Saturday, July 24, 2010

මටත් බලාපොරොත්තු තියෙනවා


තමන් තනතුරු බලාගෙන ක්‍රියා නොකරන නමුත් ඕනම පුද්ගලයෙකුට පවත්නා යම් යම් බලාපොරොත්තු තමන්ටත් තියෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී අගමැති ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවක් ඇත්දැයි අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා සිය දෙවෙනි ධූර කාලයේ දිවුරුම් දෙන බවත්,ඒත් සමගම නව කැබිනට් මණ්ඩලයක් පත්වන්නට නියමිත බවත් දැනට තමන් දන්නේ එපමණක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩ නැඟීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

මහනුවර අලුත් රථ වාහන සැලසුම අකුලාගනී


අද පෙරවරුවේ ක්‍රියාත්මක කරන ලද මහනුවර නගරයෙහි නව රථ වාහන සැලැස්ම තාවකාලික ඉවත් කිරිමට තීරණය කර තිබේ. මීට හේතු වී ඇත්තේ නව සැලැස්ම තුළින් කලින් පැවතියාටත් වඩා වාහන තදබදයක් නගරය තුළ ඇති වීමයි.

මධ්‍යම පළත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් නව රථ වාහන සැලැස්ම ඉවත් කිරීමට තීරණය කළ බවයි. මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දෙනු ලැබීම තුළින් ඇති වූ ගැටලු හඳුනා ගැනීමට හැකි වූ බවත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දී නැවත මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. adaderana

රුහුණු සරසවි සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි


රුහුණු සරසවියේ හටගත් සිද්ධිය සහ එහි ශිෂ්‍යයෙකු මිය යාම යන කරුණු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වලට නියෝග කර තිබේ.

සමස්ත සිද්ධිය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට , විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිසමට සහ රුහුණු සරසවි බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉකුත් ජූනි මාසයේ රුහුණු සරසවියේ හටගත් සිද්ධියක දී පහර කෑමට ලක් වූ බව කියන සුසන්ත අරුණ ශිෂ්‍යයා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා රාත්‍රියේ මිය ගියේය.

මෙම මරණය සම්බන්ධයෙන් විවිධ මත පළ වීම හේතුවෙන් සමස්ත සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. adaderana

ලොව පළමු අගමැතිනිය අමතකවීම පිළකුල් සහගතයි


ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් වූ දිනය ශ්‍රී ලංකා රජයට මුළුමනින්ම අමතක වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි.

ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත්වී ජූලි මස 21 වන දිනට වසර 50 ක් සම්පූර්ණ වූ බවත්,ශ්‍රී ලංකා රජය එය සැමරිය යුතුව තිබුණු බවත් ඇය බී.බී.සී ලෝක සේවයට පවසා තිබේ. වත්මන් රජය බණ්ඩාරනායක පවුලට ප්‍රසිද්ධියේ එදිරිවාදිකම් කරන බවද ඇය සඳහන් කර ඇත.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කරමින් "රටේ සාමාන්‍ය ජනයාට විනා රජයට හෝ ඇයගේ පක්ෂයට ඇගෙන් රටට පක්ෂයට වූ සේවය අමතක වී යාම පිළිකුල් සහගතයි.නින්දිතයි"චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳහන් කර ඇත. "ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සලකුණු කරන්නට ඇය සමත්වුණා.ඇය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය ගනු ලැබුවා..විදෙස් රටවල් සමග ගනුදෙනු බොහොමයක් ඇති කර ගැනීමට ඇය කටයුතු කළා." චන්ද්‍රිකා මැතිනිය සිහිපත් කර ඇත.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇත්දැයි ප්‍රශ්න කිරීමේදී ඇය ඊට පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළ බවද බී.බී.සී සේවය සඳහන් කරයි.adaderana

යතිවරයෙක් බුදුන් විකුණලා


පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ හිමිනමක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උස අඩි එකයි අඟල් 3ක් සහ බර කිලෝග්‍රෑම් 12 හමාරක් පමණ වන මෙම බුද්ධ ප්‍රතිමාව රුපියල් තුන් ලක්ෂ 50,000 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව, කුරුඳුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බව සඳහන්වේ.

