Sunday, March 28, 2010

රනිල්ගෙන් ඉල්ලීමක්


එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් වෙනුවට නම් කළ නියෝජිතයන්ට ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් මගින් කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. ඔහු එමගින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන‍්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ජනවාරි 18 වන දිනෙන් පසු අහෝසි වී ඇති බවය. එබැවින් අදාළ කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මත විමසීමක් අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා පවසයි.
අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. නීතිපතිවරයාගේ මතය සැළකිල්ලට ගනිමින් අදාළ පුද්ගලයන්ගේ මන්ත්‍රීධුරයන් තවදුරටත් වලංගු වන බව රජය කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිය මගින් පෙන්වා දෙයි. adaderana

යහපත් හෙටක් වෙනුවෙන් එක්වන්න


මහින්ද චින්තනය සියයට සියයක් ක්‍රියාත්මක කර රටේ අනාගත පරපුරට යහපත් හෙටක් ගොඩනැගීම සඳහා එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහින්ද චින්තන වැඩපිළිවෙළ රටේ ආර්ථිකයට මෙන්ම සමාජීය තත්ත්වයට නැවුම් මාවතක් ලබාදුන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අද පෙරවරුවේ පැල්මඩුල්ල මහජන ක්‍රිඩාංගණයේ පැවති ජනරැලියක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විට ගුවන් තොටුපල, වරා‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රවල නව ප්‍රබෝධයක් උදා වී ඇති බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.adaderana

වැව ඉදිකළත් තවමත් වතුර නෑ


මාළිගාවිල සද්ධාතිස්ස වැව ඉදිකර වසර 12ක පමණ කාලයක් ගත වුවද මෙතෙක් එහි ජලය ගොවිතැන් කටයුතු සදහා නිකුත් කර නැතැයි ගොවීන් චෝදනා කරයි.
මේ හේතුවෙන් ගොවීන් විශාල සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන්ය. මේ අතර අදාළ වැව් සොරොව්ව බලහත්කාරයෙන් විවෘත කිරීමට ඊයේ ගොවීන් උත්සාහ ගෙන තිබේ. කෙසේ වුවද ඉදිරි මැතිවරණයෙන් අනතුරුව වැව විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව බලධාරීන් ප්‍රකාශ කර ඇත. adaderana

ව්‍යවස්ථා සංශෝධනයට රජය විරුද්ධ නෑ


17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ අරමුණ පිළිබඳ කිසිදු විරෝධයක් ආණ්ඩුවට නැති බව පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම සංශෝධනය සඳහා අනුගමනය කර ඇති ක්‍රම‍වේදයේ ගැටලු පවතින බව ඔහු සඳහන් කරයි. එබැවින් අදාළ ගැටලු වලට විසඳුම් සොයන ආකාරයේ වෙනස්කම් සිදුකළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය. adaderana

අද එජාපයක් නෑ


වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයක් නැති බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එම පක්ෂයේ නායකයන් විසින්ම ඇතැම් අයට මනාප ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. වියලුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. ඌව පළාතේ තමා ආරම්භ කළ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana

ෆොන්සේකා දැඩි අසනීපයෙන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
මේ වන විට සරත් ෆොන්සේකා මහතා දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බව ඇය පෙන්වාදෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මේ බව සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතාට ආහාර ගෙන යාම සම්බන්ධයෙන් ඥාතීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කළද ඊට ද මෙතෙක් අවසර ලැබී නැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. adaderana

විපක්ෂයේ වැඩි පිරිසක් අද රජය සමගයි


විපක්ෂයේ සියයට 15 කට වඩා වැඩි පිරිසක් අද රජය සමග එක්ව සිටින බව කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ දී මෙම තත්ත්වය තවත් සතුටුදායක වී හැකි බව ඔහු සඳහන් කරයි. අද රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් මහින්ද චින්ත ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ වන විට රජයට හුදකලා සටනක නිරත වීමට සිදු වී ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය. adaderana

