Monday, May 24, 2010

පහත්බිම් ගොඩකරන්න අවසර දුන්නෙත් රජයයි -කරූ


ජලගැලීම් ඇතිවීමට හේතු වී තිබෙන පහත්බිම් ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ ද රජයෙන්ම බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. එවැනි ගොඩකිරීම් පිටුපස දේශපාලන බලපෑම් පවතින බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. ජලගැලීම් හේතුවෙන් විපතට පත්වූ පිරිසට වැඩි සහන ලබාදීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු විය යුතු බව ද ජයසූරිය මහතා පෙන්වාදෙයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරූ ජයසූරිය මහතා මේ අදහස් පළ කළේය. එම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ගංවතුරින් නිවාස අහිමි වූ පිරිස වෙනුවෙන් රජය ලබාදෙන වන්දි ප්‍රමාණවත් නොවන බවය. adaderana

අතුරුදහන් වූවෙකුගේ මළ සිරුර වසර 2කින් හමුවේ


මීට වසර 2කට පමණ පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම පුද්ගලයා අතුරුදහන් වීම සම්බන්ධයෙන් හලාවත පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු අනුව අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
මීට වසර 2 කට පෙර එම ඝාතනය ‍කර වළ දැමූ බව සැකකරු විසින් අනාවරණය කර තිබේ. ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර අද නැවත ගොඩගෙන පරීක්ෂණ සිදුකිරීමට හලාවත දිසා විනිසුරුවරයා නියෝග කළේය.adaderana

අවසර නැතුව කැණීම් තහනම්


දුම්රිය මාර්ග දෙපස අනවසර කැණීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාර්ගයේ සිට මීටර 2ක් දෙපසට දුම්රිය රක්ෂිතයක් ලෙස නම් කර තිබෙන බව එහි වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේය. එම ප්‍රදේශයේ සිදුකෙරෙන අනවසර කැණීම් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවන බව සමරසිංහ මහතා පෙන්වා‍දෙයි.
වැසි ජලය බැසයාම සඳහා ඇතැම් පුද්ගලයින් සිදුකරන එවැනි කැණීම් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුව තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් පසුගිය දිනවල දුම්රිය ධාවන කටයුතුවලට බාධා සිදුවූ බව ද සමරසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව දුම්රිය රක්ෂිත ප්‍රදේශයේ යම් කැණීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසර ලබාගත යුතු බව සමරසිංහ මහතා පවසයි. adaderana

නාවික හමුදාව තවදුරටත් සේවයේ


පසුගිය සතියේ පැවති ජලගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 4ක් තවදුරටත් සේවයේ යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ප්‍රදේශයේ කණ්ඩායම් 3ක් සහ කඩුවෙල ප්‍රදේශයේ එක් කණ්ඩායමක් බෝට්ටු සමග සහන සේවා කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඊට අමතරව තවත් නාවික හමුදා කණ්ඩායමක් නැවත පදිංචි කරවීමේ කටයුතු සඳහා සහය වීමට යොමු කර තිබෙන බව අතුල සෙනරත් මහතා ප්‍රකාශ කරයි. නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා සහයවීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථා‍නයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන බව සෙනරත් මහතා සඳහන් කළේය. පසුගිය ස‍මයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදා කණ්ඩායම් 30 ක් සහ බෝට්ටු 28 ක් යොදවා තිබුණි. adaderana

ජලය බැසගියත් නැවත පදිංචි කරන්න බෑ


ජලගැලීම් පැවති බොහෝ ප්‍රදේශවල මේ වන විට එම තත්ත්වය පහව ගොස් ති‍බුණ ද ඇතැම් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකළ නොහැකි තත්ත්වයක් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවාස පිරිසිදු කිරීමේ සහ පානීය ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු තවමත් අවසන් කිරීමට නොහැකි වීම ඊට‍ හේතුව බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි. adaderana

සංචාරක ආදායම දෙගුණයකින් වැඩි කරනවා -ලක්ෂ්මන්


සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම ඉදිරි පස් වසර ඇතුළත දෙගුණයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අමෙරිකානු ‍ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා සඳහන් කරයි.
දැනට වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ‍ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් උපයා ගන්නා බව ඔහු පැවසුවේය. වාර්ෂිකව විදේශිකයන් ලක්ෂ 5ක් පමණ මෙරටට පැමිණෙන අතර එම සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා වැඩිකරගැනීමට ද අපේක්ෂිතය. adaderana

බෝම්බයට හේතුව පුද්ගලික ආරවුලක්


රක්වාන, හැදරලිය වත්ත, ඩෙල්වින් බී කොටසේ ලයින් කාමරයක‍ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ගේ සහෝදරියක් සමග එම ලයින් කාමරයේ පුද්ගලයෙකු අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යාම ‍මීට හේතුව බවට පොලිස් පර‍ීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඊයේ එල්ල වූ එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් රක්වාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යැවුණි. ප්‍රහාරය සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

