Sunday, March 7, 2010

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි


ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. මේ බව අද හෙළිදරව් වූයේ අද දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම ජංගම දුරකතනය භාවිත කරමිනි. එහෙත් ඊයේ සවස හදිසියේම එම අවසරය අවලංගු කරල සිය දරුවන්ගේ දුක සැප සොයා බැලීමට ජෙනරාල්වරයා ඇති අයිතිය අහිමි කර තිබේ. ඊට විරෝධය පළ කරමින් ෆොන්සේකා මහතා අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කරනු ලැබීය. අද පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය.
"මම මගේ ස්වාමිපුරුෂයා බලන්න යන සෑම අවස්ථාවකදීම මගේ ජංගම දුරකතනය අරගෙනයි යන්නේ. ඒක විදේශීය ඇමතුම් ලබා ගත හැකි දුරකතනයක්. මම ‍මගේ ස්වාමිපුරුෂයා බලන්න යන අවස්ථාවේදී ගෙනියන මගේ ජංගම දුරකථනයෙන් තමයි මගේ ස්වාමි පුරුෂයා මගේ දියණියන් දෙදෙනාට කතා කරන්නේ.
මම ඊයේ මගේ ස්වාමි පුරුෂයාට රාත්‍රී ආහාරය ගෙන ගිය අවස්ථාවේදී මාත් එක්ක ගිය නිලධාරියා මට කිව්ව මට දුරකතන ඇතුළට ගෙන යාමට නොහැකියි කියල. ඒක මගේ හදවතට වැදුණු අකුණු පහරක් හා සමාන වුණා. මොකද මුළු ලෝකෙම කොයි ආකාරයට කිව්වත් මම දන්නව මගේ ස්වාමි පුරුෂයා කොයි තරම් හොඳ තාත්ත කෙනෙක්ද, එයාගෙ දරු සෙනෙහස කොයි තරම්ද කියල.
අපේ දියණියන් දෙදෙනා හැමදාම මග බලාගෙන ඉන්නව එයාගෙන් ඇමතුමක් ලබා දෙනකම්. මොකද ඒගොල්ලො සැතපුම් දහස් ගණනක් දුර ඈත ඉන්නෙ. ඒ වගේමයි ඔහුත් මග බලාගෙන ඉන්නව මම දුරකතනය අරන් එනකම් දරුවන්ට කතා කරන්න. ඒක ඔහුට ලබන ලොකු සහනයක්.
මේක අධිකරණයෙන් පවා අවසර ලබා දුන් දෙයක්. නමුත් මේ අධිකරණ නියෝගය පවා උල්ලංඝනය කරමින් මට ඊයේ රාත්‍රී සිට ජංගම දුරකතනය ගෙනියන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මම ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල. ඒ අවස්ථාවේදී එම නිලධාරීන් කිව්වෙ ආරක්ෂක අමාත්‍යංශයෙන් තමයි මෙම නියෝගය ඔවුන්ට ලැබුණෙ කියල.
මේ වෙලාවෙදි මගේ ස්වාමි පුරුෂයා කියා සිටියා ඔහුගේ මෙම අවස්ථාව නැවත ලබා දෙන තුරු ඔහු නිරාහාරව සිටීමට තීරණය කළා කියල. ඒ අනුව ඔහු අද උදෑසන සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරත වෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය අධිකරණයත් ඉහළින් තියෙන්නෙ කියල මම ඊයෙ දැන ගත්ත. ඇත්තෙන්ම මේක පළිගැනීමක් ලෙසයි මම දකින්නෙ. හදවතක් නැති මිනිසෙකුට, පිය සෙනෙහසක් දන්නෙ නැති කෙනෙකුට පුළුවන් මේ වගේ තීරණයක් ගන්න.truth

ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී


කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.truth

අපේක්‍ෂක ලැයිස්තුව අවලංගු කරන්න - තිස්සගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


