Saturday, July 3, 2010

අල්හාජ් මවුලවි මියයයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස කටයුතු කළ අල්හාජ් නියාස් මවුලවි පූජකතුමා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන බදුල්ලේදී එතුමාගේ මරණය සිදුව ඇත. දේහය අවසන් කටයුතු සඳහා කොළඹට ගෙනඒමට නියමිතය. adaderana

අම්පාර රිය අනතුරකින් එක් අයෙක් මියයයි


අම්පාර සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 5 සහ 6 කණු අතර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇත. මේ අතර යතුරු පැදිකරු ද බරපතල තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබේ. adaderana

2500 ක වැටුප් වැඩිවීම සිහිනයක් පමණයි


පොරොන්දු වූ පරිදි මෙරට වැඩ කරන ජනතාවට සහන සැලසීමට රජය අපොහොසත් වී ඇති හෙයින් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. මේ සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති කැඳවා ලබන 6 වනදාට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී ලාල් කාන්ත මහතා සඳහන් කළේය.

වැඩිවන ජීවන වියදම හමුවේ මෙරට වැඩ කරන ජනතාව දැඩි අසීරුතාවට පත් ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. රුපියල් 2500 ක වැටුප් වැඩිවීම මෙරට වැඩ කරන ජනතාවට සිහිනයක් බවට පත් ව ඇති බව ලාල්කාන්ත මහතා සඳහන් කළේය. adaerana

යුක්‍රේන සංචාරය නිමකර ජනපති ලංකාවට


සාර්ථක තෙදින යුක්‍රේන නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. පසුගිය 30 වැනිදා යුක්‍රේනය බලා පිටත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ජනාධිපති වික්ටර් යන්කොවිච්, අගමැති මයිකෝලා අසරොව් යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවිය. එහිදී දෙරට අතර සංචාරක, නාවික, ගමනාගමන, ආරක්ෂක ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම් බොහොමයකට එළඹ තිබේ.

ශ්‍රී ලංකාව හා යුක්‍රේනය අතර ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමේ තීරණයකට එළඹීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් යුක්‍රේන සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. යුක්‍රේන සංචාරය නිමා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 10 ට පමණ දිවයිනට ළඟා වූ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. adaderana

මට්ටක්කුලිය නොසන්සුන් වෙයි


මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රී නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මට්ටක්කුලිය පොලිසි‍ය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිසියේ වීදුරු ජනේලයකට පහර දීම නිසා සිදු වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. එයට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රී මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇත.

උද්ඝෝෂකයින් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාර ද එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය. එහි දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා තිබේ. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

රත්‍රන් සමග රේගුවේදී අසුවෙයි


කෝටි ගණනක් වටිනා රත්‍රන් සහ විදේශ මුදල් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ළඟ තිබී එක් කෝටි දස ලක්ෂයක් වටිනා රත්‍රන් බිස්කට් සහ කෝටි දෙකහාමාරකට අධික විදේශ මුදල් තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්ය.

මෙම රත්‍රන් සහ මුදල් කටුනායක ගුවන් තොටුපළ තුළට ගෙන යාමට සහහයෝගය ලබා දුන් නාවික හමුදා නිලධාරිවරයෙකු ද ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේය. රේගු භාරයට ගත් රත්‍රන් සහ විදේශ මුදල් තොගය රාජසන්තක කර ඇත. addaderana

සේවය අතැර ගිය දහසය දහසක් නීතියෙන් ඉවතට


යුද හමුදා සේවය අතහැර ගිය සෙබළුන් දහසය දහසකට අධික පිරිසක් 2009 මැයි මාසයේ සිට මේ දක්වා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදාව පවසයි. අදියර 3 ක් යටතේ පැවති පොදු සමා කාලය තුළ දී මෙම පිරිස නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‍ගේඩියර් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජුනි 30 වන දිනෙන් අවසන් වූ කාලය තුළ සෙබළුන් දෙදහස් ‍එකසිය දෙනෙකු නීත්‍යානූකුලව සේවයෙන් ඉවත් වී ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව 2009 මැයි 31 වැනි දින සිට මේ දක්වා සෙබළුන් 16, 100 ක් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වී ඇති බව සඳහන්ය. adaderana

එකම මගක ගිය දුම්රිය ගැන සොයා බලයි


එකම මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කරමින් වළක්වා ගත් අනතුර පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරි පී.පී විජේසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇති බවයි දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ උදෑසන කැළණිය දුම්රිය ස්ථානය අසළ දී අඹේපුස්ස සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය සහ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියත් එකම මාර්ගයේ ගමන් කොට තිබේ. adaderana

රුහුණු සරසවියේ තවත් පීඨයක් ඇරෙයි


තාවකාලිකව වසා දමා ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ මත්ස්‍ය ජීව හා සාගර විද්‍යා තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බව රුහුණු විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසයි.

විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබුණි. පසුගිය සඳුදා දිනයේ එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබීය. adaderana

138 ක් අයවැයට කැමතියි


මීට සුළු මොහොතකට පෙර අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්ද 138 ක් හිමි වී තිබේ. එමෙන්ම ඊට විපක්ෂව ඉදිරිපත්ව ඇති ඡන්ද සංඛ්‍යාව 75 කි. ADADERANA

ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචිවෙයිද..?


