Thursday, January 13, 2011

ජනාධිපතිතුමා සජිත්ට බය වෙලාවත් ද?


මේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


දිවයින පුවත්පතට අනුව, හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.


වහෙන් ඔරෝ නො කියා කෙළින් කියනවා නම් මේ කියන නායකයා අන් කවරෙකුවත් නො ව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සමීප ව සිටි අයෙකි. කොතරම් සමීප ද යත්, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදාහනය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහරේ ගමන් ගත් පිරිස් ගුණවංශ හිමියන්ගේ බෞද්ධාලෝක මාවතේ ආරාමයට ද ගල් ගැසූ හ. හේ දැනුත්‍ ප්‍රේමදාස පවුලට හිතවත් ය.


උන්නාන්සේවත් ළඟින් තබාගෙන ජනාධිපතිතුමා මේ කණේ පාර ගහන්නේ එතුමන්ගේ කණ්සෙන් පටන් ගෙන සජිත් ප්‍රේමදාසගේ කණ් අඩියට ම වදින්නට ය.


සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ගෙන ආණ්ඩුව පෙරළන සටනක් කරනු ඇතැයි ජනාධිපතිතුමා බිය වී තිබෙන බව පෙනේ. ඒ නිසා සජිත්ට අසුබ දසාවක් උදා වෙමින් තිබේ. පසුගිය දිනවල රනිල්ට විරුද්ධව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය අවුල් කරන්නට සජිත්ට ආණ්ඩු සහයෝගය ලැබුණු අතර හතර පස්දෙනෙක් හම්බන්තොට ගෙදරකට රැස් කර වේගවත් කතාවක් පවත්වා දිනපතා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රමුඛ පුවතක් ලෙස ප්‍රචාරය කර ගන්න‍ට සජිත්ට අවස්ථාව ලැබිණි.


එජාප නායකත්වයට පත් වුවහොත් සජිත්ගේ ගමනට ආණ්ඩුව කලින් එලූ මේ මල් පාවාඩ කටු අකුල් බවට පත් වනු ඇත. එවිට අසූ නමය කාලයේ තාත්තා කළ ඝාතන හා කොටින්ට ආයුධ සැපයූ හැටි ආදිය පමණක් නො ව තව බොහෝ දේට උත්තර බඳින්නට සජිත්ට සිදු වනු නියත ය.


සජිත් රනිල්ට විකල්පයක් ද කියා හරියට දැන ගත හැකි වනු ඇත්තේ මේ අභියෝගවලට ඔහු මුහුණ දෙන ආකාරය අනුවයි.

අලියකුගේ මළ සිරුරක් ගසක් උඩ







ගං වතුරට අසුවූ වල් අලියකුගේ මළ සිරුරක් ගසාගෙන ගොස් හබරණ හතරැස් කොටුවේ අඩි 15ක් උසැති ගසක රැඳී ඇති අයුරුයි ඡායාරූපයේ දැක්වෙන්නේ.

සුදු කොඩියට සාක්ෂි දෙන්නැයි ගෝඨාභයට නොතීසි


සුදු කොඩි නඩුවේ සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා කොළඹ මහාධිකරණය අද(13) නොතීසි නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇත.

මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය බව එම නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමනිසා ඒ සඳහා නොතීසියක් නිකුත්කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා නොතීසි නිකුත් කරනු ලැබීය.

ගංවතුරින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අඛණ්ඩ සහන සේවයක්


ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය මත දවස පුරා අඛණ්ඩව සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් දැනටමත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 28,000 කට අධික පිරිසක් විපතට පත් ප්‍රදේශවලට පිටත් කර යවා ඇති බවය.

හෙලිකොප්ටර් යානා සහ බෝට්ටුද එම ප්‍රදේශ වෙත යවා තිබේ.

මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 49 ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයට වැඩිම මුදල ලබා දී තිබේ.

යාපනයේ ප්‍රධාන දූපත්වල ආරක්ෂාව යුධ හමුදාව යටතට


යාපනයේ ප්‍රධාන දූපත්වල ආරක්ෂාව පිළිබද වගකීම යුධ හමුදාව වෙත පවරා තිබේ.

හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවෙල මහතා සදහන් කළේ, ඒ අනුව දූපත් හතරක ආරක්ෂාව පිළිබද වගකීම යුධ හමුදාව වෙත පවරා ඇති බවය.

ඒ අනුව කයිට්ස්, පුංකුඩතිව්, මණ්ඩතිව් සහ කරෙයිනගර් යන දූපත්වල ආරක්ෂාව යුධ හමුදාව විසින් මෙහෙයවනු ලබනු ඇති.

හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ, මීට පෙර එම දුපත්වල ආරක්ෂාව නාවික හමුදාව වෙත පැවරී තිබු බවය.

කෙසේ වෙතත් ඩෙල්ෆ් දූපතේ ආරක්ෂාව යුධ හමුදාව වෙත පවරා නොමැති බවද ඔහු සදහන් කළේය

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට


අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, තවත් 36 කු තුවාල ලබා ඇති බවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවත්ය.

ඒ අතර ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 325348 දෙනෙක් අවතන්ව සිටිති.

එම පිරිස කදවුරු 591ක රදවා ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඒ අතර පවුල් 287,871 අයත් පුද්ගලයින් 1,081,819දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය පීඩාවට පත්ව සිටිති.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක නිවාස 2680කට හානි වී ඇති අතර නිවාස 15,274 අර්ධ හානි වී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් සිදු විය.