එක්සත් ජාතික පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසත්, එසේ නොහැකි නම් නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතා හෙට (08)ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට මුලින්ම තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුව නාම යෝජනා භාර දීමේදී තිස්ස කු‍ට්ටිආරච්චිගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ටිපෙක්ස් යොදා තිස්ස කුට්ටිආරච්චිගේ නම ඉවත් කර ඇති බවයි.
තමාගේ නම ඇතුළත් කිරීමෙන් පසු එම යෝජනා පත‍්‍රයට තමාගේ අත්සනද යෙදූබවත්, නාමයෝජනා පත‍්‍රය භාර දෙන අවස්ථාවේ තමාගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බවත්, බාර දුන් නාමයෝජනා පත‍්‍රයේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නාමයෝජනා පත‍්‍රය වෙනස් කර තිබෙන බවත් අදාල පෙත්සමේ දක්වා ඇත.
මේ අනුව සිය නම මොනරාගල දිස්ත්‍රික් අ‍පේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස නියෝග කරන ලෙසත්, එසේ නැතහොත් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ලැයිස්තුව අවලංගු කරන ලෙසන් මෙම පෙත්සමෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා ඉල්ලා ඇත. තිස්ස කුට්ටිආරච්චි මහතා මංගල සමරවීර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශවයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂකයාය.
දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියකු විසින් පිළිගන්නා ලද නාමයෝජනා ලැයිස්තුවකට අලූත් නමක් ඇතුළත් කිරීම හෝ එවැනි නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කිරීම සිදු කළ හැක්කේ අධිකරණ තීන්දුවකට පමණක් බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය එජාප මහ ලේකම්වරයාට දැනුම්දී තිබෙන අතර, ඒ අනුව තමාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිඥ නිලන්ති පීරිස් මහත්මිය මගින් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන බව තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.truth

අපි බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරනවා ව‍ගේම ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා - සෝමවංශ අමරසිංහ


