Friday, August 13, 2010

‍පළමු යුද අධිකරණයේ ෆොන්සේකා වරදකරුවෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පළමු යුද අධිකරණයෙන් වරදකරු බවට පත්ව ඇති බවත්,එකී වරදට දඬුවම් ලෙස ඔහු ගේ තනතුරුවලින් පහල දැමීමක් සිදුකළ හැකි නිසා යුද අධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔවුනගේ තීන්දුව ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා යොමු කර ඇති බව ඒ.එෆ්.පී පුවත් සේවය උපුටා දක්වමින් අල්ජසීරා මාධ්‍ය සඳහන් කරයි.

යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු සිදුකිරිමට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය කැඳවා තිබිණි.

දශක තුනකට ආසන්න කාලයක් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග යුද වැදුනු ශ්‍රී ලංකා රජයට යුදමය ජයග්‍රහණය ලබාදුන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු යුද හමුදාපතිවරයා මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාද වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ට එරෙහිව විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුතු පළමු යුද අධිකරණය කැඳවනු ලැබුවේ මීට මාස 5 ට පෙරාතුව වේ.

තමන්ට එරෙහි පළමු යුද අධිකරණය අහෝසි කරන ලෙස ඉල්ලා මීට පෙරාතුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණද එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරිණි.

සරත් ෆොන්සේකා මහතා වරදකරු කරමින් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා යොමු කළ තීන්දුව සම්බන්ධයෙන් රජය මේ වන ‍තෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

කෙසේ වුවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය සේවයේ යෙදී සිටියදී අවි ආයුධ ගනුදෙනුවලදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා කරමින් දෙවෙනි යුද අධිකරණයක්ද ක්‍රියාත්මක වේ. adaderana.lk

කේ.පී ට දඬුවම් දිය යුත්තේ තරු පහේ හෝටලයක නෙවෙයි


කේ. පී ට දඬුවම් ලබාදිය යුත්තේ ඔහු තරුපහේ හෝටලයක රඳවාගනිමින් නොවන බව වී. ආනන්ද සංගරී මහතා පවසයි. අදටත් නිමාවූ යුද්ධයේ ඇතැම් දේවල් පිළිබඳව මාධ්‍යය තවමත් සිහිපත් කරන බවටත් ඔහු අවධාරණය කරයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති ‍පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සංගරී මහතා මෙම කරුණු දැක්වීය.

උතුරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි ළමුන් 8000 ක් එල්. ටී. ටී. ඊ සංවිධානය ළමා සොල්දාදුවන් ලෙස සිය සංවිධානයට බඳවාගෙන තිබූ බව පෙන්වාදුන් ඔහු අවධාරණය කළේ එම ළමා සොල්දාදුවන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවකු නොදන්නා බවය. එමෙන්ම සෑම පාසලක මෙන්ම විශ්ව විද්‍යාලයකම ‍සිංහල හා ද්‍රවිඩ භාෂා පිළිබඳව සිසුන්ට ඉගැන්විය යුතු බව ද ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කළේය.

අද දිනයේ වී. ආනන්ද සංගරී මහතාට අමතරව අධිනීතීඥ එස්. එල්. ගුණසේකර මහතා ද සාක්ෂි ලබාදී තිබිණි. ජනවාර්ගික ගැටලු ඇතිවීමට මේ රටේ දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලඥයින්ද හේතුවක් වූ බව එහිදී ඔහු පෙන්වාදුන්නේය. එමෙන්ම යුද්ධය පිළිබඳව කතා කළ කිසිදු දේශපාලඥයෙක් හෝ පක්ෂයක් එල් .ටී. ටී. ඊ ළමා සොල්දාදුවන් පිළිබඳව කතා කර නොමැති බව ද ගුණසේකර මහතා අවධාරණය කළේය. යුද්ධය අවසන් වුව ද විශේෂයෙන් උතුරේ සිවිල් ජනතාවගේ ගැටලු නිරාකරණය වී නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමට බලපෑ කරුණු සහ ඉන් පසු කාලයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ සොයාබලා නිර්දේශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති ‍පරීක්ෂණ කොමිසන් සභාව පිහිටුවනු ලැබීය. එම කොමිසන් සභාවේ ප්‍රසිද්ධ සභා වාරය අද රැස්වූයේ තුන්වැනි දිනටය. adaderana.lk

