Sunday, July 18, 2010

කුණු දැමූ 200 ක් ඇප පිට නිදහස්


මහ මග කුණු දමායන්නන්ට එරෙහිව පාරිසරික පොලිස් ඒකකය සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. නීති විරෝධී ලෙස කුණු දැමීමේ චෝදනාවට මේ වන විට 200 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 140 ක පමණ පිරිසක් මෙම විශේෂ පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන බවත්,එය සෘජුව ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් වාර්තා වේ. 140 දෙනෙකුගෙන් යුතු මෙම ඒකකයේ පොලිස් නිලධාරීන් 12 දෙනා බැගින් කොළඹ හා ඒ අවට පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති බවද සඳහන් වේ. adaderana

ඇඳුමක් වෙනුවෙන් රටේ ස්වාධීනත්වය පාවාදෙන්නේ නෑ


ඇඟලුම් කම්හලක මසන ඇඳුමක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ස්වෛරීභාවය හෝ ස්වාධීනත්වය පාවා නොදෙන බව තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. විවිධ හේතු දක්වමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම අත්හිටුවීම මගින් මෙරට ගමන වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කිරීමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව අසරණ කිරීම බොහෝ රටවල අභිලාශය වී ඇති බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. නාවලපිටිය ප්‍රදේශයේ නව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. adaderana

නැව් වලින් තෙල් පොම්ප කිරීම පැය 24 පුරා


නෞකාවල සිට තෙල් පොම්ප කිරීමේ කටයුතු දවසේ පැය 24 පුරා සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමගින් මසකට තෙල් සංස්ථාවට රුපියල් මිලියන 12ක ඉතිරියක් ලැබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ පමණක් නෞකා මගින් තෙල් පොම්ප කිරීමේ කටයුතු ‍මීට පෙර සිදුවු අතර මින් ඉදිරියට එය පැය 24 පුරාම සිදුකිරීමට නියමිතව ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම තෙල් පොම්ප කිරීමේ කටයුතු සිදුවන බව ‍සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නෞකාවලින් බොරතෙල් පොම්ප කිරීම සපුගස්කන්ද දක්වා ද පිරිපහදු තෙල් පොම්ප කිරීම කොළොන්නාව දක්වා ද ඒ අනුව සිදුකෙරෙනු ඇත. adaderana

තරංග කුළුදුල් ශතකය රැස් කරයි


මීට සුළු මොහොතකට පෙර තරංග පරණවිතාන සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ. ඒ මේ වනවිට ගාල්ලේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. adaderana

අවිගත් පිරිසක් අම්පාර නිවාස කිහිපයකට ගිනි තබලා


අම්පාර, පානම ශාස්ත්‍රවේලී ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ රාත්‍රී නාඳුනන අවිගත් පිරිසක් ‍පැමිණ මෙම නිවෙස් වලට ගිනි තබා ඇති බව පොතුවිල් පොලිසිය සඳහන් කළේය. ගි‍න්නෙන් නිවාස 7ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

පැමිණි පිරිස් සිදුකළ පහරදීම් හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana

අපරාධ රැසකට සැකපිට දෙදෙනෙක්ට මාංචු


සොරකම් කිරීම්, මං‍කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කුලියාපිටිය සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන, මුදල් හා රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව සදහන්ය. adaderana

සීමාන් හිරගෙට


ශ්‍රී ලංකාවට එරෙහිව ජනතාව කුපිත කරවන සුළු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට වසරක සිර දඬුවමක් ලබා දී තිබේ. සීමාන් නම් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා එරට දෙමළ පක්ෂයක නිර්මාතෘවරයකු බව ද සඳහන්ය. පසුගිය 12 වනදා චෙන්නායි නුවර පැවති උද්ඝෝෂණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට චෙන්නායි පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සීමාන්ට ඉන්දීය ආරක්ෂණ පනත යටතේ නඩු පැවරූ අතර ඒ අනුව ඊයේ දිනයේ දී ඔහුට වසරක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ. සීමාන්ගේ නීතීඥයින් විසින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

උඩුදුම්බර ඩිපෝවේ රියදුරෙක් උපවාසයක


හසලක, උඩුදුම්බර ඩිපෝවට අයත් භූමියේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන ලෙස ඉල්ලා එම ඩිපෝවේ රියදුරෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. ඊයේ උදෑසන සිට උඩුදුම්බර ඩිපෝ කාර්යාලයේ වහලය මතට නැග ඔහු මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය 14 වන දා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහි දී එම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. එහෙත් නැවත එම භූමියේ අනවසර ඉදිකිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ‍එයට විරෝධය පළ කරමින් හසලක උඩුදුම්බර ඩිපෝවේ සේවය කරන රියදුරෙකු වන ඩී. කේ නිමල් වීරබාහූ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබේ. adaderana

කියුබාවේ බී.ටී.අයි ලීටර දස දහසක් ලංකාවට


ඩෙංගු මර්දනය සදහා කියුබාවෙන් ආනයනය කරනු ලබන බී.ටී.අයි බැක්ටීරියාව ලීටර දස දහසක් එළඹෙන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව සඳහන්ය.

එළඹෙන අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම බැක්ටීරියාව මධ්‍යම පළාතේ හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3 ක පළමුව ඉසීමට කටයුතු යොදා තිබේ.

මේ අතර මෙරට නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ඉදිරි සතිය ඇතුළත වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඊයේ දිනයේ සිට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබා දී තිබේ. adaderana