Friday, July 9, 2010

මව්බිම නැතිනම් මරණය-විමල් දිගටම ගේම ඉල්ලයි


මේ සටන කෙළවර වන්නේ ජයග්‍රහණයෙන් නැතිනම් මරණයෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එයින් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔහු කියා සිටියේ අද උපවාසය පැවත්වෙන අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

තමන් මේ සටන ආරම්භ කළේ රණවිරුවන් වෙනුවෙන් බවත්,රණ විරුවන් රටට දිනා දුන් සාමය වෙනුවෙන් බවත්,එකී සාමය කිසිවෙකුටත් හෑල්ලු කරන්නට ඉඩනොදෙන බවත් හෙතෙම පවසයි.

බෑන්කී මූන් විසින් පත්කළ කමිටුව සේනාධිනායකයා ඇතුළු රණ විරුවන් යුද අධිකරණයට දැක්කීම සඳහා ගනු ලැබූ උත්සාහයක් බව අමතක නොලකයුතු බවත්,එකී උත්සාහය කෙසේ හෝ පරාජය කළයුතු බවත් ඔහු කියා සිටියි.

ලෝකයේ සෑම රටකම පාහේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ශක්තිය පෙන්වීම සඳහා හොඳම අවස්ථාව මෙය බවත් ,මව්බිමට එරෙහි බලවේග පරාජය කිරීම සඳහා මේ මොහොතේ එකතුවිය යුතු බවත් තමන් මේ මොහොතේ ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවත් වීරවංශ මහතා කියා සිටියේය. adaderana

ඉල්ලා අස්වීම බාර ගත්තේ නෑ


ජාතික නිදහස් පෙරමුණේ නායක,අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා බාර නොගත් බව හා එය බාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වීම පිළිබඳ රජය පහසුතාවය පත්වන අන්දමේ පුවත්පළවීම‍ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායකයා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටියේ අද උපවාසය පවත්වන ස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ සැබවින්ම විමල් වීවංශ මහතාගෙන් එහෙව් ලිපියක් මේ වනතුරුත් ලැබී නැති බව හා ජනාධිපතිවරයාද ඉල්ලා අස්වීමක් පිළිබඳ නොදන්නා බවයි. adaderana

විමල් අමාත්‍ය ධූරය අතහරියි


ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවාස,ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මේ මොහොතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් තමන්ගේ අරගලය ඉදිරියට ගෙන යන්නට නොහැකි වන බැවින් ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් දන්වා ඇත.

ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා රජය හෝ මාතෘ භූමිය අපහසුතාවයට ලක් කරන්නට තමන්ට කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කරන බව හෙතෙම පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ප්‍රවෘත්තිය තමා දැනගත්තේද මාධ්‍යයෙන් බවත්,විමල් වීරවංශ මහතා ඉල්ලා අස්වූ බවට වන ලිපියක් මේ වන ‍තෙක් තමන් අතට පත් නොවූ බවත්ය. adaderana

එක්සත් ජාතීන්ගේ කමිටුව රටේ ස්වාධීනත්වයට තර්ජනයක්


එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පත්කර ඇති උපදේශක මණ්ඩලය මෙරට ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පවසයි. අදාළ උපදේශක මණ්ඩලය පත්කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලැබූ තීරණයක් නොවන බව නිවේදනයක් නිකුත් කරන එම පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කරයි. එය හුදෙක් බැන්කි මූන් මහතාගේ උවමනාව මත පමණක් පත්කරනු ලැබූවක් බව දේශප්‍රේමී ‍භික්ෂු පෙරමුණ පෙන්වාදෙයි.

බොහෝ බටහිර රටවල ප්‍රයත්නය වී ඇත්තේ උපදෙස් දෙන මුවාවෙන් ශ්‍රී ලංකාව වැනි මහා සංස්කෘතියක් ඇති රටවල නැගී සිටීම අඩපණ කිරීම බව එම පෙරමුණ පෙන්වාදෙයි. මේ හේතුවෙන් දේශමාමක සියලු දෙනාගේ වගකීම වන්නේ මේ අවස්ථාවේ දී එක්ව නැගී සිටිමින් අදාළ උපදේශන මණ්ඩලයට විරෝධතාව දැක්වීම බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana

ජී. එස්. පී නැතිවීමෙන් ලාභයට බලපෑමක් විය හැකියි


ජී. එස්. පී ප්ලස් බදු සහනය අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට ප්‍රබල බලපෑමක් එල්ල නොවුන ද ලාභ ප්‍රතිශතයට ඒ තුළින් යම් බලපෑමක් එල්ල විය හැකි බව හවුල් ඇඟළුම් සංවිධාන සමුළුවේ සභාපති ඒ. සුකුමාරන් මහතා පවසයි. එමෙන්ම ජී. එස්. පී ප්ලස් අහිමිවීමෙන් ඇතිවන පාඩුව අවමකරගැනීම සඳහා යම් මාර්ගයන් පිළිබඳව විමසා බලන බව ද ඒ මහතා පවසයි.