කල් දැමූ විභාග ගැන දැනුම්දීම ඉදිරියේදී


අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ විභාග යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී දැනුම් දෙන බව විභාග කොමසාරිස් ‍ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. ඇතැම් විට එම විභාග මාස කිහිපයක් වුව ද පමා විය හැකි බව ඔහු සඳහන් කළේය.
පසුගිය දිනවලදී විභාග‍ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් පමණ කල්දැමීමට සිදුවිය. කෙසේවුවද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග සාමාන්‍ය පරිදි පවත්වන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

විදෙස් රටක වෙනම රාජ්‍යයක් වෙනුවෙන් බෙදීමක්


ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා වූ ආණ්ඩුවක් විදෙස් රටක පිහිටුවීම පිළිබඳ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව බෙදීමකට ලක්ව සිටින බව අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. අදාළ කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට එම සංවිධානය අසමත් වී ඇති බව ඔහු සඳහන් කරයි. ඔවුන්ගේ පරස්පර විරෝධී මතවාද හේතුවෙන් ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව කණ්ඩායම් 3කට බෙදී ඇති බව විනයාගමූර්ති මුරලිදරන් මහතා පෙන්වා දෙයි.
වී. රුද්‍රකුමාර්ගේ නායකත්වයෙන් යුත් අමෙරිකානු දෙමළ ප්‍රජාව වෙනම කණ්ඩායමත් වශයෙනුත් නෙදියවන් මූලිකත්වය ගන්නා නෝර්වේ දෙමළ ප්‍රජාව තවත් කණ්ඩායමක් වශයෙනුත් කටයුතු කරන අතර ලන්ඩනයේ දෙමළ ප්‍රජාව වෙනත් මතයක් දරන බව මුරලිදරන් මහතා සඳහන් කරයි. සැබෑ ‍නොවන එම ආණ්ඩු සිහිනය වෙනුවෙන් සහය පළකිරීමට දෙමළ ප්‍රජාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද මුරලිදරන් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. adaderana

හරුහිකෝ කුරෝඩා ලංකාවට


Print this

හරුහිකෝ කුරෝඩා ලංකාවට May 24, 2010 08:26 am
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහිකෝ කුරෝඩා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ලබන බදාදා දිවයිනට පැමිණෙන සභාපතිවරයා 28 වැනිදා දක්වා රැදී සිටිනු ඇත. මෙරට රැඳී සිටින කාලය තුළ කුරෝඩා මහතා මන්නාරම, මුලතිවු සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල සංචාරය කිරිමට නියමිත බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
එම දිස්ත්‍රික්කවල පවතින තත්ත්වය පිළිබඳ සොයාබැලීම මෙහි අරමුණ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකරන දෙවන සංචාරය මෙය වන අතර සුනාමි ව්‍යසනයෙන් පසු 2005 වසරේ දී ද ඔහු මෙරටට පැමිණියේය.adaderana

ආයෝජන බාධා ගැන සෙවීමට කමිටුවක්


ආයෝජන සඳහා බාධාවක් වී ඇති නීති සහ රෙගුලාසි පෙන්වාදීම සඳහා ඇමති අනුකමිටුවක් පත්කර තිබේ. කැබිනට් මණ්ඩලය විසින් ‍පත්කර ඇති මෙම අනුකමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතාය.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා සහ ගුණරත්න වීරකෝන් යන නියෝජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරයි. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල සහ ප්‍රාදේශීය අධිකාරී මගින් සම්මත කර ඇති විවිධ පනත් සහ නීති මෙම කමිටුවේ අවධානයට ලක්වනු ඇත. සංවර්ධන ක්‍රියාවලියට බාධා වන එවැනි නීති හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද කමිටුවට පැවරී ඇති බව සඳහන්ය. adaderana

එල්.ටී.ටී.ඊ යත් ලැයිස්තුවට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කළ ළමා අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝණය කළ සංවිධාන ලැයිස්තුවකට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් කර තිබේ. මෙම සතියේ නිකුත් කළ අදාළ වාර්තාව මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධය පැවති කාලයේ දී ළමා සොල්දාදුවන් යොදාගත් ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරු අනාවරණය කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අමතරව අල්කයිඩා, අල්සබාබ්, තලෙයිබාන් ඇතුළු සංවිධාන රැසක් ළමයින් සොල්දාදුවන් ලෙස යොදාගෙන ඇති බවට කරුණු ‍පෙන්වා දී ඇති බව සඳහන්ය. ඇෆ්ගන් පොලිසිය ද අත්අඩංගුවේ පසුවන ළමුන්ට වධ හිංසා කර ඇති බවට චෝදනා එල්ල වී ති‍බීම විශේෂත්වයකි. adaerana

