Thursday, March 18, 2010

තිස්ස කුට්ටිආරච්චිගේ පෙත්සම ඉවතට


මොණරාගල දිස්ත‍්‍රික්කයට එජාපෙ ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළු කරන ලෙසත්, එසේ නොමැති නම් එම නාම යෝජනා ලැයිස්තුව අවලංගු කරන ලෙසත් ඉල්ලමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පිළිගත් නාමයෝජනා ලැයිස්තුවකට ඇතුළත් නොවූ නමක් ඇතුළත් කිරීමට නොහැකි අතර පිළිගත් නාමයෝජනා ලැයිස්තුවක් අවලංගු කළ නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහිදී තීරණය කරන ලදී.
අදාළ නාම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතා ගොනු කිරිම සඳහා ලබා දෙන පැයක පමණ කාලය තුළ විරෝධතාවයක් ගොනු නොකෙරුණු හෙයින් එය අවලංගු කළ නොහැකි බව සඳහන් කෙරිණි.
ශිරානි බණ්ඩාරණායක, චන්ද්‍රා ඒකනායක සහ පී.ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම අද සිදුවිය.
එජාප මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනල් පෙරේරා මහතා නාමයෝජනා ලැයිස්තුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කොට ව්‍යාජ අත්සන් යොදා වෙනත් නමක් ඇතුළත් කර ඇති වග බව පිළිගන්නා ලදී.adade

එක්සත් ජාතීන්ගේ කමිටුව රටට තර්ජනයක්


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා පත් කිරීමට යෝජිත කමිටුව රටට තර්ජනයක් වන බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. එමගින් රටේ ස්වෛරීය භාවයත්,භෞමික අඛණ්ඩතාවයත් තර්ජනයට ලක් කරන බව හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා උපදේශක කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හෝ මානව හිමිකම් කවුන්සිලයේ ගනු ලැබූ තීරණයක් අනුව නොවන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරයා වන ලින් ෆැස්කෝ මහතා මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ලංකාවේ යහපත් වාතාවරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.
එසේ වුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කිරීම කිසිසේත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකිරීමක් නොවන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසා තිබිණි.
මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් බැන්කි මූන් මහතා ප්‍රකාශ කර තිබුණේ එවැනි කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තමන්ට පූර්ණ බලතල හිමිවී ඇති බවයි. adade

ෆොන්සේකා දේශපාලනයට ආවේ නුවණ නැති නිසයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අනුවණ පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු දේශපාලනයට පිවිසියේ එහි ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
සිංගප්පූ‍රුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එහි තවදුරටත් අදහස් දක්වන ජනාධිපතිවරයා පවසන්නේ අවසන් වරට ‍ෆොන්සේකා මහතා හමුවූ අවස්ථාවේ දී දේශපාලනයට පිවිසෙන්නේ දැයි ඔහුගෙන් විමසූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය. කෙසේ වෙතත් එහිදී දේශපාලනය යනු යුද හමුදාව නොවන බව තමා ඔහුට පැහැදිලි කර දුන් බව ජනාධිපතිවරයා ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පතට පවසයි.
හමුදාවේ දී ලබාදෙන අණ, පහළ නිලධාරීන් එලෙසම ක්‍රියාත්මක කළ ද දේශපාලනයේ දී එය එසේ නොවන අතර දේශපාලකයින් සිදුකරන ප්‍රකාශ සහ නියෝග එලෙසින්ම පිළිපදින පිරිසක් නොමැති බවට තමා ෆොන්සේකා මහතාට පෙන්වා දුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියි. ෆොන්සේකා මහතා යුද හමුදා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර වශ‍යෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය හමුදාමය ක්‍රියාමාර්ගයක් වන අතර තමා ඊට මැදිහත් වීමට ‍සූදානම් නොමැති බවය. ada

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රසාද පොලියක්


වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සඳහා ප්‍රසාද පොලියක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
එම තැන්පතු සඳහා සියයට 20 ක ප්‍රසාද පොලියක් ලබාදීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ‍ප්‍රසාද පොලී දීමනාව ලබාදෙන බව සඳහන්ය. ඒ අනුව තනිව හෝ හවුල් ගිණුම් වශයෙන් පවතින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාලත්‍රයා සමග පවතින හවුල් ගිණුම් සඳහා මෙම ප්‍රසාද පොලී අනුපාතය ලබාදෙනු ඇත. adade