මුස්ලිම් ජනතාව බේරාගත්තේ මමයි -ජනපති


වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මුස්ලිම් ජනතාව සිය ගම්බිම් වලින් පන්නා දැමූ අවස්ථාවේ දී ඔවුන් බේරා ගැනීමට කටයුතු කළේ තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට මනාව හිමිකම් ගැන කතා කරන විපක්ෂය සහ ජාත්‍යන්තර සංවිධාන මුස්ලිම් ජනතාවගේ එම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි බව ඔහු සඳහන් කරයි. ඊයේ රාත්‍රී මැද කොළඹ ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. අනාගත දරු පරපුර ගැන සිතා කටයුතු කිරීමට හොඳම කාලය මේ වන විට එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.adadearana

දුම්රිය තුළ සිඟමනට තහනමක්


දුම්රිය මැදිරි තුළ සිඟමනේ යෙදීම අප්‍රේල් 01 වනදා සිට තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
යාචකයින් මගින් මගී ජනතාවට සිදු වන විවිධ කරදර හා හිරිහැර වළක්වා ලීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. දුම්රිය තුළ සිඟමනේ යෙදීම මේ දින වල බහුලව දක්නට ලැබෙන ඇති අතර ව්‍යාපාරයක් ලෙස‍ මෙය කරගෙන යන පුද්ගලයින් ද සිටින බව දුම්රිය ‍දෙපාර්තමේන්තු පවසයි.
මෙමගින් බොහෝ දූෂණ සහ වංචාවන් දුම්රිය තුළ සිදුවන බවට ද සිදු කළ සමීක්ෂණ වල දී හෙළී වී ඇත. එම නිසා අප්‍රේල් මස 01 වන දින සිට දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් වන අතර දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහය මේ සඳහා යොදා ගන්නා බව විජය සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.adaderana

මෙරට ආයෝජනයට මැලේසියාවේ දැඩි උනන්දුව


මෙරට ආයෝජනය කිරීම සඳහා මැලේසියානු ආයෝජකයින්ගේ දැඩි උනන්දුවක් ඇති බව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් රසේලි ඉස්මයිල් මහතා පවසයි.
එවැනි ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ව්‍යාපාරික කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි. මෙරට ප්‍රධාන විදේශ ආයෝජකයෙකු ලෙස මේ වන විට මැලේසියාව ප්‍රමුඛස්ථානයේ සිටියි.
විශේෂයෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ආයෝජන රැසක් සිදු කර ඇති අතර සංචාරක, මාර්ග, නිවාස, යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර වල ද ආයෝජන කිරීමට මැලේසියානු අයෝජකයන්ගේ උනන්දුවක් ඇති බව ඉස්මයිල් මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ඉස්මයිල් මහතා වැඩි දුරටත් ප්‍රකාශ ‍ කළේ දෙරට අතර ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ද අවධානය යොමු වී ඇති බවය. adaderana

දුම්රිය අනතුරකින් සිව් දෙනකුට තුවාලයි


උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී දුම්රිය හරස් මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ පස්වරුවේ බදුල්ල සිට ‍කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියට ඌරාපොළ දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. අනතුරින් ලොරියේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

ළමුන්ගේ රැකවරණයට නව වැඩපිළිවෙළක්


බරපතල හා අවදානම් තත්ත්වයන්ට මුහුණපාන ළමුන්ගේ නිසි ආරක්ෂාව සහ රැකවරණය සඳහා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මව, පියා දෙදෙනාම සිටිය ද සමහර ළමුන්ට නිසි ආරක්ෂාව සහ රැකවරණයක් නොලැබෙන අවස්ථා වර්තමානයේ දී වාර්තා වේ. එවන් ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය සැලසීම සඳහා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. මේ අතර ළමුන්ට නිසි ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබා දීමට නොහැකි නම් දරුවන් විනාශ නොකර ඔවුන් පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.adaderana