුවාලයිJanuary 24, 2011 09:03 pm

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් හා වෙඩි තැබීම් වලින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂවරයා අද දෙරණට කියා සිටියේය.

තුවාල ලබා රෝහල් ගත කළ විසිතුන් දෙනාගෙන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් එයින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටි අයෙකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එසේම තුවාල ලැබූවන් විසිතුන් දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සිටින බවත් හෙතෙම කියා සිටියේය.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(23)පස්වරුවේ සිට බන්ධනාගාර වහලය මත නැඟී බන්ධනාගාර ප්‍රධානියාගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියහ.

මෙම විරෝධතාවයට එක්වූ සහ සහයෝගය දැක්වූ පිරිස හා බන්ධනාගාර නිලධාරීන් අතර අද පස්වරුවේ ගැටුමක් හටගත් බවත්,එම ගැටුම මැඩ පවත්වන්නට වෙඩි තබන්නට සිදුවූ බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වී. ආර්.ද සිල්වා මහතා සඳහන් කළේය.

එහෙත් ජීවිතක්ෂයට පත් වූ හා තුවාල ලැබූ පිරිස මීට වඩා වැඩි විය හැකි බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුර කුමාර දිසානායකගේ රියේ ගැටී පාසල් සිසුවෙක් රෝහලේJanuary 24, 2011 03:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබේ.

පොළොන්නරුව - හබරණ මාර්ගයේ රන්කෙතවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් සිසුවා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පා පැදියකින් ‍පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරනු ලැබීය.

නවීන් නාම යෝජනා කමිටුවේ ගුටි හවුමාරුවකJanuary 24, 2011 03:55 pm

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු සමග ගුටි හුවමාරුවක නිරත වී තිබේ.

අද(24)එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට විමල් වීරවංශ,ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න,නවීන් දිසානායක ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වී තිබේ.

එහෙත් නාම යෝජනා අත්සන් කෙරෙන අතරතුරදී රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවී පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්January 24, 2011 01:01 pm

ඉන්දියාවේ වෙළඳ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා හෙට(25) දිනයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉන්දීය"නාන් තමිලන්"කණ්ඩායමේ නායක සෙබස්තියන් සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ.

අදාළ තරගාවලියෙහි අවසන් තරගය හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

නමුත් එම තරගයේදී සනත් ජයසූරිය ක්‍රීඩා කරනු ලැබුවහොත් ක්‍රීඩාංගණය හා අදාළ තරගාවලියට අනුග්‍රහය දක්වන ආයතන වටලා විරෝධතා ව්‍යාපාරයක නියැලෙන බවට සීමාන් අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරු වල තවමත් ද්‍රවිඩ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

අදාළ ක්‍රිකට් තරගය පැවැත්වෙන චෙන්නායිහි මායාජාල් ක්‍රීඩාංගණය රජයේ ක්‍රීඩාංගණයක් බවත්, එම ක්‍රීඩංගණයෙහි ද්‍රවිඩ ජනතාවට අසාධාරණකම් සිදුකළ පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම සඳහා ඉඩලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා තරගය සංවිධානය කරනු ලබන ආයතන වෙතින් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බව සීමාන් සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනතාවට මොකුත් නෑ- මැති ඇමතිවරුන්ට ප්‍රාඩෝ January 24, 2011 12:52 pm

ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වූවද ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී ප්‍රාඩෝ රථ ලබා ගැනීමට කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

යුද්ධය සමයේ අඩු කරගත් මැති ඇමති වැටුප් සහ ඇතැම් වරප්‍රසාද සියල්ල කිසිදු අඩුවකින් තොරව ලබා ගැනීමට විශේෂ තීන්දුවක් අරගෙන ඇති බව එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.

යුද්ධය නිමාවී ඒ වෙනුවෙන් දරන්නට සිදුව තිබූ අසීමිත යුද වියදම් මේ වන විට දරන්නට සිදුනොවුණු තත්ත්වයක් තුළ පවා යුද්ධය ජය ගැනීමට කැපකිරීම් කළ රණ විරුවන් සේම ජනතාවටද මේ වන තුරුත් කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