ජී. එස්. පී බදු වෙළඳ ගිවිසුම යටතේ ආවරණය වන්නේ සමස්ත අපනයන භාණ්ඩ වලින් 1/3 ක් පමණක් බවත්, එමනිසා ඉතිරි අපනයන භාණ්ඩ 3/2ක ප්‍රමාණය ඊට අයත් නොවන බවත් සුකුමාරන් මහතා පෙන්වාදෙයි. ඒ නිසා ජී. එස්. පී අහිමිවීම තුළින් ඇඟළුම් කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ නොහැකි බව සඳහන්ය. නමුත් අපනයන අඩුවීම තුළින් රැකියා ක්ෂේත්‍රයට යම් ආකාරයක බලපෑමක් ඇතිවිය හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.adaderana

එක්සත් ජාතීන් තාමත් ශ්‍රී ලංකාවේ


ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කිසිදු කාර්යාලයක් වසා දැමීමට එක්සත් ජාතීන් තීරණය කර නැති බවත්,එකී සියලු කාර්යාලයන් අද දවසේ ද නිසි පිරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී මොහාන් සමරනායක මහතා පවසයි.

එහෙත් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාප කාර්යාලය පමණක් බැංකොක් වලට ගෙන යන්නට මීට මාස ගණනකට ඉහතදී තීරණය කර තිබුණු බැවින් එකී තීරණය ක්‍රියාත්මක කෙරුණු බව හෙතෙම සඳහන් කරයි.

මෙම තීරණයට එක්සත් ජාතීන් බොහෝ කලකට පෙරාතුව ගත් නිසාම මාස කිහිපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලයේ සේවකයින් අඩක් පමණ අඩුකිරිමට පියවර ගෙන තිබුණු බවත් මොහාන් සමරනායක මහතා අද දෙරණට කියා සිටියේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වසා දමා නැති බවත්,එහි රාජකාරී කටයුතු නිසි පිරිදි සිදුකරන බවත් ,නිදහස් චත්‍රරස්‍රයේ පිහිටුවා තිබූ කලාප කාර්යාලය පමණක් එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaerana

එක්සත් ජාතීන් පිළිගැනීමේ වාසිය ලංකාවටමයි


එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව අමෙරිකා එක්සත් ජනපදය නැවතත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය කාල සීමාව තුළ මානව හිමිකම් කඩ වී ඇද්ද යන කරුණ පිළිබඳව විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරන ලද කමිටුවට විරෝධය පාමින් එහි කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට පැවත්වූ උද්ඝෝෂණය නිසා එම කාර්යාලය වසා දැමීමට සිදුවීම පිළිබඳව කරුණු දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කිං මුන් විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මන් පත් කරනු ලැබීය. සෙසු සාමාජිකයින් ලෙස දකුණු අප්‍රිකාවේ ජස්මින් සූකා සහ අමෙරිකානුවේ ස්ටීවන් රැට්නර් පත්විය.

මෙම කමිටුව හා ඔවුන් ලබාදෙන උපදෙස් පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රතිලාභ අත්කර ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ටෝනර් පවසයි. අමෙරිකාව විසින් මීට පෙර ද සිංහල හා ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සමගි සන්ධානයකට එළඹෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ වාර්තා නිසා පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව බටහිර රටවල් අතර සබඳතා අයහපත් මට්ටමක පැවතිය ද මෑතකාලීනව අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ දරන බව පෙනීයයි. adaderana

