Wednesday, December 29, 2010

සරසවි ප්‍රවේශයට ඉංග්‍රීසි සමත් වීම අනිවාර්යය නෑ


උසස් පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිය යුතු බවට කොන්දේසි පැනවුව ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එම විෂය සමත් වීම අනිවාර්යය නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහෙත් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම සඳහා සෑම සිසුවෙකුම ඉංග්‍රීසි විෂයට පෙනී සිට එහි ප්‍රතිඵල පෙන්විය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවලට ඇතුළත් කරගැනීමට අපේක්ෂිත සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට පෙර සිසුන්ට තම ගම් ප්‍රදේශවල සිටම ඉංග්‍රීසී පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට ද නියමිතය.adaderana.lk

දැයට කිරුළෙන් පවුල් 2500 ට නිවාස පහසුකම්


දැයට කිරුළ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ පවුල් 2500 ට නිවාස පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 220 කි.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 700 ට රුපියල් ලක්ෂය දක්වා වූ නිවාස ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2011 වසරේ නිදහස් දිනය නිමිත්තෙන් දැයට කිරුළ ප්‍රදර්ශනය මොණරාගල දී පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කර තිබේ. adaderana.lk

පුද්ගලික බස් සේවකයින් හා ගනුදෙනුව ලංගම සේවකයින්ට තහනම්


පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සමග ලංගම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ගනුදෙනු කිරීම සපුරා තහනම් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංගමයේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් පෞද්ගලික අංශයේ බස්රථ සේවකයින් වෙත ගමන් වාර මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කළුතර, ශ්‍රී ලංගම ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථ 10 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක්කිරීම වෙනුවෙන් කළුතර ඩිපෝ පරිශ්‍රයේ පැවති උත්සවයක දී ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ වංචා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් තම පෞද්ගලික දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එහිදි අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා කියා සිටියේය.

ලංගමයේ ආදායමෙන් 25% ක් පමණ කොන්දොස්තරවරුන් වංචා කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. adaerana.lk

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේදී


ලබන ජනවාරි මාසයේ දී සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.

එම පළාත් පාලන ආයතනවලට අදාළ මැතිවරණය මාර්තු මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ මැතිවරණ සියල්ල එකවර පැවැත්වීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම මැතිවරණයට තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් පිළිබඳ ලබන ජනවාරි මාසය වන විට තීරණයකට එළඹීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය වසරේ කාලය අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබුණි.adaerana.lk

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කැඳ හැලියක්


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මේ වනවිට කැඳ හැලියක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වි‍දෙස් රටවල් ඉදිරියෙහි බොරුකාරයෙක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කරයි. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අවධාරණය කළේය.

පසුගිය දිනයක නේපාලය සම්බන්ධව විදේශ අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙන් ඒ බව පෙනීයන බව ද සමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.

2011 වර්ෂය පොදු ජනතාව දිනවන වර්ෂය ලෙස නම් කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය නව වර්ෂය සඳහා ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana.lk

මෙරට මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය ධීවර පිරිසක් අත්අඩංගුවට


ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිසට ධීවරයින් සිව් දෙනෙකු අයත් වන බව පොලිසිය පවසයි.

වඩුක්කෝට්ටේ, අග්බෝමදගල් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ මෙම ධීවරයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් තමිල්නාඩුවේ පදිංචිකරුවන් බව සඳහන්ය. අදාළ ධීවරයින් අද(29) මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි. adaderana.lk

ග්‍රේෂන් ආනන්ද මියයයි


ප්‍රවීන ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(29) පෙරවරු 6 30ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසුවේය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පසුගිය 22 වැනිදා සිට ග්‍රේෂන් ආනන්ද මහතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ මහතා සඳහන් කළේය.adaderana.lk

සභාපති ඉවත් කරන්නැයි පෝද්දල ප්‍රාදේශීය සභාවේ විරෝධතාවක්


ගාල්ල, බොපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පි‍රිසක් අද(28) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුරකුටියේ වහලය මත නැගී විරෝධතාවක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා ‍සභාපතිවරයා වහා සිය තනතුරෙන් පහ කළ යුතු බවට බලකෙරෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත ව තිබේ.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහභාගී වී සිට ඇති අතර පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මෙම විරෝධතාව අත්හිටවූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පළාත් මහ ඇමතිවරයා සමග අදාළ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් ලබාදීමට එහිදී පළාත් පාලන කොමසාරිස්වරයා එකඟවී ඇත.adaderana.lk

ඉන්දු -ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා පුළුල් කිරීම ගැන අවධානය යොමුවෙයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ආරක්ෂක සබඳතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය ‍යොමු කරන බව ඉන්දීය ආරක්ෂක ලේකම් ප්‍රදීප් ‍කුමාර් මහතා පවසයි.

අද(28) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත.

දෙරට අතර පවතින ආරක්ෂක කතිකාවත පාබල සහ ගුවන් හමුදා අතර ද තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇති අතර ඒ අනුව 2011 වසරේ දී ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී පැවැත්වීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා පුහුණු අවස්ථාවන් විශාල සංඛ්‍යා‍වක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද එහිදී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමු‍දාවේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රදීප් කුමාර් මහතා එහිදී තවදුරටත් සඳහන් ක‍ර ඇත.adaderana.lk

ආනයනික බිත්තර අද වෙළඳපොළට


ආනයනය කරන ලද බිත්තර අද(28) දිනය තුළ වෙළඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සතොස, කෝප්, මිනි කෝප් හා සමුපකාර තුළින් මෙම බිත්තර රුපියල් 11 ක තොග මිලක් යටතේද, රුපියල් 12 ක සිල්ලර මිලක් යටතේද ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආනයන කරන ලද බිත්තර මිලියන 2 ක් මෙසේ බෙදාහැරීමට කටයුතු කළ බව අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළ‍ඳපොළේ බිත්තර මිල ගණන් පහත වැටෙන තුරු බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී කියා සිටියේය.

එමෙන්ම ආනයනය කරන ලද කුකුල් මස් ටොන් 500 ක් හෙට(29) දිනය තුළ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේය.

එම කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 350 ක මිලකට සතොස, කෝප්, මිනි කෝප් හා සමුපකාර තුළින් මිලට ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana.lk

ඒකක 90 දක්වා බදු සහනය ඒකක 120 ට වැඩිවෙයි


විදුලි ඒකක 90 දක්වා වූ විදුලි ගාස්තු සහනය ඒකක 120 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව විදුලි ඒකක 120 ට ඉහළ පාරිභෝගිකයින්ට පමණක් විදුලි ගාස්තුවල වැඩිවීමක් සිදුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.

ලක්ෂ 46 ක් පමණක් වන සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 42 ක් විදුලි ඒකක 120 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ජනතාවට සහනයක් දීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.adaderana.lk

ගාස්තු වැඩිනොකළහොත් බස් වර්ජනයකට යනවා -ගැමුණු


බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධ යෝජනාවට රජයේ එකඟත්වය පළ‍නොවුනහොත් ජනවාරි මාසයේ දෙවැනි සතිය තුළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කළුතර, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්ක වල පෞද්ගලික බස් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹුන බව ද අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම බස්නාහිර පළාතේ බස් රථ අතිරික්තයක් තිබියදීත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් තවත් බස්රථ රැසකට බලපත්‍ර ලබාදිමට සූදානම් වන බවට ඔහු චෝදනා කරයි බස්නාහිර පළාත තුළ මේ වන විට 20% ක බස්රථ අතිරික්තයක් පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

තවත් බස්රථ 20% ක ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කරමින් සිටින බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයෙකු පත්කර සිටිය ද ඔහු සතුව කිසිදු බලයක් නොමැති බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර සිටියේය.adaderana.lk