අද(24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට සෑම දේටම"ත්‍රස්තවාදී"ලේබලය අලවමින් සිටින බවත්,ඒ අනුව කොටි ත්‍රස්තවාදය,එළවළු ත්‍රස්තවාදය,ස්වභාවික ත්‍රස්තවාදය,පාන් පිටි ත්‍රස්තවාදය ආදී ත්‍රස්තවාදයන් ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් එක එක විහිළු කතා කියමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ මෙම නොහැකියාවන්,ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙමින් කරනු ලබන රැව‍ටීම ආදිය පිළිබඳ ජනතාව අවබෝධයක් ලබා සිටින අවදියක පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවී ඇති බව කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ෆොන්සේකා හා සේනකට එරෙහි නඩුව කල්යයිJanuary 24, 2011 12:27 pm

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා වැටුප් ලබාදීම සම්බන්ධව චෝදනා ලබාසිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි මස 02 වන දින විභාගය සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය අද(24) දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සහ සේනක ද සිල්වා යන විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී දෙවන විත්තිකාර සේනක ද සිල්වා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම 02 වනදා සලකා බලන බව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව නඩුව විමසීම පෙබරවාරි මස 02 වන දිනට කල් දැමූ අධිකරණය එදිනට මේ සම්බන්ධව කරුණු දක්වන ලෙස විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදී නවාතැන් පහසුකම් ලබාදීම තුළින් සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය රජයට එරෙහිව කුමන්ත්‍රණයක යෙදී ඇතැයි චෝදනා කරමින් නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත.

18 වංගුව වැසීමට එරෙහිව උද්ඝෝෂණයක්

මහියංගණය, මහනුවර ප්‍රධාන මාර්ගය 18 වංගුව ස්ථානයෙන් වසා දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වේ.

මෙම මාර්ගය වසා දැමීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව උද්ඝෝෂකයින් අවධාරණය කරයි.

මාර්ගය වැසීමට හේතු වු කරුණු සම්බන්ධයෙන් මේ වන තෙක් බලධාරීන් දන්වා නැතැයිද ඔවුන් පවසයි.

මෙම මාර්ගය වසා දැමීම‍ හේතුවෙන් උඩුදුම්බර පොලිස් වස‍මේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 72ක ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති බව උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක්වු "දුම්බර සුරකීමේ සංවිධානයේ" සභාපති සාලින්ද දිසානායක මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමුකොට මාර්ගය යළි විවෘත කර‍න ලෙස ඔහු අවධාරණය කර සිටියේය

පෙට්‍රල් බද්ද අඩුවෙ

2011 ජනවාරි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ආනයනික බද්ද ලීටරයකට රු.15.00 සිට 5.00 දක්වා අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසයි.

ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්දු ලංකා තෙල් සමාගමත්,ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් විසින් පාඩු අවම කර ගැනීම සඳහා දේශීය වෙළඳ පොළේ මිල ඉහළ නංවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.

‍එසේ හෙයින් දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ආනයනික බද්ද අඩු කිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ක්‍රියා මාර්ගය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගියද දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බවත්,ඒ අනුව දැනට පවත්නා මිලටම පෙට්‍රල් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකිවෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මියගිය සහ විදේශගතවූවන් ගැන මැතිවරණයට පෙර තොරතුරු රැස්කර

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් මියගිය සහ විදේශගතවූවන් පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලු ග්‍රාම නිලධාරීවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

පෙබරවාරි 7 වන දා වන විට මියගිය සහ විදේශගතවූවන් පිළිබඳ තොරතුරු රැස්කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දී ඇත.

අදාළ තොරතුරු පෙබරවාරි මස 15 වැනි දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දිය යුතු බවට ද උපදෙස් ලබාදී තිබේ.

මැතිවරණයේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි තීරණයක් ගෙන ඇති බව සඳහන්ය.

ස්වාධීන කණ්ඩායම් 159 ක් ඇප මුදල් තැන්පත් කරයි

2011 පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 159 ක් පමණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 37ක්, කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 21ක්, රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 12 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 7ක්, මොණරාගල දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 5ක්, මඩකළපුව දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 8ක් සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 14ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සඳහන් කළේය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයට කණ්ඩායම් 6ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට කණ්ඩායම් 9ක්, මහනුවර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 4ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයට කණ්ඩායම් 5ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 9 කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 3ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7ක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ නාමයෝජනා භාරදී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් ද නාමයෝජනා භාරදී ඇති බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ අතර ජනසෙත පෙරමුණ අද(24) ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරදීමට නියමිතය.

ලබන 26 සහ 27 යන දෙදින තුළ නාමයෝජනා භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනු ලැබීය.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අපේක්ෂකයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පැවැත්වීමට ද එම පක්ෂය තීරණය කර ඇත.