Saturday, May 1, 2010

කට්ටඹුවාව ගල්තලාවක පිපිරීමක්


මහව, කට්ටඹුවාව ප්‍රදේශයේ විශාල ගල්තලාවක පිපිරීමක් හටගෙන තිබේ. විශාල හඩක් නංවමින් මෙම පිපිරීම් සිදුවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. කිලෝමීටර් 15 ක පමණ පුරා පිහිටි මෙම ගල්තලාවේ ස්ථාන රැසක මේ වන විට පිපිරීම් හටගෙන ඇත.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යාංශය ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ කේ.ඒ.ඩී.එල්. විජේනායක මහතා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත. ගල්තලාව අවට නිවාසවල‍ වෙසෙන ප්‍රදේශවාසීන්ට ඉන් ඉවත් වන ලෙස ද භූ විද්‍යා හා පතල් කාර්යාංශය දැනුම් දී තිබේ. adaderana

ජනතාව ජීවත්වීමේ අභියෝගයක -රනිල්


උපයන වැටුපට සාපේක්ෂව දිවි ගැට ගසා ගැනීමේ අභියෝගයකට ජනතාව මුහුණ දී සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුද්ධය පැවති සමයට වඩා ජනතාව මේ වන විට අසීරු තත්ත්වයකට පත්ව ඇති බව හෙතෙම පෙන්වා දෙයි. රට තුළ කර්මාන්තශාලා වැසී යමින් විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බව විපක්ෂ නායකවරයා ‍අවධාරණය කරයි.
ජී.එස්.පී ප්ලස් බදු සහනය මෙරටට අහිමි කිරීම නිසා අපනයනය මත පදනම් වූ කර්මාන්ත හා ව්‍යාපාර බිඳ වැටෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දෙයි. මානව හිමිකම් හා ජනමාධ්‍ය නිදහස සුරැකීමට ආණ්ඩුව මේ වන තෙක් ධනාත්මක පියවරක් ගෙන නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. adaderana

රට ගැඹුරු අර්බුදයක -ජවිපෙ


ශ්‍රී ලංකාව ගැඹුරු සමාජ ආර්ථික අර්බුදයකට අවතීර්ණ වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මගින් එය පැහැදිලි වන බව එම පක්ෂය කියා සිටියි. රාජ්‍ය ණය බර පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඊට ආණ්ඩුවේ නාස්තිය, වංචාව, දූෂණය ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම පක්ෂය පවසයි. එමෙන්ම මෙම වසර තුළ රජයේ සේවකයින්ට පොරොන්දු වූ රුපියල් 2,500 ක වැටුප් වැඩිවීම ඇතුළු පොරොන්දු ගණනාවක් ඉටුකිරීම ආණ්ඩුව මඟහරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adaderana

ජනපති ප්‍රේමදාස දැයට අහිමිව වසර 17යි


හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17 ක් සපිරෙයි. 1993 මැයි මස පළමුවැනිදා කොළඹ ආමර්වීදියේ දී එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම ඉරණමට මුහුණ දුන්නේය. මෙරට තෙවන විධායක ජනාධිපති ධුරයට 1989 වර්ෂයේ දී පත්වූ හෙතෙම 1978 වසරේ සිට 1989 දක්වා අගමැති ධුරය හෙබවීය. adaderana

පිට‍කොටුව බස් නැවතුම නවීකරණයට පියවර


පිට‍කොටුව මධ්‍යම බස් නැවතු‍ම්පොල නවීකරණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. මධ්‍යම බස් නැවතුම්පොලේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
බස් නැවතුම්පොලට යාබදව ඇති ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ විවේක කාමර ද කඩිනමින් පිළිසකර කරන ලෙස ද කුමාර වෙල්ගම අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. බස් රථ අඩුවෙන් යොදවා ඇති මාර්ග සඳහා අලුතින් බස් රථ යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.adaderana

කම්කරුවන්ගේ දිනය අදයි


ජාත්‍යන්තර මැයි දිනය අදට යෙදී තිබේ. මෙවර සැමරෙන්නේ 124 වැනි මැයි දිනයයි. 1886 මැයි පළමුවැනිදා පැය අටක වැඩ දිනයක් ඉල්ලා අමෙරිකාවේ වැඩකරන ජනතාව සිදුකළ ජයග්‍රාහී අරගලය ‍සැමරීම මෙදින සිදුවේ. අමෙරිකාවේ චිකාගෝහි සිදුකළ උද්ඝෝෂණයට පොලිසිය දියත් කළ මර්දනය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
පසුව ලොවපුරා වැඩකරන ජනතාව පැය 8ක වැඩ දිනයක් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ අතර 1904 දී එය නීත්‍යානුකූල ලෙස ප්‍රකාශයට පත්කෙරුණි. මෙවර මැයි දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යත් ජනතා විමුක්ති පෙරමුණත් සුපුරුදු පරිදි මැයි රැළි පවත්වයි. එක්සත් ජාතික පක්ෂය අද දිනයේ දී ආගමික වතාවත්වල නියැලෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ මහනගර සභා පිටියේ දීය.
වැඩ බිමට බලය, කම්හලට ජවය, මව්බිමට සාමය යන්න මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියේ තේමාව වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය හේතුවෙන් කොළඹ මහ නගර සභා පිටිය අසලින් දිවෙන එෆ්.ආර්. සේනානායක මාවත අද උදෑසන 6 සිට රැළිය අවසන් වන ‍තෙක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි රැළිය‍ බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වේ. "ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ ජාතික සාමය සහ පොදුජන අයිතිය උදෙසා සටන් වදින රතු මැයි රැළිය" යන්න එහි තේමාවයි.
එක්සත් ජාතික පක්ෂය අද දිනය තුළ පෙළපාලියක් හෝ මැයි රැළි වෙනුවට රටපුරා සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට තීරණය කර තිබේ. එහි ප්‍රධාන ආගමික වැඩසටහන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙනේදී පැවැත්වීමට නියමිතය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේ මැයි දිනය වෙනුවෙන් පෙළ පාලි 6 ක් සහ රැස්වීම් 11ක් පැවැත්වෙන බවය.adaderana

බඩු මිල ඉහළ දැමීමේ උත්සාහයක්


ඉදිරි මාස කිහිපය තුළ මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් වි‍ජේවර්ධන මහතා පවසයි. මේ හේතුවෙන් යළි භාණ්ඩ මිල ඉහළ නැංවීමට රජය උත්සහ කරන බව ඔහු පෙන්වා දෙයි.
නව රජයේ අමාත්‍යවරුන් මේ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය. රජය අනුගමනය කරන සැබෑ වැඩපිළිවෙල ජනතාවට ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇති බව ඔ‍හු වැඩිදුරටත් පැවසුවේය. adaderana