Thursday, January 13, 2011

ආර්ථික අර්බුදයක් ළඟ ළඟම. අපිට මොකද වෙන්නෙ ?




World Bank sees 2008 risks for global economy

ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් ආහාර මිල ගණන් ඉහළ නැගීමත් නිසා 2008 වසරේදී ලෝක ආර්ථිකය මුහුණ දුන් අඳුරු යුගයට නැවත වතාවක් ලෝකය ඇද වැටීමේ අවධානමක් ඇතැයි ලෝක බැංකුව අනතුරු හඟවයි.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසා තිබෙන්නේ 2009 ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යම් දුරකට සමනය වෙමින් ගිය වසරේදී ලෝක ආර්ථිකය ප්‍රගතියක් පෙන්නුම් කළද මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනය අඩුවනු ඇති බවට බැංකුව පුරෝකතනය කර තිබෙන බවයි.

මේ අනුව, ගිය වසරේදී සියයට 3.9 කින් වර්ධනය වූ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3.3 ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්ය.

මෙහිදී, ආර්ථිකයන් පණ ලබමින් සිටින හා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 6.0 ක් පමණ වනු ඇති බවත් එය ගිය වසරේදී සියයට 7.0 ක මට්ටමක තිබුණු බවත් ලෝක බැංකුව සඳහන් කර ඇත.

මේ අතර, වැඩි ආදායම් ලබන රටවල ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 2.8 ක් පමණ වුවද එම වර්ධනයද සියයට 2.4 ක මට්ටමකට අඩුවෙනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

එසේම, ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ 2012 වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.6 ක් පමණ වනු ඇති බවත් මෙහිදී ඉහළ ආදායම් ලබන රටවල් සියයට 2.7 කද සංවර්ධනය වෙමින් පවතින රටවල් සියයට 6.1 කද වර්ධනයක් ලබනු ඇති බවයි.

අවාසනාවකට මෙන් මෙම ආර්ථික වර්ධනය ලෝකයේ පවතින විරැකියාව ඇතුළු ආර්ථික ගැටලු සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් අවධාරණය කර ඇත.

යූරෝ මුදල් කළාපයේ රටවල ඇතිවී තිබෙන ආර්ථික අර්බුදත් ලෝකයේ ආහාර මිල, ඛනිජ තෙල් මිල ගණන්වල ඇතිවී තිබෙන විශාල වර්ධනයත් ලෝක ආර්ථිකය අර්බුදයක් අභිමුවට රැගෙන විත් තිබෙන බව වාර්තාවේ.

2008 වසරේදී ලෝක ආහාර මිල ගණන් ඉහළ ගිය තත්ත්වය හා සමානම සාධක මේ වනවිට ඇතිවී තිබෙන බවත් එම වසරේ මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර සිදුවූයේ ආහාර මිල ගණන්වල මිල ඉහළ යාම බවත් ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන Hans Timmer පවසා තිබේ.

2008 වසරේ ජූලි මාසයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 ක් දක්වා ඉහළ ගිය අතර එය මේ වනවිට ඩොලර් 92 ක පමණ මට්ටමක ඇත.

මේ අතර, 2011 වසරේදී සියයට 8.5 කද, 2012 දී සියයට 9.0 කද, 2013 දී සියයට 9.5 කද ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව ඉලක්ක තබාගෙන සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ 2010 වසරේදී ලංකාව සියයට 08 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගත් බවයි.

0 comments:

Post a Comment