ඒක පාර්ශවීය තීන්දුව පිළිගන්න බෑ


ඒක පාර්ශවීය ලෙස දෙනු ලැබූ යුද අධිකරණ තීන්දුව පිළිගත නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නොමැති අවස්ථාවකදී දෙනු ලැබූ මෙම තීන්දුව කිසිසේත්ම සාධාරණ නොවන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පිහිටි මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ජොන්ස්ටන් අමාත්‍යවරයා සාක්ෂිදීම සඳහා සහභාගී වූ අවස්ථාවේදී පමණක් ෆොන්සේකා මහතාගේ පාර්ශවයෙන් නීතිඥයින් සහභාගී වූ බවත්,එයින් අනතුරුව දිගින් දිගටම සාක්ෂි විමසීම කරනු ලැබුවේ රජයේ පාර්ශවයෙන් පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තමන්ගේ නීතිඥයාට නිවාඩු දී ඇති මොහොතක ලබාදුන් මෙම තීන්දුව පිළිබඳ නීතිඥ සංගමයටත් කරුණු දැක්වීම සඳහා වගකීමක් ඇති බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana.lk

අසාධ්‍ය ඩෙංගු රෝගීන්ට පිලිපීනයෙන් නොමිලේ ඖෂධ තොගයක්


අසාධ්‍ය ඩෙංගු රෝගීන් සඳහා ‍ලබාදෙන"ඩෙක්ස්ට්‍රන් ෆෝටි" නමැති ඖෂධ නික්ෂේපන තොගයක් නොමිලේ ලබාදීමට පිලිපීන ඖෂධ සමාගමක් එකඟතාව පළ කර තිබේ.

ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ආනන්ද සමරසිංහ මහතා පවසන පරිදි මිලිලීටර් 500 බැගින් වු ඖෂධ බෝතල් 400ක් මීට අයත් වේ.

මෙම ඖෂධය අසාධ්‍ය ඩෙංගු රෝගීන්ගේ රුධිර තරල ප්‍රසාරණය සඳහා ශීරාගත ඖෂධයක් වශයෙන් භාවිතයට ගැනේ. අදාළ ඖෂධ තොගය ඉදිරි දෙසතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මෙම ඖෂධ බෝතල් 1,200ක් පමණ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබුණි.
adaderana.lk

මහ වැස්සෙන් ගස් කඩා වැටී නෝර්ටන් බ්‍රිජ් පාර අවහිර වෙයි


ගිනිගත්හේන -නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලොනාක් ප්‍රදේශයේ මාර්ගය දැඩි වර්ෂාව නිසා විශාල ගස් කඩා වැටී අවහිර වී ඇති බව වාර්තා වේ. එමනිසා නෝටන් බ්‍රිජ් වෙත ළඟාවන වාහන වලට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී. අද දහවල් සිට මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙසේ මාර්ගයට ගස් කඩා වැටී මාර්ගය අවහිර වී ඇත.

ඒ අනුව කොළඹ නගරයේ සිට පැමිණෙන රිය පදවන්නන්ට කළුගල හරහා නෝර්ටන් බ්‍රිජ් වෙත පැමිණෙන ලෙසත්, මහ නුවර සිට පැමිණෙන රිය පදවන්නන්ට හැටන් හරහා නෝර්ටන් බ්‍රිජ් වෙත පැමිණෙන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි. adaderana.lk

සමෘද්ධි නිලධාරීන්ගේ ජාවාරම් හොයන්න මර්වින් රටවටේ


තමා නැවතී නැති බවත්,සැඟවී නැති බවත්,දුක්වෙන්නේ ද නැති බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

තමන් මෙතෙක් කරගෙන ආ කටයුතු දිගින් දිගටම කර‍ගෙන යන බවද හෙතෙම කියා සිටියේ අද කැලණිය,පෙතියාගොඩ-වෑවැල්ල පාරට තාර දැමීමේ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම මාර්ගයේ කටයුතු සඳහා ලක්ෂ 175 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ,අවශ්‍ය වන්නේනම් තවත් මුදල් වෙන් කළ හැකි බව ද හෙතෙම මෙහිදී සඳහන් කර තිබේ.

සමෘද්ධි නිලධාරීන් සමෘද්ධි ලාභීන්ගේ නමට බැංකුවලින් ණය පහසුකම් ලබාගෙන ඒවා පොළියට ලබාදෙමින් මුදල් උපයාගන්නා ජාවාරමක් පිළිබඳ තමන්ට තොරතුරු ලැබී ඇතැයි සිල්වා මහතා කියා සිටියේය.