ඊට අමතරව අම්පාර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව , අනුරාධපුර, මහනුවර, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ ගණනාවකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

කොස්ගම රිය අනතුරින් හය දෙනෙක් මරුට: හත් දෙනෙකුට තුවාල


කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී අද අලුයම 3.50 ට පමණ වු රිය අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුහ. අනතුරින් තුවාල ලැබු 7දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

පොලීසිය පැවසුවේ, වලස්මුල්ල සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර වී ඇති බවය.

අවිස්සාවේල්ල රෝහල් පොලීසිය සදහන් කළේ, බරපතල තත්ත්වයේ පසු වු තුවාලකරුවන් දෙදෙනෙකු ජාතික රෝහලට මාරු කර යැවු බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුවිට පැරඩයිස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකි. මියගිය අය අතර ආබාධිත සෙබළකුද වේ.

අනතුරෙන් වෑන් රථයේ සිටි සියලු දෙනා තුවාල ලැබුහ

මැතිවරණය කල් දැමීම පිළිබඳව තවම අදහසක් නැහැ. ජනපති කියයි.


පවතින අයහපත් කාලගුණය හමුවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කළා. අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මේ වසරේදී සංවර්ධන ඉලක්ක ජය ගැනීම සහ ජාතීන් අතර ඇති වූ වෛරීය තුවාලය සුව කිරීම තම අරමුණ බවයි. දෙමළ ජාතික සන්ධානය සහ රජය..

ආර්ථික අර්බුදයක් ළඟ ළඟම. අපිට මොකද වෙන්නෙ ?




World Bank sees 2008 risks for global economy

ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් ආහාර මිල ගණන් ඉහළ නැගීමත් නිසා 2008 වසරේදී ලෝක ආර්ථිකය මුහුණ දුන් අඳුරු යුගයට නැවත වතාවක් ලෝකය ඇද වැටීමේ අවධානමක් ඇතැයි ලෝක බැංකුව අනතුරු හඟවයි.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසා තිබෙන්නේ 2009 ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යම් දුරකට සමනය වෙමින් ගිය වසරේදී ලෝක ආර්ථිකය ප්‍රගතියක් පෙන්නුම් කළද මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනය අඩුවනු ඇති බවට බැංකුව පුරෝකතනය කර තිබෙන බවයි.

මේ අනුව, ගිය වසරේදී සියයට 3.9 කින් වර්ධනය වූ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3.3 ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්ය.

මෙහිදී, ආර්ථිකයන් පණ ලබමින් සිටින හා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 6.0 ක් පමණ වනු ඇති බවත් එය ගිය වසරේදී සියයට 7.0 ක මට්ටමක තිබුණු බවත් ලෝක බැංකුව සඳහන් කර ඇත.

මේ අතර, වැඩි ආදායම් ලබන රටවල ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 2.8 ක් පමණ වුවද එම වර්ධනයද සියයට 2.4 ක මට්ටමකට අඩුවෙනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

එසේම, ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ 2012 වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.6 ක් පමණ වනු ඇති බවත් මෙහිදී ඉහළ ආදායම් ලබන රටවල් සියයට 2.7 කද සංවර්ධනය වෙමින් පවතින රටවල් සියයට 6.1 කද වර්ධනයක් ලබනු ඇති බවයි.

අවාසනාවකට මෙන් මෙම ආර්ථික වර්ධනය ලෝකයේ පවතින විරැකියාව ඇතුළු ආර්ථික ගැටලු සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් අවධාරණය කර ඇත.

යූරෝ මුදල් කළාපයේ රටවල ඇතිවී තිබෙන ආර්ථික අර්බුදත් ලෝකයේ ආහාර මිල, ඛනිජ තෙල් මිල ගණන්වල ඇතිවී තිබෙන විශාල වර්ධනයත් ලෝක ආර්ථිකය අර්බුදයක් අභිමුවට රැගෙන විත් තිබෙන බව වාර්තාවේ.

2008 වසරේදී ලෝක ආහාර මිල ගණන් ඉහළ ගිය තත්ත්වය හා සමානම සාධක මේ වනවිට ඇතිවී තිබෙන බවත් එම වසරේ මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර සිදුවූයේ ආහාර මිල ගණන්වල මිල ඉහළ යාම බවත් ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන Hans Timmer පවසා තිබේ.

2008 වසරේ ජූලි මාසයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 ක් දක්වා ඉහළ ගිය අතර එය මේ වනවිට ඩොලර් 92 ක පමණ මට්ටමක ඇත.

මේ අතර, 2011 වසරේදී සියයට 8.5 කද, 2012 දී සියයට 9.0 කද, 2013 දී සියයට 9.5 කද ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව ඉලක්ක තබාගෙන සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ 2010 වසරේදී ලංකාව සියයට 08 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගත් බවයි.

පාසල් සිසුවියක මරා දැමූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියමවෙයි


මිනී මැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

ලුණුගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණ විනිසුරු මතුරට පී වික්‍රමසිංහ මහත්මිය මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.

2007 වසරේ අගෝස්තු මාස 20 වැනි දින ලුණුගල, කළුගහතැන්න ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක ඝාතනය කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අදාළ ශිෂ්‍යාව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටිය දී ඝාතනයට ලක්ව ඇත.

විත්තිකරුට එරෙහිව ලැබුණු සාක්ෂි සලකා බැලූ බදුල්ල මහාධිකරණ විනිසුරුවරිය ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබීය.