Thursday, June 17, 2010

ෆොන්සේකාගේ පෙත්සම ඉවතට


පළමු යුද අධිකරණයේ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ වි‍ශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ. පළමු යුද අධිකරණයේ විමර්ශන කටයුතු අත්හිටුවමින් පසුගිය මැයි මස 3 වැනිදා අභියාචනාධිකරණය මගින් නිකුත් කළ තහනම් නියෝගය එම අධිකරණය විසින්ම එම මස 21 වැනිදා ඉවත දැමුණි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අභියාචනාධිකරණය විසින් අදාළ තහනම් නියෝගය ඉවත් කිරීම නීතිවිරෝධී බැවින් එම නියෝගය නැවත පනවන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම විශේෂ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, එය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් නිෂ්ප්‍රභ කළ බව සඳහන් කරන ලදී. adaderana

සත්‍යග්‍රහය අඛණ්ඩයි-උදුල්


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසරකින් අඩුකිරීමට විරෝධය පළකරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසන් සභාව ඉදිරිපිට අද දහවල් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

සත්‍යග්‍රහය අද රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය විසුරු‍වා හැරීමේ සැලසුමක් පවතින බවට තමන්ට මේ වන විට තොරතුරු ලැබී ඇති බව එහි කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

යම් හෙයකින් සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට කිසිවෙකු උත්සහ දැරුවහොත් යළි හෙට උදෑසන සිට එය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියි.

මේ අතර සම සෞඛ්‍ය ගැටලුව පාදක කරගනිමින් හටගෙන ඇති මෙම වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටියේ පවත්නා ගැටලුවට විසඳුමක් ලබාදීමට රජය සූදානම්ව තිබියදීත් ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස අරගලවල යෙදීම කනගාටුවට කරුණක් බවයි.

මේ ආකාරයෙන් අරගල සිදුකර පවත්නා ගැටලුවට විසඳුම් ලබාගත නොහැකි බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය. adaderana

ෆොන්සේකා නැන්දණියට අවසන් ගෞරව දක්වයි


අනෝමා ෆොන්සේකා මහත්මියගේ මව වන අභාවප්‍රාප්ත කේ.ඊ. මුණසිංහ මහත්මියගේ අවමගුල් උත්සව අවස්ථාවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වී තිබේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය නැන්දණියට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල කනත්තට සහභාගීවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ලද අවසරය මත ඔහු මීට ස්වල්ප මොහොතකට පෙර බොරැල්ල කනත්තට පැමිණ සිය නැන්දණියට අවසන් ගෞරව දක්වා තිබේ.

කේ.ඊ. මුණසිංහ මහත්මිය මිය යන විට 92 හැවිරිදි වියෙහි පසුවූ අතර කාලයක් තිස්සේ රෝගීව සිට ඇති බව වාර්තා වේ.adaderana

විජයග්‍රහණ සැමරුමට පාර වැහෙන්නේ මෙහෙමයි


ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වීමට නියමිත රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි විජයග්‍රහණ සැමරුම් උළෙල වෙනුවෙන් වසා දමන මාර්ග වෙනුවට රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග නම් කර ඇත..

ගාලුපාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හරවා තුම්මුල්ල වටරවුම දක්වා පැමිණ එතැනින් වමට හැරී තර්ස්ටන් පාර, ජේ.ඕ.සී.හන්දිය පසු කර කේම්බ්‍රිජ් පෙදෙසින් දකුණට හරවා හෝර්ටන් වටරවුමට පැමිණ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, සොයිසා වටරවුම ඔස්සේ පැමිණ ඩීන්ස් පාරෙන් මරදාන පොලිසිය ඉදිරිපිටින් වමට හරවා මරදාන පාලම හන්දිය, ටෙක්නිකල් හන්දිය දක්වා පැමිණ, ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුවට ගමන් කළ හැක.

කොළඹින් පිටවන ගාලුපාර දෙසට ගමන් කරන වාහන පිටකොටුව සීනෝර් හන්දියෙන් ගුණසිංහපුර හන්දිය ටෙක්නිකල් හන්දිය දක්වා ගොස් එතැනින් දකුණට හරවා මරදාන පාලම එතැනින් දකුණට ගාමිණී වටරවුම, ඩාර්ලි පාර, ඉබ්බන්වල හන්දිය ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත ඔස්සේ, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතෙන් දකුණට හරවා හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුඳුවත්ත වටරවුමෙන් දකුණට රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලස් පාර ඔස්සේ බම්බලපිටියට පැමිණ ගාලුපාරට ඇතුළුවිය හැක.

එසේම හෙට දින පෙරවරු 5.00 සිට උළෙල අවසන්වන තුරු පහත සඳහන් මාර්ග වසා දමීම සිදු වේ. ඒ අනුව ගාලුපාර සිට බම්බලපිටිය හන්දියෙන් කොළඹ දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ගාලු මුවදොර දෙසට, ගාලු මුවදොර වටරවුමෙන් ගාලුමුවදොර මැදපාරට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජස්ටින් අක්බාර් මාවත , දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් කුමාර රත්නම් පාර දෙසට ගාමිණී වට රවුම අසලින් ඩී. ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම, පිටකොටුව ඕල්කට් මාවත සිනෝර් හන්දියෙන් කොටුවට ඇතුළුවීම හා ඛාන් ඔරලෝසු කණුව අසලින් කොටුවට ඇතුළුවීමට හෙට දිනයේ අවසර නොමැති බව සඳහන් වේ. . adaderana