ඒ නිසාම ඇතැම් සමෘද්ධි නිලධාරීන්ට වැටුප් නොලබා වුවද ජිවත්වන්නට ආදායම් මාර්ග පෑදී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම ජාවාරමෙන් සමෘද්ධි නිලධාරීන් මුදවා ගැනීම සඳහා තමන් රට වටේ යන්න සූදානම් බවද ආචාර්ය මාර්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana.lk

රනිල්ගේ මවගේ සුවදුක් බලන්න ජනපති රෝහලට


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්ගේ සුවදුක් විමසා බලන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ජනාධිපතිවරයා රෝහලට ගොස් සුවදුක් විමසූ බව සඳහන් වේ. adaderana.lk

දඹුල්ලේ හෝටල් වලින් 90% ක් ඉතා අපිරිසිදුයි


දඹුල්ල නගරයේ ආපන ශාලා සහ හෝටල්වලින් 90% ක් පමණ දැඩි අපිරිසිදු තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය අංශ පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දිනයේ දඹුල්ල නගරයේ සිදුකළ වැට‍ලීමක දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඇතැම් හෝටල්වල අමු මස්වල ලේ පිසින ලද ආහාරවල දැවටී තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබේ. මෙහිදී ආපනශාලා හා හෝටල් රැසක හිමිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කළ බව දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා සඳහන් කළේය. adaderana.lk

වට මේසයේ නඩු විසඳන්න ළමා අධිකරණය 16 දා


නවීන ක්‍රමවේදයන් වලින් යුතුව නඩු පසිඳලීම සඳහා බත්තරමුල්ල පිහිටවනු ලැබූ ළමා අධිකරණයේ කටයුතු ලබන අගෝස්තු 16 වන දින ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම අධිකරණය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා පවසයි.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා වාද්දුවදී පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට සහභාගී වෙමිනි.

නව ළමා අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලබන දෙවෙනි ළමා අධිකරණය වන අතර තවත් ළමා අධිකරණයක් බම්බලපිටියේ ස්ථාපිත කර ඇති බව ද හෙතෙම සිහිපත් කළේය.

එසේ වුවද ළමයින්ගේ නඩු විසඳීම සඳහා බම්බලපිටිය පිහිටි ළමා අධිකරණයේ පහසුකම් අවම බවත්,නව අධිකරණයෙන් එකී ගැටලු විසඳීම සඳහා ක්‍රියා කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

වෙනත් අධිකරණ කටයුතු මෙන් නොව විනිසුරුවරයා මෙන්ම පැමිණිලිකරුවන් සහ විත්තියේ පාර්ශවය එකම මේසයක් වටා වාඩිගෙන සුහද ලෙස යුක්තිය පසිඳලන ක්‍රමවේදයක් නව ළමා අධිකරණය තුළින් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍යංශ ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana.lk

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ප්‍රංශය අතදෙයි


ශ්‍රී ලංකාවේ කඩිනම් සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ක්‍රිස්ටීන් රොබිෂන් මහත්මිය ඊයේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකාව යුද්ධය නිමාකර අලුත් මාවතක ගමන් කරමින් වේගවත් සංවර්ධනයක් අරඹා ඇති වර්ත‍මානයේ එහි ප්‍රමුඛ හවුල්කරුවෙකු වීමට ප්‍රංශයට හැකිවී ඇති බව ප්‍රංශ තානාපතිනිය පවසයි.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජය දැනටමත් දායක වී සිටින බව ක්‍රිස්ටීන් රොබිෂන් මහත්මිය සඳහන් කළාය. ප්‍රංශ රජය ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ලබාදී ඇති දායකත්වය අතිශයින් අගය අතර එම දායකත්වය ඉදිරියටත් බලාපො‍රොත්තු වන බව මෙහිදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසුවේය. adaderana.lk

සිංගප්පූරුවේදී තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවූ සැකකරු රිමාන්ඩ්


නැටුම් සංදර්ශනවලට යැයි පවසා ශ්‍රී ලාංකික තරුණියන් සිංගප්පූරුවට රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රහස් පොලිසිය විසින් මෙම සැකකරු පසුගියදා බේරුවල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කළ අතර මේ ආකාරයට අතවරයට පත් තරුණියන් රැසක් සිංගප්පූරුවේ දී හමුවී ඇති බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට තීරණය කළ බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. adaderana.lk

කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්


කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන කොම්පඤ්ඤවීදිය, බේබෲක් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක පළමු මහලේ මෙම ගින්න හටගෙන ඇති බව ‍පොලිසිය පවසයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී ‍නොමැති බව පොලිසිය සඳහන් කරයි. කොම්පඤ්ඤ වීදිය පොලිසිය සහ කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ. adaderana.lk