ද්‍රවිඩ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇති බවට ප්‍රවෘත්තියක් ලන්ඩන් ගුවන් විදුලියක් මගින් විකාශය කර ඇතත් එහි සත්‍යතාවයක් නැති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

"ද්‍රවිඩ ජාතික සන්ධානය"යනු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොව ලියාපදිංචි ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක සන්ධානයකි. එබැවින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බොහෝවිට මැතිවරණ වලට තරඟ කරනු ලැබුවේ"ඉලංකෙයි තමිල් අරසුකච්චි"වෙනුවෙන්"නිවස"දේශපාලන සංකේතය යටතේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් එහි මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට සන්ධානය පිහිටුවන අවස්ථාවේදීම යම් යෝජනාවක් තිබුණද ඒ වන විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටි ඔහු ඇතුළු පිරිසට ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ වැඩි බලයක් අත්පත් වනු ඇති බවට සෙසු ද්‍රවිඩ පක්ෂ නායකයින් කල්පනා කළ බැවින් ආර්.සම්බන්ධන් ට මහ ලේකම් ධුරය පිරිනැමීම සිදුනොකෙරිණි.

ඒ අනුව පසු කලෙක ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මහ ලේකම්වරුන් තිදෙනෙකු නම් කර තිබිණි.

ඒ අනුව මාවෙයි සේනාධිරාජා,සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,සෙල්වන් අඩෙයිකලනාදන් යන අයගේ නම් මහ ලේකම්වරුන් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතුළත්ව තිබිණි. එබැවින් දේශපාලන පක්ෂයක් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය ලියා පදිංචිය සඳහා යොමු කර ඇත්තේ ඉහත මහ ලේකම්වරුන් තිදෙනාගේ නම් වලින් සමන්විතව බව සඳහන් වේ.

එහෙත් මැතිවරණ නීතියට අනුව එක් දේශපාලන පක්ෂයක සිටිය යුත්තේ එක් මහ ලේකම්වරයෙකු පමණක් වන අතරම වෙනත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දරන තැනැත්තෙකුට තවත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දැරිය නොහැකිය.

ඒ අනුව මේ වන විට ඉලංගෙයි තමිල් අරසුකච්චි මහ ලේකම් ලෙස මාවෙයි සේනාධිරාජා ද,ඊ.පී.ආර්.එල්‍.එෆ් මහ ලේකම් ලෙස සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාද කටයුතු කරන බැවින් මේ දෙදෙනාගෙන් කිසිවෙකුට හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මහ ලේකම් ධූරය දැරිය හැකි නොවේ.

මෙම ගැටලු අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉල්ලුම්පතක් යොමු කර ඇතත් ඒ සඳහා නෛතික අවකාශයක් ඇත්ද යන්න සැක සහිතය. adadeerana

ඉස්කෝලේ විදුලිය අනාරක්ෂිතයි


මෙරට පාසල්වල පවතින විදුලි පද්ධතිවලින් ‍බොහෝමයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි මහජන උ‍පයෝගීතා කොමිසම පවසයි.

තෝරාගත් පාසල් 80 ක් ඉලක්ක කරගනිමින් අදාළ සමීක්ෂණය සිදුකළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එම සමීක්ෂණයට අදාළ අවසන් වාර්තාව ඉදිරි සතිය තුළදී අධ්‍යාපන අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදුන්නේය.

විදුලි සැර වැදීම හේතුවෙන් වසරකට පුද්ගලයින් 150කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවත් , මේ හේතුවෙන් දැනට විදුලි පද්ධතිවල ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ධමිත කුමාරසිංහ මහතා සඳහන් කරයි. adaderana

සිරගත වෙන්න රනිලුත් සූදානම්


ජනතාව වෙනුවෙන් තමා ඕනෑම අවස්ථාවක සිරගත වීමට පවා සූදානම් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් තමා ‍එදා මෙන්ම අදත් පෙනී සිටින බව හෙතෙම කියා සිටියේය. 2010 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කරන ලදී.

බන්ධනාගාර ගතව සිටින කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට නියමිතව සිටියත් නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට නොහැකිවිය.

පාලිත තෙවරප්පෙරුම මහතාට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට සහභාගීවීමට නිසි වේලාවට අවසර ලබාදුන්නේද නැද්ද යන්න සොයාබැලීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිද්දී ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ"රනිල් වික්‍රමසිංහ මහතාද සිරගත කළ යුතු" බවයි.

ජනතාව වෙනුවෙන් තමන් සිරගත වන්නට සූදානම් බව විපක්ෂ නායකවරයා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ එකී ප්‍රකාශයට පිළිතුරක් වශයෙනි. adaderana

මේ අවුරුද්දේ බස් ගාස්තු වැඩි කරන්නේ නෑ


කිසිවිටෙකත් මෙම වර්ෂය තුළදී බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

බස්ගාස්තු ඉහළ නැංවිය යුතු බවට ඇතැම් පාර්ශවයන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම හුදෙක්ම කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයක් බව ඔහු සඳහන් කළේය. මෙරට ප්‍රධාන බස් සංගම් දෙකක් සමග පසුගියදා සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී ඔවුන් බස්ගාස්තු ඉහළ නොදැමීමට එකඟ වී ඇති බවත් ශෂී වෙල්ගම මහතා පෙන්වාදුන්නේය.

සුළු පිරිසකගේ ඉල්ලීම් සලකා බලා බස්ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.. adaderana