Sunday, June 6, 2010

Chandrika


රජයට බැරිවුනත් අපි රණවිරුවන් සමරනවා -අනෝමා


මෙම මස 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන මාස 04ක් ගතවීම හා සියළුම රණවිරුවන් වෙනුවෙන් රණවිරු සැමරුමක් පවත්වන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨය ඉදිරිපිට ඒ වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒ මහත්මිය සඳහන් කළාය.

එම අවස්ථාවට සහභාගි වන ලෙස ෆොන්සේකා මහත්මිය සියළුදෙනා වෙත ඇරයුම් කර සිටියි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මේ බව සඳහන් කළාය. අයහපත් කාලගුණික තත්ත්වය නිසා රජය විසින් සංවිධානය කරන ලද රණවිරු සතිය පැවැත්වීමට නොහැකි වූ බව ෆොන්සේකා මහත්මිය පෙන්වාදෙයි. adaderana

දිගටම පැරදෙද්දි ප්‍රශ්න ඇතිවෙනවා -දයාසිරි


පක්ෂයක් දිගින් දිගටම පරාජය වීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇති වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද අතීතයේ දී මෙවැනි ගැටලු පැවති බව ඔහු පෙන්වාදෙයි.

පඩුවස්නුවර, හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. මාධ්‍ය විසින් පක්ෂවල නැති අර්බුද මවා පෑමට උත්සාහ කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අවිස්සාවේල්ලේ රිය අනතුරකින් 15කට තුවාලයි


අවිස්සාවේල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ සුදුවැල්ල ඇඟළුම් කර්මාන්තශාලාව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද උදෑසන 6.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. රියදුරු‍ට බස්රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොස්ගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. adaderana

ජනප්‍රිය පාසල් ලෙස බෙදීමක් නෑ -බන්දුල


ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන ආකාරයට රටේ පාසල්වල බෙදීම් තිබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙරට තිබිය හැක්කේ ප්‍රාථමික සහ ද්විතීයික ලෙස වර්ගීකරණය වූ පාසල් පමණක් බව ඔහු පෙන්වාදෙයි.
පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. හොඳ සහ නරක ලෙස පාසල් වර්ගීකරණය කිරිම තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය. adaderana

සංචාරකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩ පිළිවෙළක්


වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සඳහා වි‍ශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පසුගිය දිනවල වනජීවී නිලධාරීන් සංචාරකයින් අතර ගැටුම් ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන සෑම සංචාරක කණ්ඩායමක් සමගම එක් වනජීවී නිලධාරියෙකු යෙදවීමට නියමිතය. මීට අමතරව වනෝද්‍යාන ආවරණය වන පරිදි දිනපතා මුර සංචාර ක්‍රියාත්මක කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. adaderana

රෝගීන් බලන මුවාවෙන් සොරකමේ යෙදුණු කාන්තාවක් අල්ලයි


නේවාසික රෝගීන් බැලී‍මට පැමිණෙන මුවාවෙන් විවිධ රෝහල්වල රෝගීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මුදල් සහ වෙනත් භාණ්ඩ සොරකමේ යෙදුනු කාන්තාවක මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ කොට්ඨාශයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක බව වාර්තා වේ. අදාළ කාන්තාව, රෝහල් අසල කුලී නිවාසවල නවාතැන් ගනිමින් මෙම සොරකම්වල කාලයක සිට නිරතව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. adaderana

උතුරේ ධීවර කටයුතු පාරම්පරික ධීවරයින්ට


උතුරු නැගෙනහිර පළාත්වල ධීවර කටයුතු සඳහා එහි සිටින පාරම්පරික ධීවරයින්ට අවස්ථාව ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දෙමළ, සිංහල, මුස්ලිම් ජාතීන්ට අයත් පාරම්පරික ධීවරයින් රැසක් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බව ඔහු පෙන්වාදෙයි. ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උදව් උපකාර ඇතුළු සියලු අනුග්‍රහයන් දැක්වීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

යුද්ධ‍ය පැවති කාලසීමාව තුළ ධීවර කටයුතු සිදුකිරීමට නොහැකි වූ මෙම ධීවර ජනතාවගේ අනාගත සුභසිද්ධිය උදෙසා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ජී. එල් හා ෆොක්ස් හමුවෙයි