රාජ්‍ය වෙසක් ‍උළෙල මහියංගණයේ


රාජ්‍ය වෙසක් ‍උළෙල අද දවස පුරා මහියංගණය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වෙසක් උළෙලට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද සහභාගීවීමට නියමිතය.
අද පෙරවරු 7 ට උත්සවය ආරම්භ වන අතර ඒ නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා ‍විහාරස්ථානවල සහ පාසල්වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කුලදරුවන් 500 ක් සසුන්ගත කිරීම ද රාජ්‍ය වෙසක් උළෙලට සමගාමීව සිදුකිරීමට නියමිතය. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් අද සිට මැයි 30 දක්වා වූ කාලය ජාතික වෙසක් සතිය ලෙස නම් කර ඇත. adaderana

ලංකාව හා නවසීලන්තය සම ශූරතා දිනයි


අමෙරිකාවේ පැවති පර්ල්ස් කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් සමත්විය. ඒ ඊයේ පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරදවා කඩුළු 7 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම හේතුවෙනි. පළමු තරග‍යේ ජය හිමිකරගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ඊයේ තරග‍යේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 81 කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
පන්දුයැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 4 කට කඩුළු 3 ක් දවාගත් අතර ලසිත් මාලිංග ලකුණු 12 කට කඩුළු 3ක් ලබාගත්තේය. පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකළ අතර එහිදී ටී.එම්. ඩිල්ෂාන් නොදැවී ලකුණු 33 ක් රැස් කළේය. තරගයේ වීරයා ලෙස නුවන් කුලසේකර සම්මාන ලැබීය. තරගාවලියේ වීරයා වූයේ නවසීලන්ත කණ්ඩායමේ නායක ඩැ‍නියෙල් විටෝරිය. adadderana

රක්වානේ බෝම්බ පිපිරීමක්..!


රක්වාන,පුංචිවත්ත ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
අද ප.ව 4.00 ට පමණ"පුංචි වත්ත"ප්‍රදේශයේ ලයින් කාමරයකට එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි පිරිසකට තුවාල සිදුවී ඇති බව හෙතෙම සඳහන් කරයි.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් හතරදෙනෙකු සහ ස්ත්‍රීන්ද සිටින බවත්,දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් රත්නපුර රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රක්වාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.adaderana

"සීපා"සංශෝධනය විය යුතුයි


දේශීය ව්‍යවසායකයින්ට උපරිම සහන සහ වාසි සැලසෙන අයුරින් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින සීපා ගිවිසුමේ සංශෝධන සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂයේ පුළුල් අවධානය ‍මේ සම්බන්ධයෙන් ‍යොමු වී ඇති අතර ඉන්දීය බලධාරීන් ද දැනුවත් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෙසේවුව ද අදාළ ගිවිසුමට විරුද්ධ වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නැතැයි ජෝන් අමරතුංග මහතා කියා සිටියි.
මෙරට ව්‍යාපාරිකයින් අතළොස්සකට පමණක් වාසි සැලසෙන අදාළ ගිවිසුම සංශෝධන විය යුතුය යන්න තම ස්ථාවරය බව ඔහු පෙන්වා දෙයි. ‍ adaderana

පක්ෂය දෙදරා නෑ-රනිල් කියයි


එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාවලිය අඛණ්ඩවම ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය දෙදරා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ඔහු කියා සිටියි. පක්ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර 4ක් ගත යුතු බව හෝමාගම ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව පක්ෂයේ එකමුතුබව රැකගැනීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, තරුණ නායකත්වයට වැඩි ඉඩක් වෙන්කර දීම සහ ශාඛා සමිති ශක්තිමත් කිරීම එම පියවරයන්ට අයත් බව ඔහු ප්‍රකාශ කළේය. adaderana

අභියෝගයක් වුණත් රණවිරුවන්ට සලකනවා


අභියෝග මධ්‍යයේ වුව ද රණවිරුවන්ගේ සුභසාධන වැඩසටහන් කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාතෘ භූමිය රැකදුන් රණවිරුවන්ගේ සුභසාධනය ‍වෙනුවෙන් වි‍ශේෂ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කර ඇති බව හෙතෙම පෙන්වාදෙයි. ජාතික රණවිරු දිනයට සමගාමීව දිගන ප්‍රදේශයේ පැවති රණවිරු උපහාර උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රණවිරු විශ්‍රාම වැටුප් වැඩිකිරීම, දීමනා වැඩිකිරීම සහ රණවිරුවන්ගේ නිවාස සෑදීම හෝ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක් ලබාදීම කෙරෙහි රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana