Thursday, April 8, 2010

ඉතිං කොහොමද මගෙ චූටි දුවේ...?


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව යළි අරලියගහ මන්දිරය බලා ගමන් ගනිමින් සිටියදී අතර මග සිය රථය නවතා ඡන්දය ප්‍රකාශ කරන්නට ඡන්ද මධ්‍යස්ථාන බලා යන ජනතාවට කතා බහ කරන්නට ද අමතක නොකළේය.එහිදී ජනාධිපතිවරයා කුඩා දැරියකගෙන් සුවදුක් විමසූ අයුරු.

නාවලපිටියේ ඇති තතු ගැන කරූගෙන් පැමිණිලි


නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 16 ක එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරිය බවට පොලීසියට පැමිණිලි කළ බව එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
ඒ අනුව එකී ඡන්ද මධ්‍යස්ථාන 16 තුළ ඡන්දය ශුන්‍ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම අද දෙරණට කියා සිටියේය.
එකී සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැර මැතිවරණ අක්‍රමිකතා සිදු කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

මැතිවරණ කොමසාරිස් සුවෙන්


ඇතැම් මාධ්‍ය මගින් මැතිවරණ කොමසාරිස්වරයා අතුරුදහන්ව ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවත්,ඒවායේ කිසිදු සත්‍යතාවයක් නැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ 500 කට අධික පිරිසක් රාජකාරි කටයුතුවල නිරත වන බවත්,දේශීය විදේශීය නිරීක්ෂකයින්ද ඒ අතර වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා අද දෙරණ ට පැවසීය.adaderana

නාවලපිටියේදී බලෙන් ඡන්ද පෙට්ටි පුරවලා - ඡන්දය ශූන්‍ය කරන්නැයි ඉල්ලීම්

නාවලපිටියේ ඡන්ද පොළ 47ක විපක්ෂ නියෝජිතයන් පළවා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඡන්දය ශූන්‍ය කරන්නැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.
අද උදෑසන නාවලපිටිය ප‍්‍රදේශයේ මැතිවරණ භිෂණයක් පැවැති බවත්, එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයකු වන මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඇතුළු විශල පිරිසක් නාවලපිටිය අංක 46 දරන ඡන්ද මධ්‍යස්ථානය වෙත බලහත්කාරයෙන් කඩාවැදී ඡන්ද පත‍්‍රිකා විශාල ප‍්‍රමාණයක් සලකුණු කැර ඡන්ද පෙට්ටියට බලෙන් දැමූ බව වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇත.lankatruth

බුලත් කොළයට කතිරය ගැසූ අරුම පුදුම ඡන්ද පත්‍රිකා නුවරින් හමුවේ


ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද දායකයා වෙත නිකුත් කරනු ලබන ඡන්ද පත්‍රිකාවල බුලත් කොළයට කතිරය සලකුණු කොට තිබීමේ පුවතක් වාර්තා වේ. මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාසයේ වරකාව ක.වි, කදිරේෂන් විදුහල, අනුරුද්ධ කුමාර විදුහල යන ඡන්ද මධ්‍යස්ථානවල මෙවැනි ඡන්ද පත්‍රිකා ලබා දී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජිතයා පවසයි. lankatruth

මැතිවරණය සාමකාමීයි-පොලිස්පති


මැතිවරණය සාමකාමීව පැවැත්වුණු බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
අද දවසේ වාර්තා වූයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් පමණක් බවත්,එය සාපේක්ෂ වශයෙන් අඩු තත්ත්වයක් බවත් හෙතෙම කියා සිටියේ අද සවස පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
‍ එසේ වුවද දිවයින පුරා සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 160ක් පිළිබඳව වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි. adaderana

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵල වලින් පසු


මෙවර මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵල නිකුත්කිරීමෙන් අනතුරුව නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මීට පෙර මැතිවරණවලදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත ඡන්ද ප්‍රතිඵල ලබාදීමට පෙර ඡන්දය අවසන් වූ අවස්ථාවේදීම නිකුත් කරනු ලැබීය. එහෙත් එම තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටළු ඇති වූ බව අතිරේක මැතිවරණ ‍ෙකාමසාරිස් පී. සුමනසිරි මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව නිරවද්‍ය ප්‍රතිශත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ඡන්ද වැඩ අතරේ මත්පැන් බී වැඩ තහනම්


පුත්තලම ප්‍රදේශයේ මැතිවරණ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මත්පැන් පානය කළ බව කියන පොලිස් නිලධාරීයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය මෙසේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. පුත්තලම, නාගවිල්ලුව අවතැන් කඳවුරේ පිහිටි මුස්ලිම් විද්‍යාලයේ ආරක්ෂාව සඳහා‍ මෙම නිලධාරියා යොදා තිබුණි.
පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව සිටි මෙම පොලිස් සැරයන්වරයා නිරීක්ෂණය වී ඇත. ඔහු එම ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෙනත් පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ. adaderana

ජනතා පැතුම ගැටලු විසඳිය හැකි නව රජයක්


ජනතාවගේ ගැටලු විසඳිය හැකි නව රජයක් බිහිකිරීම ජනතාව‍ගේ බලාපොරොත්තුවවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
යුක්තිය, සාධාරණ රජයන සමාජයක් බිහිකළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව ඔහු පෙන්වාදෙයි. ගම්පහ, කිරිල්ලවල මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරූ ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවති ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේය. adaderana

සුළු සිදුවීම් කිහිපයක්


මහ මැතිවරණයට අදාළව සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්දපොල නියෝජිතයින් පලවා හැරි බවට එක්සත් ජාතික පක්ෂය විසින් දැනුම් දී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. තම නිරීක්ෂකයින් කළ විමසීමකදී නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 7 ක එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් නොසිටි බවට වාර්තා වූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ඔවුන් පලවා හැරි බවට‍ මෙතෙක් තහවුරු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. මේ වන විට සාමකාමීව දිවයින පුරා මැතිවරණය පැවැත්වෙන බව අද දෙරණ කළ විමසීමක දී පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කළේය. adaderana

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි


2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
අද දහවල් අන්තර් ජාලය ඔස්සේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට උදෑසන විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි බව අනුර එදිරිසිංහ මහතා කියා සිටියේය. මේ අතර කොළඹින් බැහැර පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හෙට දිනයේ තැපැල් කර හැරීමට නියමිතය. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිඵල ලබාගැනීමට හැකිය. adaderana

නැවත පදිංචි කළ පිරිසකට ඡන්දය නෑ


මහ මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩී.එම්. දිසානායක මහතා සඳහන් කරයි. නාවලපිටිය, ගාල්ල, මාතර, බදුල්ල ආදී ප්‍රදේශවලින් ඡන්දදායකයින්ට බලපෑම් කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බව හෙතෙම කියා සිටියි. කිලිනොච්චි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද පිරිසකට ඡන්දය අහිමි වීමේ සිදුවීමක් ද වාර්තා ඇති බව සඳහන්ය.
මෙම පිරිස කලින් පදිංචිව සිටි වව්නියාව, සෙට්ටිකුලම් සුභසාධන කඳවුරට රැගෙනවිත් ඇති අතර ඔවුන්ට එහි ඡන්දය නොමැති බවට අදාළ නිලධාරීන් විසින් දැනුම් දී ඇති බව ඩී.එම්. දිසානායක මහතා ‍ප්‍රකාශ කරයි. මේ අතර වව්නියාව, සෙට්ටිකුලම සුභසාධන කඳවුරේ ඡන්දය ප්‍රක‍ාශ කිරීම සඳහා දිගු පෝලිම් දක්නට ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් විසින් වාර්තා කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් කියා. සිටියේය. adaderana

ඡන්දය දෙන්න නිවාඩු නැතැයි පැමිණිලි


ඇතැම් පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් නිවාඩු අවශ්‍ය සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතුව ඇති බව ද පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන අතරතුර නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි 15 ක් ලැබී ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. adaderana

සන්ධාන අ‍පේක්ෂක නිවසකට මැර ප්‍රහාරයක්


ගා‍ල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අ‍පේක්ෂක චන්දිම වීරක්කොඩි මහතාගේ ආධාරකරුවන් පිරිසකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තමාගේ වාහනයකට මැර පිරිස් බරපතල ලෙස හානි සිදුකර ඇති බව චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය. සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැර පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව චන්දිම වීරක්කොඩි මහතා කියාසිටි‍යේය.
තම ආධාරකරුවන් රැසක් ද ඊයේ රාත්‍රියේ දී බියවද්දවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය. මෙම බියවැද්දවීම සිදුකර ඇත්තේ සන්ධානයෙන් තරග වදින අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් බව මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළේය. adaderana

ජනපති ජන්දය ප්‍රකාශ කරයි


ජනා‍ධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දීය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද මෙහිදී ඡන්දය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. adaderana

ඡන්ද ප්‍රකාශය ඇරඹේ


හත්වන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7 .00ට ආරම්භ විය.
ඡන්ද විමසීම පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වනු ඇත. ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 14,088,500කි. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය ‍ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 1,521,854 ක්. ගම්පහ දිස්ත්‍රික්ක‍යෙන් 1,474,484 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව ‍ 1,183,649 ක් වේ. අවතැන් වූ කඳවුරුවල සිටින පුද්ගලයින් 45,692 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ. වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 15,817 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 26,582 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා නම් කර ඇති අනන්‍යතාව‍ය තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙවර මැතිවරණයේ එක් විශේෂත්වයක් වන්නේ ඡන්දය සලකුණු කිරීම සඳහා මෙතෙක් භාවිත කළ පැන්සල වෙනුවට පෑන භාවිතා කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබීමය. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 36 ක් හා ස්වාධීන කණ්ඩායම් 301 ක් ඉදිරිපත් වී සිටියි. මන්ත්‍රීධුර 196 ක් සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 7,620 කි. මීට අමතරව ජාතික ලැයිස්තුවෙන් තෝරාගැනෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 29ක් වේ. adaderana

මහ මැතිවරණයට ඇඟිලි මාරුවක්


අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දදායකයන්ගේ වමතේ සුළඟිල්ල තීන්තෙන් සලකුණු කිරීම වෙනුවට එම අතේ වෙදඟිල්ල සලකුණු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි. මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමියන්ගේ සුළැඟිල්‍ලෙහි කරන ලද සලකුණු මෙතෙක් මැකී ගොස් නොමැති බවට වාර්තා වීම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි. adaderana