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හා බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේ නව වන ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වී සිටින අතරතුර මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සහ හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජී. එල්. පීරිස් අමාත්‍යවරයා මෙහිදී ලියම් ෆොක්ස් මහතා දැනුවත් කර තිබේ. ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ‍ෙමහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පවසා ඇත. මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදාපතිවරයා සහ යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇත. adaderana

අපක්ෂපාති පරීක්ෂණයකට ජයලත්ගෙන් ඉල්ලීමක්


ගංවතුර සහනාධාර බෙදාහැරීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය සමයේ ඇතිවූ ජලගැලීම් තත්ත්වයේ දී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ල‍බාදීමට ඉදිරිපත් වීම පිළිබඳ තම ස්තූතිය පළ කරන බව එම වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අද්නන් ඛාන් මහතා වෙත ලිපියක් යොමු කරන ජයලත් ජයවර්ධන මහතා පවසයි.

එහෙත් අදාළ ආහාර ද්‍රව්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ ජාඇල ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාශවල බෙදාහැරී‍මේ දී අක්‍රමිකතා සිදුවී ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව ජයවර්ධන මහතා පෙන්‍වා දෙයි. මේ හේතුවෙන් ඒ සම්බන්ධව ලෝක ආහාර වැඩසටහනේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වන ලෙස ජයලත් ජයවර්ධන මහතා ඉල්ලා ඇත. adaderana

නිදන් හොරු දෙදෙනෙක් අල්ලයි


නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනකු හපුතලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිකපොත, හබරලපෙට්ටිවත්ත ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව හපුතලේ පොලිසිය පවසයි.

අයිෆා හරහා කාදර් ආණ්ඩුවට?


අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බොලිවුඩ් තරු අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවිය. මෙම හමුවට බොලිවුඩ් තරු මෙන්ම ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වූ බව සඳහන්ය. එමෙන්ම මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය හා ජැක්සන් ඇන්තනි වැනි ප්‍රවීන ශ්‍රී ලාංකීය නළු නිළියන් ද ඒ සඳහා සහභාගි වී තිබේ.

එමෙන්ම එම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා සහභාගි වී සිටීම විශේෂත්වයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයක් මත එම අවස්ථාවට සහභාගි වූ බව එහිදී අබ්දුල් කාදර් මහතා සඳහන් කර ඇත. එම සුහද හමුව සඳහා තමාගේ සහභාගිවීමම තමන් ආණ්ඩුවට එක්වූ බව‍ පෙන්නුම් කරන බව මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත. adaderana

ප්‍රමිතියක් ඇතිව පාරවල් හැදිය යුතුයි -මර්වින්


මහාමාර්ග ඉදිකිරීමේ දී මින් ඉදිරියට නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කළ යුතු බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස මාර්ග ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම මාර්ග ඉදිකිරීමේ දී අදාළ කාලසීමාව තුළ එහි කටයුතු නිමකිරීමට ද අදාළ අංශ වගබලා ගත යුතු බව මර්වින් සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.adaderana

වස බී කොස්තාපල්වරයෙක් මි‍යයයි


වස පානය කිරීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මි‍යගොස් තිබේ. පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ මහකුඹුක්කඩවල, නවදන්කුලම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුගිය ‍දෙවැනිදා සිය නිව‍සේදී වස පානය කර ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ දී මිය‍ගොස් ඇත. පුද්ගලික හේතුවක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා වසපානය කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි. adaderana

කැන්ඩා ‍යුන් ලංකාවට


එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කැන්ඩා ‍යුන් කෙල්ලා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම් වේ. ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ඔහු මෙරට රැදී සිටීමට නියමිතය. සංචාරය අතරතුර ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය පවසයි. ඊට අමතරව ඔහු විදේශ අමාත්‍යවරයා, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරුන් හමුවීමට නියමිතය. ලබන 9 වැනිදා ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කෙරෙන සම්මන්ත්‍රණයක දී 21 වන සියවසේ කර්මාන්ත සංවර්ධන අභියෝග යන මැයෙන් වන දේශනයක් ද එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවත්වනු ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඔහු බංග්ලාදේශයේ සහ ජපානයේ ද සංචාරය කිරීමට නියමිතව ඇත. adaderana