සැකකාර හිමිනම අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

ඉන්ධන ජාවාරමක් මාට්ටු


කාලයක සිට සිදුකරගෙන යනු ලැබූ ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිසිය සමත්ව තිබේ.

දඹුල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමක දී මේ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බව සඳහන්වේ.

ප්‍රධාන ඉන්ධන ගබඩාවල සිට පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් අතරමග නවතා ඒවායේ මුද්‍රා තැබීම් ඉවත් කොට මෙම ඉන්ධන ජාවාරම කෙරී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්ධන බවුසරයක රියදුරු, සහායකයා සහ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ව්‍යාජ මුද්‍රා තබන මෙවලම් , වෙනත් බවුසර්වලින් ලබාගත් ප්‍රෙට්රල් සහ ඩීසල් බැරල් තොගයක් මෙන්ම ඉන්ධන බවුසරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්වේ.adaderana

සරසවි සිසුගේ මරණය සී.අයි.ඩී යට බාරදුන්නා


රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙ‍නකුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලිස්පතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් මියගිය සුසන්ත අරුණ ශිෂ්‍යාගේ මව ඊයේ ප්‍රකාශ කර තිබුණේ පොලීසියෙන් පහරදී තිබුණද පොලිස් ප්‍රහාර වලින් තම පුතුට මහත් බලපෑමක් එල්ල නොවූ බව හා තවත් ශිෂ්‍යයෙකු කළ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවයි.

එසේ වුව ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ සරසවි ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලීසිය බවයි.

කෙසේ වෙතත් තමන්ට පොලීසිය විසින් පහරදුන් බවට සුසන්ත අරුණ සිසුවා මිය යන්නට මත්තෙන් දියතලාව රෝහල් පොලිසියට කට උත්තරයක් ලබා දී ඇති බවද සඳහන් වේ.adaderana

නීති විරෝධීව සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමාවක්


නීතිවිරෝධී ලෙස ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් ලබාදී තිබේ. දැනට ක්‍රියාත්මක වන පොදු සමාකාලය ලබන ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අදාළ කාල සීමාව තුළ ලෙබනනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කිසිදු මුදලක් අයකර නොගන්නා බවත්, ඔවුන්ට ‍එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බව ද ලෙබනන රජය නිවේදනය කර ඇත. මේ වන විට ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ලෙබනනයේ රැකියාවල නිරතව සිටින බව ද සඳහන් වේ. adaerana

ස්වයං රැකියා ලාභීන්ටත් විශ්‍රාම වැටුප්


රාජ්‍ය ‍විශ්‍රාම වැටුපක් අහිමි සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ස්වයංරැකියාවන්හි නිරත වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවීමට යෝජිතය.

අවුරුදු 18 ත් 59 ත් අතර වයසේ පසුවන අදාළ වෘත්තිකයන්ට මෙම විශ්‍රාම වැටුප් හිමිකම් දායකත්වය ලැබිය හැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි. එහෙත් ධීවර කර්මාන්තවල නිරත වෘත්තිකයන්ට මෙම දායකත්වය ලැබිය නොහැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන්කරයි.

රූපලාවන්‍ය ශිල්පීන්, ත්‍රිරෝද රථ රියදුරන්, පෞද්ගලික බස්රියදුරන්, හස්ත කර්මාන්ත ශිල්පීන්, කුඩා කර්මාන්ත හිමියන්, තොග හා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයින් ආදී වෘත්තිකයින්ට මෙහි දායකත්වය ලැබිය හැකි බව සඳහන් වේ. adaderana

ශ්‍රී ලංකාවට එරෙහි සීමන් තවදුරටත් රිමාන්ඩ්


ශ්‍රී ලංකා රජයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක නිරත වී ජාතික ආරක්ෂාව පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට පත් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් අගෝස්තු මස 06 වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

වේලු රිමාන්ඩ් භාරයේ තබා සිටි සීමන් නඩු විභාගය සඳහා අද දහවල් චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ශාන්තිනී විසින් මොහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර ඇති බව GTN පුවත් සේවය උපුටා දක්වයි.

