Friday, May 21, 2010

තහනම ඉවතට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පත්කර තිබෙන පළමු යුද අධිකරණයේ විමර්ශන කටයුතු පැවැත්වීම අත්හිටුවමින් පනවා තිබූ තහනම් නියෝගය අභියාචනාධිකරණය අද ඉවත් කළේය. එම යුදාධිකරණයට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කර තිබු පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේය. මෙහිදී යුද අධිකරණයේ කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම් නියෝගය අදින් අවසන් වන බැවින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉල්ලා සිටියේය.

ඊට විරෝධය පළ කළ රජයේ නීතීඥවරුන් එම තහනම් නියෝගය ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ තහනම් නියෝගය ඉවත් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධු‍රයේ කටයුතු කරද්දී දේශපාලන කටයුතුවල නියැලුණු බවට එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම සඳහා යුද හමුදාපතිවරයා විසින් පළමු යුද අධිකරණය පත්කර ඇත. adaderana

මානසික රෝගීන් ගැන නැවතත් නිරීක්ෂණයට


අධිකරණ නියෝග මත අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳ වාර්තා කිරීම සඳහා වූ නිරීක්ෂණ මණ්ඩලය යළි ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. වසර 10කට පසුව මෙම නීරීක්ෂණ මණ්‍ඩලය ක්‍රියාත්මක කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි. අදාළ නීරීක්ෂණ මණ්ඩලය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අධිකරණ නියෝග මත රෝහල් ගත කෙරුණු මානසික රෝගීන් අපහසුතාවට පත්ව සිටි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඊට හේතුව ඇතැම් පුද්ගලයින් මානසික රෝග සුවපත් වීමෙන් අනතුරුව පවා රෝහලේ රැඳි සිටින තත්ත්වයට පත්ව සිටීමය. ඔවුන් රෝහලින් පිටත් කර හැරීම සඳහා අදාළ නීරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය වන අතර එම මණ්ඩලය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සුවපත් වු පිරිස පවා රෝහලේ රැඳී සිටින බව සඳහන්ය. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර නීරීක්ෂණ මණ්ඩලය යළිත් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික සෞඛ්‍ය ඒකකයට උපදෙස් ලබාදී ඇත. adaderana

මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළට


දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මරණ සංඛ්‍යාව 7කි. මීට අමතරව පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. කළුතර‍, කොළඹ, ගම්පහ, රත්නපුර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට ගංවතුරින් දැඩි හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව කෑගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් වලට ද නුවරඑළිය, මහනුවර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලටද ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබේ. මේ වන විට විපතට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ 24,000ක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. නිවාස 260කට සම්පූර්ණයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 1,169ක් අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. අවතැන් කඳවුරු 85ක පවුල් 3,683කට අයත් පුද්ගලයන් 17,253 දෙනෙකු රැඳී සිටින බව වාර්තා වේ. adaderana

රත්නපුර තවත් යටවෙයි


රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයගම, කිරිඇල්ල, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බව එහි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක කර්නල් අබේරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, බලංගොඩ, කොලොන්න සහ කලවාන යන ප්‍රදේශ නාය යෑමේ අවදානමකට ලක්ව තිබේ.

එම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පිළිබඳ ‍අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා පියවර ගෙන ඇති බව ද අබේරත්න මහතා සඳහන් කළේය. කැළණි ග‍‍ඟේ ජල මට්ටම ඊයේ දිනයට වඩා පහළ බැස තිබුණ ද තවදුරටත් එය පිටාර ගැලීමේ අවදානම පවතින බව වාර්තා වේ.

ගංවතුරෙන් පීඩාවට පත්වන පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමතරව යුද හමුදාව සහ නාවික හමුදාව යොදවා තිබේ. මීට අමතරව අවතැන් කඳවුරු දෙකක් ද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. විපතට පත්වුවන්ගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අවදානම් සහගත ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් එම පාසල් වල විදුහල්පතිවරුන්ට බලය පවරා දී ඇති බව ද සඳහන්ය.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් දහසකට අයත් පුද්ගලයන් 2500ක් පමණ අවතැන්ව ඇති බව වාර්තා වේ. මේ අතර පොතුපිටිය ප්‍රදේශයේ දියේ ගිලීමෙන් ඊයේ දිනයේ තරුණයෙකු මියගොස් ඇත. ඔහුගේ මළ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් මේ වන විටත් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. adaderana

ප්‍රවාහ දෙකක් හමුවන නිසා තවත් වැසි


දිවයින ආශ්‍රිත සුළං ප්‍රවාහ දෙකක් හමුවන බැවින් ‍නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි සහ තරමක තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද විටින් විට වැසි ඇති විය හැකිය. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තවදුරටත් අවතැන්ව සිටින බව වාර්තා වේ. වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එම දිස්ත්‍රික්කයේ පවුල් 47,303කට අයත් පුද්ගලයන් 194,770 දෙනෙකු අවතැන්ව සිටියි. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15,809ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 34,535ක්ද ඒ අතරට අයත් වේ.

විපතට පත්වුවන්ට ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ඊයේ රාත්‍රී සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පහත් බිම් යටවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. දිවයිනේ මාර්ග රැසක් ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත. adaderana

පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මියයයි


රත්නපුර ප්‍රදේශයේ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. අදාළ සැකකරුවන් රිල්ලහේන වතුයාය ප්‍රදේශයේ සැඟව සිටින බවට කහවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ දහවල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදි සැකකරුවන් පොලිසියට වෙඩි තැබු අතර පොලිස් ප්‍රතිප්‍රහාරවලින් එක් සැකකරුවෙකු මියගියේය. අඩියාමුල්ල කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. සැකකරුවන් විසින් කොල්ලකා ඇති රුපියල් හාර ලක්ෂ 40,000කට අධික මුදලක් සහ පිස්තෝලයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර රත්නපුර කහවත්ත ඕපාතවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ජීව අත්බෝම්බ දෙකක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙ‍යුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ජීව අත්බෝම්බ සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අවසන් තීරණය අද


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩා‍යමේ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් අද පැවැත්වේ. අද පෙ‍රවරු 10ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ නිල වශයෙන් භාරදී තිබේ. අදාළ යෝජනා පිළිබඳ එකඟතා වලින් අනතුරුව එම යෝජනා ලබන මාසයේ දෙවන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජාතික මහා සම්මේලනයේදී අනුමත කර ගැනීමට නියමිතය. adaderana

රෝග පැතිරීම වැලකීමට පියවර


අධික වැසි සහ ගංවතුර හේතුවෙන් ඉහළ යා හැකි ජලය ආශ්‍රිත රෝග පැතිර යාම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විසින් බලධාරීන් දැනුවත් කර තිබේ. සියලු පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත පවතින තත්ත්වය හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
පානීය ජල මූලාශ්‍ර, එළවළු, පළතුරු අපිරිසිදු වීම සහ සනීපාරක්ෂක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් පාචනය, රක්ත අතීසාරය වැනි රෝග මෙන්ම ඩෙංගු, චිකුන්ගුන්යා වැනි රෝගද පැතිර යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය නිලධාරීන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත. adaderana

කොතලාවල යළි පුටුව නොඉල්ලයි


සෙලින්කෝ ඉන්ෂූවරන්ස් පී.එල්.සී හි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ගේ නිල ධූර කාලය මැයි මස 28 වනදායින් අවසන් වීමට නියමිතව ඇති බව සෙලින්කෝ ඉන්ෂූවරස් සඳහන් කරයි.
එහෙත් මේ වන විට ලලිත් කොතලාවල මහතා තමා දරමින් සිටින තනතුර සඳහා යළි ඉදිරිපත් නොවන බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි කියැවේ.
පුද්ගලික හේතූන් මත ඒ සඳහා ඉදිරිපත් නොවීමට ඔහු තීරණය කර ඇතැයි සෙලින්කෝ ඉන්ෂූවරන්ස් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. adaderana

ලොරි අනතුරෙන් 4 ක් මරුට-28 ක් තුවාලයි


නුවරඑළිය -හඟුරන්කෙත ප්‍රදේශයේ ලොරියක් පාරෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් විසි අට දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පස්වරුවේ මෙම අනතුර සිදුවූ බව හඟුරන්කෙත පොලීසිය සඳහන් කරයි. මිය ගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු ස්ත්‍රීන් බවත්,තුවාල ලැබූවන් හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ. adaderana

අපනයන සංවර්ධනයේ මුල් පුටුව ජනක රත්නායකට


අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන ලෙස ජනක රත්නායක මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ හිටපු සභාපතිවරයාකු වේ.