එක්සත් ජාතීන් වැඩ කරන්නේ බලවත් රටවල අභිමතයට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජගත් සංවිධානය මැදිහත්වීම නුසුදුසු බව පලස්තීනය පවසයි. ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ආචාර්ය එන්වර් එච්. අල්එගා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මධ්‍යස්ථ ආයතනයක් ලෙස පෙනී සිටිය ද ඔවුන් ලෝකයේ බලවත් ර‍ාජ්‍යයන්ගේ අභිමතයට අනුව පක්ෂපාතීව ක්‍රියාකරන බව තානාපතිවරයා පෙන්වාදෙයි. පලස්තීනය තුළ ඊශ්‍රායලය විසින් මුදා හැර ඇති කෲරත්වය නිරීක්ෂණය කිරීම සඳහා දක්වන මන්දගාමී ස්වභාවය මෙම පක්ෂපාතී ක්‍රියා කලාපයට හොඳම උදාහරණයක් බව ද එන්වර් අල්එගා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහය දැක්වීම පලස්තීනයේ ස්ථාවරය බව ද පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

උතුරු වසන්තය යටතේ බිම් බෝම්බ කඩිනමින් ඉවතට


උතුරු වසන්තය වැඩසටහන යටතේ වව්නියාව, මන්නාරම, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වල දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා යටිතල පහසුකම් සපයා ඇති අතර උතුරු ප්‍රදේශයේ වල දමා ඇති බිම්බෝම්බ, පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම මේ දිනවල කඩිනමින් සිදුවන බව වාර්තා වේ.

යාන්ත්‍රිකව හා මානුෂීය ‍ශ්‍රමය යොදාගනිමින් වර්ග කිලෝමීටර් 1113ක භූමි ප්‍රදේශයක බිම් බෝම්බ මේ වන විට ඉවත් කර ඇති බව රජය පවසයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 29 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදී ඇති අතර හමුදා නිලධාරීන් 1050 ක් සේවයේ යොදවා ඇත.

යන්ත්‍රවලට ළඟා විය නොහැකි ස්ථාන වෙත ළඟා වීම සඳහා පුහුණු කළ සුනඛයින් 8 දෙනෙකුගේ ද සහය ලබාගෙන ඇති බව සඳහන්ය. මීට අමතරව විදේශීය ආයතන කිහිපයක් ද මෙම කටයුතු සඳහා සහය ලබාදී ඇති බව රජය පවසයි.adaderana

උද්ඝෝෂණය ගැන තවමත් විදෙස් අමාත්‍යාංශයේ ප්‍රකාශයක් නෑ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කා‍ර්යාලය ඉදිරිපිට අමාත්‍යවරයෙකු උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රජය මේ වන විට ජනතාව නොමග යවමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය. adaerana

ජනතාව වෙනුවෙන් එජාපය පාරට බසියි


ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ගම් මට්ටමින්, රජයට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. හෙට දිනයේ සිට එම උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ පවුල්වාදී ව්‍යවස්ථා සංශෝනයක් නොව ජනතාවාදී ව්‍යවස්ථාවාදී සංශෝධනයක් ගෙන එන ලෙසත්, බදු අඩුකර පඩි වැඩිකරන ලෙසත් රජයට බල කිරීම බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. adaderana

සංචාරක වීසා මත රැදී සිටි 12ක් අල්ලයි


සංචාරක වීසා ලබාගෙන මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කල්මුණේ ප්‍රදේශයේ රෙදි පිළි වෙළඳාමේ නිරත ව සිට ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මොවුන් කාලයක සිට සංචාරක වීසා ලබාගෙන මෙරට තුළ වෙළඳාම් කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් දෙදෙනෙකු සතුව විදේශ ගමන් බලපත්‍රය ද නොතිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. adaderana

එක්සත් ජාතීන් සංවර්ධන වැඩ අත්හිටුවයි


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ පිහිටි කාර්යාලය තාවකාලිකව වසා දමන ලෙස එහි මහ ලේකම් බෑන්කී මූන් මහතා දන්වා ඇතැයි මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.

එක්සත් ජාතීන්ට එරෙහි විරෝධතාවය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ තමන් සෑහීමකට පත්නොවීම නිසා එහි ප්‍රධාන කාර්යාලය විසින් ගනුලැබූ මෙම තීරණය නිල වශයෙන් කොළඹ කාර්යාලයට දැනුම්දී ඇතැයි සඳහන් වේ.

රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කරයි.

සාමාන්‍ය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන තුරු එක්සත් ජාතීන්ගේ නේවාසික සම-සංවිධායක නිව් යෝර්ක්වලට කැඳවා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කාර්යාලය වැඩිදුරටත් පවසයි.adaderana