සංක්‍රමණිකයින් රැගත් නැව තුළ මිනිස් ජාවාරම්කරුවන්


කැනේඩියානු මුහුදු සීමාවට ළඟා වී ඇති ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් නෞකාව තුළ පුද්ගලයින් 490 දෙනෙකු පමණ සිටින බව කැනඩාව පවසයි. මේ වන විට නෞකාව කැනේඩියානු වෙරළ සමීපයට පැමිණ ඇති බව කැනේඩියානු රජයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය වික්ටොවුස් මහතා පවසයි. මෙම නෞකාව තුළ මිනිස් ජාවාරම්කරුවන් ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට වාර්තා වන බව වික්ටොවුස් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ කැනේඩියානු මුහුදු සීමාවට පැමිණි මෙම නෞකාව එරට නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය. කැනේඩියානු රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින අතර අනවසර සංක්‍රමණිකයින්ට කැනඩාවට ඇතුළුවීමට ඇති අවස්ථාව අවම කිරීමට මින් ඉදිරියට කටයුතු කරන බව වික්ටොවුස් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.adaderana.lk

විදෙස් ගතවන මව්වරුන්ගේ දරුවන් වෙනුවෙන් ඒකකයක්


විදේශ ගතවන මව්වරුන්ගේ දරුවන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. කටුනායක, ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ එම ඒකකය පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

මව්වරුන් විදේශ ගතවූ විට දරුවන්ට සිදුවන හිරිහැර හා විවිධ අතවර පිළිබඳ ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සභාපතිවරිය සඳහන් කළාය. adaderana.lk

පළමු යුද අධිකරණය අදත්


ජෙනරාල් සරත්‍ ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුද අධිකරණය අද දිනයේ යළි කැඳවීමට නියමිතය. හමුදා සේවයේ යෙදී සිටියදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පළමු යුද අධිකරණය කැඳවා තිබේ. ‍මේ වන විට පැමිණිලි පාර්ශවයේ සියලුම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ බව යුද හමුදා මූලස්ථානය පවසයි.

ඊයේ දිනයේ ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥවරුන් සහභාගී නොසිටි අතර අද දිනයේ ඔවුන්ට සහභාගි වන ලෙස ඉල්ලීමක් කර තිබේ. අද උදෑසන 9.30 ට නාවික හමුදා මූලස්ථානයේ දී පළමු යුද අධිකරණය රැස්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරනු ලැබීය. adaderana.lk

ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට ඕමානයේ දී මාංචු


මුදල් සොරකමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඕමානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඕමානයේ මස්කට් හි බවුෂාර් ප්‍රදේශයේ නිවසකින් මොවුන් මෙම මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අතර කාන්තාවන් තිදෙනකු ද වන බව සඳහන්ය. මොවුන් විසින් සොරකම් කර ඇති මුදලේ වටිනාකම ඕමාන් රියාල් 19,000 ක් වන බව එරට පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් කාන්තාවක් එම සොරකම සිදුවූ නිවසේ සේවය කර ඇති බව ද සඳහන්ය. adaderana.lk

පහරදීම ගැන නිසි පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ප්‍රධානියාට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය පවසයි. පසුගියදා මාතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් එච්. එම්. ඩෙන්සිල් මහතාට බස්රථයක් තුළ දී කිසියම් පිරිසක් විසින් පහරදී තුවාල කර තිබුණි.

ඔහු මේ වන විට මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස දේශීය ආදායම් වෘත්තීය සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
adaderana.lk

කොළඹ -නානුඔය නගරාන්තර දුම්රිය යළි ක්‍රියාත්මකයි


කොළඹ සිට නානුඔය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය අද දිනයේ සිට යළිත් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පාසල් නිවාඩු සමය හා මගීන්ගේ ඉල්ලීම හේතුවෙන් අද දිනයේ සිට දිනපතා එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය. මෙම දුම්රිය කලින් වෙන්කරවා ගැනීමේ හැකියාවද මගීන්ට ලබා දී ඇති බව සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙරවරු 8 .35 ට කොළඹ -කොටුවෙන් ආරම්භ වන මෙම දුම්රිය පස්වරු 2 .10 ට නානුඔය වෙත ළඟාවීමට නියමිතය. නැවත නානුඔය සිට පස්වරු 3 .15 ට පිටත්වන දුම්රිය රාත්‍රී 9 ට කොළඹ -කොටුවට ළඟාවීමට නියමිතය. අද සිට සැප්තැම්බර් 5 දක්වා මෙම දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ. adaderana.lk