Friday, August 13, 2010

කේ.පී ට දඬුවම් දිය යුත්තේ තරු පහේ හෝටලයක නෙවෙයි


කේ. පී ට දඬුවම් ලබාදිය යුත්තේ ඔහු තරුපහේ හෝටලයක රඳවාගනිමින් නොවන බව වී. ආනන්ද සංගරී මහතා පවසයි. අදටත් නිමාවූ යුද්ධයේ ඇතැම් දේවල් පිළිබඳව මාධ්‍යය තවමත් සිහිපත් කරන බවටත් ඔහු අවධාරණය කරයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති ‍පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සංගරී මහතා මෙම කරුණු දැක්වීය.

උතුරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි ළමුන් 8000 ක් එල්. ටී. ටී. ඊ සංවිධානය ළමා සොල්දාදුවන් ලෙස සිය සංවිධානයට බඳවාගෙන තිබූ බව පෙන්වාදුන් ඔහු අවධාරණය කළේ එම ළමා සොල්දාදුවන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවකු නොදන්නා බවය. එමෙන්ම සෑම පාසලක මෙන්ම විශ්ව විද්‍යාලයකම ‍සිංහල හා ද්‍රවිඩ භාෂා පිළිබඳව සිසුන්ට ඉගැන්විය යුතු බව ද ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කළේය.

අද දිනයේ වී. ආනන්ද සංගරී මහතාට අමතරව අධිනීතීඥ එස්. එල්. ගුණසේකර මහතා ද සාක්ෂි ලබාදී තිබිණි. ජනවාර්ගික ගැටලු ඇතිවීමට මේ රටේ දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලඥයින්ද හේතුවක් වූ බව එහිදී ඔහු පෙන්වාදුන්නේය. එමෙන්ම යුද්ධය පිළිබඳව කතා කළ කිසිදු දේශපාලඥයෙක් හෝ පක්ෂයක් එල් .ටී. ටී. ඊ ළමා සොල්දාදුවන් පිළිබඳව කතා කර නොමැති බව ද ගුණසේකර මහතා අවධාරණය කළේය. යුද්ධය අවසන් වුව ද විශේෂයෙන් උතුරේ සිවිල් ජනතාවගේ ගැටලු නිරාකරණය වී නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමට බලපෑ කරුණු සහ ඉන් පසු කාලයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ සොයාබලා නිර්දේශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති ‍පරීක්ෂණ කොමිසන් සභාව පිහිටුවනු ලැබීය. එම කොමිසන් සභාවේ ප්‍රසිද්ධ සභා වාරය අද රැස්වූයේ තුන්වැනි දිනටය. adaderana.lk

0 comments:

Post a Comment