මැතිවරණ තැපැල් කටයුතු අධීක්ෂණයට ඒකකයක්


මහ මැතිවරණයට අදාළ තැපැල් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවා ඇති බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය පවසයි. ඊට අමතරව තවත් අමාත්‍යාංශ නිලධාරීන් 6 දෙනෙකු ඊට අනුයුක්ත කර ඇති බව සඳහන්ය. මැතිවරණ දෙපාර්තමේන්තුව සහ ඡන්දදායකයින් අතර සම්බන්ධීකරණය පැවැත්වීමත් මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත. ada

නීතිවිරෝධී මත්පැන් තොගයක් අල්ලයි


සු‍ඛෝපභෝගී මෝටර් රථයකින් මත්පැන් තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම පානදුර, පිංවත්ත ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ‍ගෙන ඇති බව සඳහන්ය. ජාඇල ප්‍රදේශයේ සිට මොරටුව, පානදුර, කළුතර ආදී ප්‍රදේශවල බෙදාහැරීම සඳහා මෙම මත්පැන් තොගය රැගෙන යමින් තිබූ බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පානදුර, වලාන මධ්‍යම දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීන් මත්පැන් තොගය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් ප්‍රවාහනය කළ සු‍ඛෝපභෝගී මෝටර් රථයේ වීදුරු අඳුරු කර තිබූ අතර එහි අසුනක් ගලවා ඉවත් කර එම ස්ථානයේ මෙම මත්පැන් අසුරා තිබූ බව පොලිසිය කියා සිටියේය. ada

ෆොන්සේකා සූරාකෑම මාක්ස්වාදයට විරුද්ධයි


චැනල් -4 සේවයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ලබා දී ඇති ප්‍රකාශයන් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීම නොව වඩා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති වරප්‍රසාද අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන තිබීම සම්බන්ධයෙන් බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේද විනය පිළිබඳ ප්‍රශ්නයක් බවත්,මෙම ක්‍රියාවෙන් යළි යළිත් තහවුරු වන්නේද ෆොන්සේකා මහතාට විනයක් නැති බව නොවේදැයි හෙතෙම අසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
කලකදී වේළුපිල්ලේ ප්‍රභාකරන් ව වීරයා ලෙස සැලකූ චැනල් -4 ආයතනය ම ජ.වි.පෙ විසින් අභිෂේක කරන ලද සිංහල යුද වීරයා වන ෆොන්සේකා වෙනුවෙන්ද පෙනී සිටීම පිළිගන්නේ කෙසේදැයි ඇමතිවරයා ජ.වි.පෙන් ප්‍රශ්න කළේය.

ජ.වි.පෙ ජෙනරාල් සරත් ෆොන්සේකා හා අනෝමා ෆෝන්සේකා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මාක්ස්වාදී දේශපාලනයට ගැලපෙන්නේ නැති බව ද හෙතෙම කියා සිටියේය.
මන්දයත් මාක්ස්වාදයේ මූලික හරය සූරකෑමට එරෙහි වීම වුවද ජ.වි.පෙ විසින් මේ වන විට ‍සරත් ෆොන්සේකා සහ අනෝමා ෆොන්සේකා යන දෙපළ සූරාකමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය. හම්බන්තොට ප්‍රදේශයේ ගැමි ජනතාවට තමන්ගේ භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි වූ විට"බැරිම තැන හන්දිය"නම් තැනකට පැමිණ විකුණා ගැනීමට උත්සාහ දරන බවත්,ජ.වි.පෙ මේ වන විට දේශපාලනය කරන්නේ බැරිම තැන හන්දියේ බවත් ඇමතිවරයා කියා සිටියේය.ada

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සුභසාධන වැඩසටහනක්


පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් ජීවිත කාලය පුරාවට රැකබලා ගැනීම සඳහා සුභසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ. එය නම්කර ඇත්තේ"Brave Hearts"ලෙසය.
මෙම රණවිරුවන් විශ්‍රාම යන වයසෙන් පසුව ද මෙම මධ්‍යස්ථානයේ රඳවා ගනිමින් ඔවුන්ගේ සුභසාධන කටයුතු සිදුකිරීම අරමුණු කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි. මේ වන විට පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් 228 දෙනෙක් සිටින බවත්, එමෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් 14,324 දෙනෙක් සිටින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. adadera

