Friday, December 3, 2010

මගෙනුත් මල්දමක් පිළිගන්න . .


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවීමෙන් පසු අද(03) පස්වරුවෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණියේය. දිවයිනට පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා දහසකට වැඩි පිරිසක් කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ පර්යන්තයේ රැඳී සිටි අතර මැති ඇමතිවරු රැසක් ද ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පැමිණ සිටියහ. එහිදී මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මල් මාලයක් පළඳමින් ජනාධිපතිවරයා පිළිගත් අයුරු ඉහතින් දැක්වේ.
adaderana.lk

PROTEST BEGINS










නොනැවතී ඉදිරියට. .


බ්‍රිතාන්‍ය රජයට සහ එරට ක්‍රියා පිළිවෙතට එරෙහිව කොළඹ දී අද(03) උද්ඝෝෂණයක් පැවැත්වුණි. ජාතික නිදහස් පෙරමුණ විසින් එය සංවිධානය කර තිබුණි. කෙසේවෙතත් නිවාඩු දිනයක් සේ සලකා අද දිනයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වසා තිබෙන බව එම කොමසාරිස් කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය එම උද්ඝෝෂණ ව්‍යපාරයේ එක් අවස්ථාවක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. adaderana.lk

විමල්ගේ විරෝධතාව ඇරඹෙයි -මහ කොමසාරිස් කාර්යාලය වසා ඇත?

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය මේ වනවිට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහිදී සත්කාර කළ ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට විරෝධය පළකිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව ද සඳහන්ය.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති කටයුතු පිළිබඳ අංශය සිකුරාදා දිනය(2010 දෙසැම්බර් 03)තුළ මහ ජනතාව සඳහා වසා ඇති බව සඳහන් වන පුවරුවක් තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති බව එහි ඉදිරිපිට රැඳී සිටින අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.adaderana.lk

ජයලත්ට එරෙහි සාක්ෂි ඇත්නම් තේරීම් කාරක සභාවක් පත්කරන්න -රනිල් කියයි


ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව පැහැදිලි සාක්ෂි ඇත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා විසින් පුද්ගලික පැහැදිලි කිරීමක් කළ බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

ඊයේ(02) දිනයේ තමාට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සාපරාධී අයුරින් චෝදනා කරමින් වධ හිංසා කළ බව එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
adaderana.lk

ෆොන්සේකාගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීමට මාර්තු 2 කැඳවයි




දෙවන යුදාධිකරණයේ පත්කිරීම් අභියෝගයට ලක්කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සමක් මාර්තු මස 2 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

දෙවන යුදාධිකරණයේ විනිසුරු මඬුල්ලේ පත්කිරීම් අභියෝගයට ලක්කරමින් තමන් මුලින්ම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව එම පෙත්සමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියි.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව ද ඉන් පැවසෙයි.

අභියාචනාධිකරණයේ එම තීරණය නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව පවසන සරත් ෆොන්සේකා මහතා එම තීන්දුව ඉවත්කොට දෙවන යුදාධිකරණයේ විනිසුරු මඬුල්ලේ පත්කිරීම් නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලමින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

දෙවන යුදාධිකරණයේ විනිසුරුවරු පක්ෂග්‍රාහී අන්දමින් කටයුතු කිරීම නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවු බව සරත්ෆොන්සේකා මහතා සිය අභියාචනා පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැතිවරුන්ට කතානායක තරයේ අවවාද කරයි





අද(03) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් කලහකාරී හැසිරීම් නිසා පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධාවන බව පවසමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කර තිබේ.

එමෙන්ම ඒ. එච්. එම් අස්වර් මහතාට විශේෂයෙන් අවවාද කර ඇති අතර දිගින් දිගටම බාධාකළහොත් සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන බවට කතානායකවරයා විසින් අවවාද කර ඇති බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කියවන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බව ද අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.