යාපනය, වන්නි, මඩකලපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලට තරග වදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (06) වව්නියාවේදී පැවැත් විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු නායකයින් පිරිසක් ඊට සහභාගි වූ අතර ඉහත දිස්ත‍්‍රික්කවලට තරග වදින අපේක්‍ෂකයෝද සහභාගි වූහ. එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ පැවසීය.
"අපේක්‍ෂිකාවන් පිරිසකුත් මේ අවස්ථාවට සහභාගි විය යුතුව තිබෙනවා. නමුත් ඔවුන් අද මෙතැනට ඇවිත් නැහැ. ඔවුන් ඉන්නේ සරණාගත කඳවුරුවල. අපේ රටේ තාමත් කඳවුරු තිබෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
මම වව්නියාවට මුලින්ම ආවේ 1954 අවුරුද්දේ. එතකොට මට අවුරුදු 11යි. ඒ ආවේ දේශපාලනය කරන්න නොවෙයි. අපේ තාත්තා වැඩ කළේ පදවියේ. ඔහු බලන්න යන කොට වව්නියාවේ බැහැලා යන්න ඕන. එතකොට මම දැකපු දෙයක් තිබුණා. මේ ප‍්‍රදේශයේ,වව්නියාවේ සිංහල,දෙමළ,මුස්ලිම් සියලූ දෙනාම එකට සහයෝගයෙන් ජීවත් වුණා. ඊට පස්සේ තත්වයන් වෙනස් වුණා. අවුරුදු 11 ඉඳලා මේ වෙන කොට මේ ප‍්‍රදේශය ගැන මතකයන් ගොඩක් තිබෙනවා. ඒවා අතර සතුටු විය හැකි මතකයනුත් තිබෙනවා. නමුත් වැඩිපුරම තිබෙන්නේ කණගාටුදායක මතකයන්.
මම ඉතිහාසය ගැන කතා කරන්නේ අපට අලූත් දෙයක් කරන්න සිදු වී තිබෙන නිසා. 1953 අවුරුද්දේ, නිදහසින් අවුරුදු පහකට පස්සේ පාලක පංතිය තමන්ගේ බැරිකම පෙන්නුවා. එදා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එකට එක්ව විරෝධය පළ කළා. ඒකට කිව්වේ හර්තාලය කියලා. පාලක පංතිය දක්‍ෂ නම් මේ රටේ ජනතාව එහෙම නැගිටින්නේ නැහැ. ඊළඟට නිදහස ලබා ගෙන අවුරුදු 23කට පස්සේ, 1971 නැගිටීමක් සිද්ධ වුණා. ඒක ගැන පාලක පංතිය මොන කතා කිව්වත්, ඒකත් සිද්ධ වුණේ පාලක පංතියේ බැරිකම, අදක්‍ෂකම නිසා. එහෙම නැතිව නැගී සිටි අයගේ වරදක් නිසා නොවෙයි. ඊළඟට 1975 වන විට උතුරු නැගෙනහිර පළාත්වල තවත් නැගිටීමක් ආරම්භ වුණා. ඒ නැගිටීම සමග අපේ එකඟතාවක් ඇත්තේම නැති වුණත් අපි දකින්නේ ඒකත් පාලක පංතියේ බැරිකම. ඒ නැගිටීම අවුරුදු 30ක් පුරාවට ගියා. ඒ අතර තුර 1983 අපේ පක්‍ෂය තහනම්කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර තිබූ තත්වයක් තුළ, ඉන්දියානු හමුදාව පැමිණ සිටි තත්වයක් තුළ අපටත් 87-89 කාලයේ නැගී සිටින්න සිද්ධ වුණා. පාලක පංතිය ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප‍්‍රශ්න විසඳන්න සමත් වුණා නම් මේ වගේ සිදුවීම් ඇති වෙන්නේ නැහැ.
දැන් රටේ අලූත් තත්වයක් තිබෙන්නේ. ඒ තත්වය තේරුම් ගත් පක්‍ෂ සහ පුද්ගිලයින් එකතු වෙලා, සරත් ෆොන්සේකා මහතාත් එකතු වෙලා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගොඩ නැගුවේ. අලූත් තත්වයට මුහුණ දෙන්න, රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා දෙන්න. ඔබ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයින්. අපි දිස්ත‍්‍රික්ක 22ටම තරග කරනවා. අද මෙතැනට වැල්වැටිතුරේ, මන්නාරමේ, වව්නියාවේ, ත‍්‍රිකුණාමලයේ, මඩකලපුවේ සිට අපේක්‍ෂකයින් ඇවිත් තිබෙනවා. ඒක විශාල ජයග‍්‍රහණයක්.
බෙදුම්වාදය ගැන කතා කරනවා නම්, අපි ඊට විරුද්ධ වුණේ අද ඊයේ නොවෙයි. වෙනම රාජ්‍යයක් පිළිබඳ සංවාදය ආරම්භ වූ මොහොතේම අපි ඒ සම්බන්ධ අපේ විරෝධය පළ කළා. එය අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. අපි බෙදුම්වාදයට විරෝධය පළ කරන්නේ නිකම්ම නොවෙයි. අපි බෙදුම්වාදයට විරුද්ධයි වගේම සියලූ දෙනාට එකම නීතියක් ඇති කිරීම, ඕනෑම අයකුට ඕනෑම තැනක පදිංචිවීමට ඇති අයිතිය පිළිගැනීම, තමන්ගේ මව්බසින් කටයුතු කිරීමට තිබෙන අයිතිය පිළිගැනීම ඇතුළුව ජාතික සමගිය, ජාතික සංවර්ධනය, ජාතීන් අතර සහජීවනය තදින් වැළඳ ගන්නවා. සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනම රටේ ඕනෑම තැනක කටයුතු කළ හැකි භාෂා ලෙස පිළිගත යුතු යැයි මුලින්ම පිළිගත්තේ අපි. තවමත් වෙනත් කිසිම පක්‍ෂයක් ඒ ප‍්‍රතිපත්තිය පිළිගෙන නැහැ.
අපි සරත් ෆොන්සේකා මහතා සමග එක් වූයේ, මැයි 18 වැනිදායින් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රටට දෙන්න බැරි වුණු දේ දිනා දෙන්න. මැයි 18 වැනිදායින් පසු අපේ බලාපොරොත්තුව වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සංහිඳියාව, සමාන අවස්ථා ඇති කිරීම. ඒ තත්වය ඇති කරන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතාට ඒක කරන්න තිබුණා.
සුගිය ජනවාරි 26 වැනිදායින් පසුව, ජනාධිපතිවරණයෙන් පසුව ගෙවී ගිය ඉතාම කෙටි කාලය තුළ මහින්ද රාජපක්‍ෂ පෙන්වා තිබෙනවා මේ රටේ ඇති වෙන්න යන්නේ මොන වගේ පාලනයක්ද කියලා.මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන්න කැමැත්තක් තිබෙන කෙනෙක්, කිසිම දවසක විරුද්ධ මත දරන පක්‍ෂවලට තර්ජනය කිරීම් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ නැහැ. ජාතික සමගිය බලාපොරොත්තු වන ජනාධිපතිවරයෙක් කිසිම දවසක ජාතිවාදය අවුස්සන්නේ නැහැ. ජනාධිපතිවරණය වෙලාවේ සිංහල ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇවිස්සුවා. මේ පාලනය ඉතාම නරක, ෆැසිස්ට් ජාතිවාදී පාලනයක්. මේ රටට ඕන දේශපේ‍්‍රමී ජාත්‍යන්තරවාදී පාලනයක්. කිසිවකුගේ දේශභක්තිය සිංහල විරෝධී හෝ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ වෙන්න බැහැ. මේක සියලූ දෙනාගේම රට.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නිසා, ජාත්‍යන්තරය සමග ගනු දෙනු කරන්න දන්නේ නැති නිසා ඒක අපේ රටේ ආර්ථිකයට බල පානවා. ජී එස්. පී ප්ලස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මේ සියල්ල ගැට ගැසී තිබෙන්නේ අපේ රට ජාත්‍යන්තරය සමග ඇති කර ගත් ගිවිසුම් සමගයි. නිදහස, මාධ්‍ය නිදහස,සාධාරණ මැතිවරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතුයි. ඒ ගිවිසුම් කඩ කළ විට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ අහිමි වන ඩොලර් කෝටි ගණන් නැවත ලබා ගන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා අපි ගොඩනැගූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට තිබෙන ඉඩ විශාලයි, වැඩ විශාලයි. ඒ ඉඩ හා වැඩ අපේ අතට ගනිමු. කුසලානය දිනවමු."truth