දැය දිනවන ඇය" එළිදකී


එක්සත් ජාතික පෙරමුණේ කාන්තාව වෙනුවෙන් සැකසුණු"දැය දිනවන ඇය" විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්වුණි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 53%ක් කාන්තාවන් බවත්, ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන බවත් මෙම අවස්ථාවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙවර එක්සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණය සඳහා කාන්තාවන් ඉදිරිපත් වන්නේ දිස්ත්‍රික්ක 10කින් පමණක් බවත් තම පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළහොත් එම කාන්තා නියෝජනය වැඩිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි. ඒ අනුව පළාත් සභාවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.
මැතිවරණය ජයග්‍රහණය කළහොත් 2012 වසරේ අප්‍රේල් මාසය වනවිට මෙම කාන්තා ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම උත්සව අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා, මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, ජෝන් අමරතුංග සහ රේණුකා හේරත් මහත්මිය ද සහභාගි වී සිටියහ. adade

ලාංකිකයන් නිදහස් කිරීමට මිලියන 20ක කප්පමක්


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් 13‍ දෙනා නිදහස් කිරීමට නම් අමෙරිකානු ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ලබාදෙන ලෙස කොල්ලකරුවන් දැනුම් දී තිබේ.
අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් පිරිස යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවට සනාථ කර ඇති බව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සෆරුල්ලා ඛාන් මහතා පවසයි. ඉන්ධන සහිත අදාළ නෞකාව අරාබි මුහුදේ දී ‍සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූයේ මීට දෙසතියකට පෙරය. අදාළ නෞකාවේ සිටින කාර්ය මණ්ඩලයට සිය ඥාතීන් සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමට ‍කොල්ලකරුවන් මේ වන විට ඉඩ ලබා දී ඇත.
එසේම ජාත්‍යන්තර රතු කුරුස සාමාජිකයින්ට ද නෞකාවට ඇතුළු වී කාර්ය මණ්ඩලයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට මුහුදු කොල්ලකරුවන් අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ. කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා නෞකාව අයත් සමාගම සමග සාකච්ඡා පවත්වන බව ජෙඩාහි කොන්සාල් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර ඇත. කෙසේ වෙතත් මුහුදු කොල්ලකරුවන් සමග ඍජු සාකච්ඡා පැවැත්වීමට තානාපති නිලධාරීන්ට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැති බව වාර්තා වේ. adade

ඉඩම් අහිමිවූවන්ට වන්දි ලබාදීමට පියවර


මාර්ග ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවූ පුද්ගලයින්ට වන්දි ලබාදිම සඳහා ලබන අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
වන්දි ලබාදීමේ දී රාජ්‍ය බැංකුවල එම මුදල් තැන්පත් කිරීම සඳහා එකඟවන පුද්ගලයින්ට රජයේ සහතිකයක් ලබාදීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් නිලධාරීන් මීට විරුද්ධ වුව ද එය ක්‍රියාවට නංවන බවය.ada

ජපන් මිත්‍රත්ව පාලම අද විවෘත වේ


මන්නාරම හා තලෙයිමන්නාරම අතර ඉදිකෙරුණු ජපන් මිත්‍රත්ව පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරෙයි.
ජපන් ආධාර මත ඉදිකෙරුණු මෙම පාලම දිගින් මීටර් 152 කින් යුක්තය. මංතීරු දෙකකින් සමන්විත මෙම පාලම ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,460 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද මුල්ගල තැබෙනු ඇත. ada

බඹරුන්ට ඉඩදී සිසුන් ගෙදර යයි


ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය අද පෙරවරුවේ හදිසියේ වසා දමා තිබේ.
එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ දිනයේ බඳින ලද බඹර වදයක සිටි බඹරුන් අද පෙරවරුවේ ඇවිස්සීම හේතුවෙන් මෙලෙස එම පාසල වසා දමා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පාසලේ කිසිදු දරුවෙකුට අනතුරක් සිදුවී නොමැත.
අදාළ පාසල අද පෙරවරුවේ ගල්ගමුව, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිරීක්ෂණයට ද ලක්වූ බව අප වාර්තාකරු පැවසුවේය. ඉංග්‍රීසි භා‍ෂාවෙන් ක්‍රියාත්මක මෙම පාසලේ සිසු දරුවන් 1,500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව සඳහන්ය. adade