Wednesday, February 3, 2010

සිරකරුවන් දහසකට හෙට ජනපති සමාව


62 වන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට නිදහස ලබාදීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.
ඒ අනුව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් දහසකට පමණ හෙට දිනයේ නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතා පවසයි.
දඩ ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටින සුළු වැරදි සඳහා වරදකරුවන් වූවන්ට පමණක් ‍මෙම සමාව හිමිවන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ සහ හෙරොයින් ආදී වැරදි සම්බන්ධ චූදිතයන්ට මෙම සමාව හිමි නොවන බව කෙනත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි

නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්


62 වන ජාතික නිදහස් උළෙල හෙට අතිඋත්කර්ශවත් ලෙස මහනුවර දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. නිදහස් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්‍වයෙන් පෙරවරු 8.30 ට ආරම්භ වේ.
නිදහස් උත්සවය සදහා අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන්, රජයේ ඉහළ නිලධාරීන් සහ විදේශීය තානාපතිවරුන් රැසක් ද සහභාගී වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය දළදා මාළිගාව ඉදිරිපිටින් ගමන් කිරීම මෙවර විශේෂත්වයක් වේ. සිංහල, දෙමළ, මුස්ලිම් සංස්කෘතිකාංග රැසකින් ද මෙවර නිදහස් දින උළෙල අලංකාරවත් කිරීමට සංවිධායකයින් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර නිදහස් දින උත්සවය වෙනුවෙන් හෙට අලුයම 4 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා‍ තැබෙන බව පොලිසිය සඳහන් කරයි.
දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොටුගොඩැල්ල වීදිය, යටිනුවර වීදිය, වැව රවුම පාර, කොළඹ වීදිය, රජ වීදිය සහ කන්දෙ වීදිය මෙසේ වසා තැබෙන මාර්ග වේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටි‍යි. -

ගොඩ ඒමක්ද..තවත් අනාගැනීමක්ද...?


ජනාධිපතිවරණය දූෂිත බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ආදී විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද හයිඩ් පිටියේදී විරෝධතාවයක නිරත විය.එහිදී විවිධ දේශපාලන මතවාද නියෝජනය කරන නායකයින් එකම වේදිකාවක අසුන් ගෙන සිටි අයුරු.

What happend Roger Seneviratne ??

පොරොන්දුව ඉටුකරමි....


ශ්‍රි සම්බුද්ධ ජයන්ති මන්දිරයට මුල් ගල් තැබීම අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි. ලොව විශාලතම බෞද්ධ ප්‍රකාශන හා තොරතුරු සංකිර්ණය බවට ශ්‍රි සම්බුද්ධ ජයන්ති මන්දිරය පත් කිරීම රජය අපේක්ෂා කරයි. ආසන 600කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක් විවිධ භාෂා හැදැරීමේ පහසුකම් , ශබ්දාගාර පහසුකම් , ධර්ම පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම ධර්ම දූත සේවා වලට අවශ්‍ය පහසුකම් රැසකින් මෙය සමන්විත වේ.ඊ‍ට අදාල සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් පූජ්‍ය කාකපල්ලියේ අනුරුද්ධ හිමියන් වෙත පිළිගැන්වූ අයුරු.

තිස්සේ සභාපති පුටුව නීතිය ඉදිරියට


තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නෙරපා හැරීමට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දේශපාලන පළිගැනීමක් වශයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නෙරපා හැර ඇති බවත්,මේ වන විට එහි උප සභාපතිවරයාට වැඩ බලන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව රටේ හොඳම ප්‍රාදේශීය සභාව ලෙස සම්මාන හා සහතිකපත්‍ර දිනා ඇති බවත්,එකී සහතික වලට අත්සන් තබා ඇති ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතාගේ අත්සනින් ම නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින්ම සභාපතිවරයා නෙරපා හැරීම ඉතා කනගාටුදායක බවද ඔහු පවසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මැතිවරණ ප්‍රතිඵල දූෂිත නෑ


ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවුණා යයි කියනු ලබන අක්‍රමිකතා චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට තරම් සිදුවීම් වාර්තා නොවූ බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මේ දිනවල විවිධ කටකතා පැතිර යන බවත්,කිසිවෙක් තමන්ගේ හිසට ගිනි අවි තබා තර්ජනය නොකළ බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.
මීට පෙර තමන් ප්‍රකාශ කළ පරිදි මැතිවරණ කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස් නොවන බවත්,එළඹෙන මහ මැතිවරණයේ කටයුතු නිමා වෙන තෙක් ධූරයේ රැඳී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිඵලය අනිවාර්යයෙන් අවලංගු කළ යුතුයි


ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවලංගු කළ යුතු බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශයෙන් තමාට ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකා 64 ක් හමුවී ඇතැයිද එය මෙම මැතිවරණයේ අක්‍රමිකතා සිදුවූ බවට කදිම සාක්ෂියක් බවත් හෙතෙම කියා සිටියේ අද ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ගොස් සිටියදීය.
රත්නපුර ප්‍රදේශයෙන් හංසයා ලකුණට ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා තොගයක් හමුවීම සම්බන්ධයෙන් තමාට පැමිණිල්ලක් ලැබුණු බව මැතිවරණ කොමසාරිස්වරයා ද අද පැවති මාධ්‍ය හමුවේදී සනාථ කරනු ලැබිණි.