අධ්‍යක්ෂගේ නිල මුද්‍රාව හොරෙන් පාවිච්චි කරලා


පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස එහි ස්ථානාධිපතිවරයා විසින් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ආනන්ද විජේසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වංචා විමර්ශන අංශය දැනුම් දුන්නේය. කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ නිල මුද්‍රාව නීතිවිරෝධී ලෙස භාවිතා කරමින් එක්තරා ආයතනයකට ලිපියක් යවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව වංචා විමර්ශන අංශය තවදුරටත් දැනුම් දුන්නේය. adaderana

අජිත් නිවාඩ් යළි යළිත් මහ බැංකුවට


අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස යළි වරක් පත් කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වසර 6 ක් සඳහා මෙම පත්වීම වලංගු වන අතර නව පත්වීම 2010 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ද කටයුතු කරන අතර 2006 ජූනි මාසයේදී ඔහු ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්විය. adaderana

බාලවයස් දැරියන් 6 ක් පියාගෙන් දූෂ්‍යවෙලා


සිය පියාගෙන් ලිංගික අතවරයට ලක්වූ අඩුවයස් දැරියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා තමා සේවය කරන රෝහලට පැමිණ ඇති වග වෛද්‍ය එච්.එම්.පී හේරත් මහතා පවසයි.

රටේ සෑම නිවසක්ම දරුවන්ට ආරක්ෂා සහිත යයි කියන්නට අසීරු බව හෙතෙම කියා සිටියේ පසුගිය අඟහරුවාදා ළමා අපචාර,ලිංගික බලහත්කාරකම් සහ මත්ද්‍රව්‍ය අපචාර සම්බන්ධයේ මාරවිල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් වෛද්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. adaderana

ෂෙල් ගෑස් 51 % ක් යළි පවරාගන්න යයි


ෂෙල්ගෑස් සමාගමේ කොටස් 51 % ක් යළි රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලංකා බැංකුව හා සම්බන්ධ‍ව මෙම කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අමාත්‍යාංශ 4ක ලේකම්වරුන් සිව්දෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඔහු එහිදී පැවසුවේය.

රජයේ දේපල පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම නතර කිරීමට පසුගිය කාලය තුළ පියවර ගත් බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට පෞද්ගලීකරණය කර ඇති ජනතා‍ දේපල නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇති බව ඔහු කියා සිටියේය. adaderana

හෙට(18) නිවාඩුයි


හෙට දිනය(18)මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ යුද විජයග්‍රහණය සමරනු පිණිස පවත්වනු ලබන රණවිරු උපහාර උළෙල හෙටට යෙදීම නිමිති කොටගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රුහුණු සරසවි සිසු පිරිසකට ප්‍රහාරයක්


රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ පස්වරුවේ පිටස්තර මැර කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකළ බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක මහතා සඳහන් කළේය. මේ වන විට තුවාල ලැබූ සිසුන් තිදෙනා මාතර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු පෙන්වා ‍දුන්නේය.

ශිෂ්‍යයින‍්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුමින්ද තාරක මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන‍ තෙක් සියලු අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. adaderana

රන් භාණ්ඩ හොරු මාස 6කට සිරගෙට


කොළඹ හෙට්ටිවීදියේ වෙළඳසැලක තිබූ රන්භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළව වරද පිළිගත් එම වෙළඳසැලේ කළමනාකාරවරයා සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට බරපතල වැඩ සහිතව මාස 6ක සිර දඩුවමක් නියම කර තිබේ. ඊට අමතරව වසර 20 කට අත්හිටවූ මාස 9 ක අමතර දඩුවමක් ද ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය නියෝග කළේය.

විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස 3 ක සිරදඩුවමක් ද පනවනු ලැබීය. අදාළ වෙළඳසැල කොල්ලකා රුපියල් ලක්ෂ 62 ක රන්භාණ්ඩ හා රුපියල් ලක්ෂ 18 ක මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. adaderana

සංචාරක ආයතනයේ මුල් පුටුව නාලකට


ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කර ‍තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, ලංකා හෝටල් පාසල යන ආයතනවල ප්‍රධානීත්වය දරනු ඇත. ආචාර්ය නාලක ගොඩහේවා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ. adaderana

ෆොන්සේකාට එරෙහිව නඩු පවරන්න පුළුවන්


යුද හමුදාපති තනතුරේ සිටින අතරවාරයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්ව ඇති නිසා ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පැවරීමට හැකියාව පවතින බව අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කර ඇත. දෙවන යුධ අධිකරණය අවලංගු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සම ඊයේ සවස විභාගයට ගත් අවස්ථාවේදී වත්මන් යුධ හමුදාපති වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මේ බව අවධාරණය කර සිටියේය.

ජෙනරාල් සරත්‍ ‍ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ද ඔහුට යුද හමුදා පනත අනිවාර්යෙන්ම අදාළ වන බැවින් යුද අධිකරණයක් පත්කිරීම නීත්‍යානුකූල බව එම නීතීඥවරයා කියා සිටියේය. යුද හමුදා පනත යටතේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දුන් නීතීඥවරයා ඔහු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී නොවන බව ද ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම ලබන 18 වනදාට කල්දමනු ලැබීය. adaderana