Tuesday, February 2, 2010

තවත් 1200 ක් යළි පදිංචි කෙරෙයි


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවතැන්වුවන් 1200 ක පිරිසක් යළි පදිංචි කිරීම ආරම්භ කර තිබේ.
නැවත පදිංචි කරන පුද්ගලයින්ට අවශ්‍ය යටිතළ පහසුකම් සහ ‍අනෙකුත් මුල්‍ය පහසුකම් ලබාදීමට රජය පියවරගෙන ඇති බවද සඳහන් වේ.
මීට අමතරව එම ප්‍රදේශවල ජිවත් වන ධීවරයින්ට අවශ්‍ය ආම්පන්න ලබාදීමට ද රජය පියවරගෙන තිබේ.
මාස 6 ක කාලයක් සදහා නැවත පදිංචි කරන පුද්ගලයින් සඳහා මුල්‍යාධාර පහසුකම් සැපයෙන බව වාර්තා වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ය‍ටතේ අමෙරිකානු ඩොලර් මිලියන 28 කට අධික සහනාධාර ප්‍රමාණයක් ද මෙම ජනතාවගේ සුභ සාධන කටයුතු සදහා ලබාදී ඇති බව සඳහන් වේ..

වතුකරයට හාල් ලාබයි


වතුකරයේ ජනතාව සඳහා සහනදායි මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
සමුපාකාර සමිති හරහා මෙය ක්‍රියාත්මක කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.පී.ජි.කුමාරසිරි මහතා කියා සිටියි. මේ යටතේ නාඩු සහල් කිලෝවක් රුපියල් 60 කට , සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 55 කට අළෙවි කිරීමට පියවරගෙන ඇති බව සඳහන් වේ.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මෙම සහල් තොග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සමුපකාර සමිති වෙත ලබාදීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ජනපති දෙවෙනි නිල කාලය නොවැම්බර් 19 න් ඇරඹෙයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ධූර කාලය 2010 වසරේ නොවැම්බර් මස 19 වන දින සිට ආරම්භ වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තීන්දු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද සවස සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දී තිබේ.
පසුගිය 26 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.

පොලිස් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්


මාතර කඹුරුගමුව මඩිය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකුට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදුකර තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීයා සහ තවත් අයෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කළේය. මුදල් ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි මාතර පොලිසිය පවසයි.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු හදුනාගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

තවත් සන්ධානයක්ද...?

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්ව සහභාගී වූ අයුරු.මෙහිදී ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේ නොබෙදුණු රටක් තුළ පිළිගත හැකි දේශපාලන විසඳුමක් වෙනුවෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සූදානම් බවයි.