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබන්නේනම් ඉන්දියාවේ ශ්‍රී ලාංකික කිසිවෙකුටත් වාසය කිරීමට ඉඩ නොතැබිය යුතුයි යන්න සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කළ මොහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 12 වන දින අත්අඩංගුවට පත්විය.

එසේ වුවද චෙන්නායි අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාව ආවරණය කිරීම සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන් අමතා සීමන් කියා සිටියේ"තමිල්නාඩු ධීවරයින්ට අරක්ෂාව නෑ.ජාතික ආරක්ෂාව යටතේ මාව රඳවාගෙන තබාගැනීම සාධාරණද.."? යන්නයි.

"ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට වෙඩි තියනවා.ඒකට විරුද්ධ වුණාම මට උරුම හිරගෙයද..?අද වෙනතුරුත් මාව තනි කූඩුවක හිර කරලා.." සීමන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

හොරෙන් ගස් කැපූ කළමනාකාරවරයාගේ වැඩ තහනම්


රාජ්‍ය දැව සංස්ථාවේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරුවෙකුගේ වැඩ තහනම් කර තිබේ. අම්පාර මහඔය , රඹුක්කන්ඔය ප්‍රදේශයේ සිදුවු දැව ජාවාරමකට සම්බන්ධ බවට අදාළ ප්‍රාදේශීය කළමනාකරුවාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එස්.අමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව සඳහන් කළ සභාපතිවරයා එම සිද්ධියට සම්බන්ධ බවට සැ‍ක‍ කෙරෙන තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ‍මීට පෙර පියවර ගත් බව ද කියා සිටියේය. සංස්ථා සභාපතිවරයා ලෙස තමාට හිමි බලතල යටතේ මෙම පියවර ගත් බව අමරසිංහ මහතා සඳහන් කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරීන් විසින් මෙම දැව ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි. adaderana

ඩෙංගු වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි


ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ යටතේ දිස්ත්‍රික්ක තුළ ඩෙංගු මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මසකට වරක් පුළුල් සමාලෝචනයක් සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඩෙංගු මර්දනය පිළිබඳ වගකීම් පැවරීමේ විශේෂ සමුළුවක් අද කොළඹ දී පැවැත්වුණි. ඩෙංගු රෝගය මේ වන විට දිස්ත්‍රික් 15ක ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එසේ වුව ද ඩෙංගු රෝගීන් සමස්තයක් වශයෙන් රටපුරාම වාර්තා වන බවය. adaderana

මගේ පුතා මැරුණේ පොලීසියෙන් ගුටිකාල නෙවෙයි


තමන්ගේ පුතාට පොලීසිය එළව එළවා පහරදුන්නත් එය එතරම් බලපෑමක් විය නොහැකි බවත්,‍එයින් වේදනාවක් ගෙන නොදුන් වග ඔහු කියා සිටි බවත් පහරකෑමට ලක්ව මිය ගිය සරසවි සිසුවාගේ මෑණියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි.

තමන්ට වඩාත් රිදුණේ තමන්ගේම ශිෂ්‍යයෙකු විසින්ම දුන් පහරදීමකින් බවට ඔහු සඳහන් කළ බවත්,ඒ පිළිබඳ සිසුන් නිවරදි තොරතුරු දන්නා නමුත් මේ වන විට බිය නිසා නොකියන බවත් ඇය කියා සිටියේ අද නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා ඉදිරියේ ප්‍රකාශයක් කරමිනි.

මියගිය ශිෂ්‍යයා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සුසන්ත අරුණබණ්ඩාර නැමති අයෙකි..

තම සිසුවකු මරා දැමීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මාතර නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඒ සඳහා රුහුණු සරසවියේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ද සහය ලැබුණු බව වාර්තා විය. adaderana

රට රැකියා පෙන්නා ලක්ෂ නවයකට විදලා


විදේශ රැකියා ල‍බාදෙන බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 9 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය‍ වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ..

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වන ශරීර ඇප මත සහ රුපියල් 20,000 බැඟින් වන මුදල් ඇප මත මුදා හැර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය. adaderana