මට ප්‍රසිද්ධිය දුන්නේ හෙළ උරුමය - මනෝ ගනේෂන් මල්වතු මහ නාමියන්ට කියයි


තම පියාගේ උරුමයෙන් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කොට දේශපාලනය කරන තමන්ට මෙවර මහ මැතිවරණයේ ප්‍රසිද්ධිය ලබා දුන්නේ ජාතික හෙළ උරුමය පක්ෂය බව මනෝ ගනේෂන් මහතා මල්වතු මහ නාහිමියන් සමඟ පැවසීය. මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟවදින තමන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන ලෙද ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කළ බවත්, මේ රටේ ජාතිවාදය පිළිබඳ හෙඳම නිදර්ශනය මෙය බවත් ගනේෂන් මහතා මෙහිදී පවසා ඇත.
මේ අවස්ථාවේදී ගනේෂන් මහතාට අවවාද කරමින් මල්වතු මහ නාහිමියෝ පවසා ඇත්තේ ගනේෂන් මහතාටත් මහනුවරින් ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බවත්, මේ රටේ සුළු ජාතීන් නොවන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති බවත්, යම් යම් පුද්ගලයින්ගේ උද්ඝෝෂණවලට නොසැලී කටයුතු කරන ලෙසයි. truth

එ.ජා.ප-ජ.වි.පෙ ‍බෝඩ් ලෑලි විතරයි


එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බෝඩ් ලෑලි වලට පමණක් සීමා වී ඇති බව සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා පවසයි.
ඔහු පවසන පරිදි මහ මැතිවරණයට පෙර සිටම එම පක්ෂ දෙකට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පක්ෂ හැර යාම හේතුවෙන් මෙම ඉරණමට මුහුණ දීමට සිදු ව ඇති බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
රඹුක්කන , මඩවල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙමින් සිටින බවයි.ada

පත්‍රිකා බෙදීම 23 දා ඇරඹෙයි


මෙවර මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව තැපැල්පති එම්.කේ.බී දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කරන පරිදි ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
28 වන දා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති අතර ලබන 31 වනදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන පරිදි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 22 වන දින තැපෑලට භාර දීමට නියමිත ව තිබේ. ada

දියේ ගිලී තිදෙනෙක් මරු දකිති


දඹුල්ල , ඉබ්බන්කටුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් ‍තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇත. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් පස්යාල , දොම්පේ සහ පැපිලියවල ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. මිය ගොස් ඇත්තේ කොළඹ , මරදානේ පිහිටි පෞද්ගලික සමාගමක සේවක පිරිසකි.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කුඩුත් එක්ක බඩු මාට්ටු


හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල පොලිසිය පවසන පරිදි හෙරොයින් ග්‍රෑම් 24 යි මිලි ග්‍රෑම් 500 ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර 34 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන බව සඳහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.ada

මහ මැතිවරණයටත් විදෙස් නිරීක්ෂකයින් සූදානම්


එළඹෙන මහ මැතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් ගෙන්වීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි ඒ අනුව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිලධාරීන් 50 දෙනෙකු පමණ ගෙන් වීමට මූලික කටයුතු අවසන් කර තිබේ.
ඔවුන් මේ මස 25 දින පමණ වන විට මෙරටට පැමිණෙනු ඇති බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
මැතිවරණයට අදාළ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ දී පොලිසියේ කාර්යභාරයේ දුර්වලතා පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

ගායක අබේවර්ධන බාලසූරිය දැඩි සත්කාර ඒකකයේ


ප්‍රවීණ ගායන ශිල්පි අබේවර්ධන බාලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින වග වාර්තා වේ.හදිසියේ බරපතල ලෙස රෝගාතුරු වූ ඒ මහතා මේ අයුරින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව කියැවේ. ada