Monday, December 13, 2010

Exclusive Night

ඉපදෙන හැම මිනිසෙක්ම මැරෙන බව දැනගෙන වැඩ කළයුතුයි


ඉපදෙන සෑම මිනිසෙකුම මරණයට පත්වන බව දැන වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටක හොඳ සෞඛ්‍ය සේවාවක් යනු නිරෝගී ජනතාවක් සිටීම බව ද ඔහු සඳහන් කළේය.

අද(13) නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවති ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහ‍න යටතේ සෞඛ්‍ය සේවාවේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
adaderana.lk

අධීක්ෂණ මන්ත්‍රීවරුන් තිදෙනෙක්


විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස සජින් වාස් ගුණවර්ධන මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ආර්. දුමින්ද සිල්වා සහ උදිත ලොකුබණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
adaderana.lk

මත්කුඩු පාර්සල් 39ක් සමග එක් අයෙක් පානදුරදී කොටුවෙයි


මත්කුඩු පාර්සල් 39ක් සමග පුද්ගලයෙකු වාද්දුව පොලිසිය විසින් අද(13) පෙරවරුවේ පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා යුද හමුදාවේ සේවය කර ආබාධිත තත්ත්වයට පත් වූවෙක් බව පොලිසිය සඳහන් ‍කරනු ලැබීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.adaderana.lk

වේලා සටහන්කරුවන් කප්පම් ගන්නවා -කප්පම් දීමත් වරදක්


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පත්කර සි‍ටින බස් රථ වේලා සටහන්කරුවන් බස් රථ වලින් කප්පම් ලබාගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා චෝදනා කර සිටියි.

එම වේලා සටහන්කරුවන් දිනකට රුපියල් පහළොස් දහසකට අධික මුදලක් මෙලෙස කප්පම් වශයෙන් එකතු කරගන්නා බව ඔහු පවසයි.

මීට වර්ෂ 15 ක සිට පවත්වාගෙන එන පරිදි මෙසේ කප්පම් ක්‍රමවේදය පවත්වාගෙන යන බව ඒ පිළිබඳ පැහැදිලි කරන අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.

නමුත් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මේ පිළිබඳව දැනුම්දුන් පසු එම ක්‍රමවේදය නවතා ඇති බව ඔහු සඳහන් කළ නමුත් බස්නාහිර පළාත් සභාවටත්, රජයටත් මෙම ක්‍රියාවලිය නැවතීමේ හැකියාවක් නොමැති බවට ද හෙතෙම චෝදනා කරයි.

තමාට අදාළ සංගම් වලින් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව මෙම‍ චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පලාත් සභා ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පැවසුවේය.

කිසිදු කප්පම් මුදලක් අයනොකරන ලෙසට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ඔහු අවධාරණය කළේය. එසේම කිසිදු කප්පම් මුදලක් ලබානොදෙන ලෙසට බස් හිමියන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළ කප්පම් මුදල් ලබාදීම ද වරදක් බව ද, ඒ පිළිබඳව පැමිණිලි කළ යුතු බව ද ඔහු පෙන්වාදෙයි.
adaderana.lk

ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා






ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

වරකාපොළ කොල්ලකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි


වරකාපොළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළ කොල්ලකරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු රැසක් හෙළිවී තිබේ.

ආරක්ෂක අංශ වෙඩි පහරින් මියගිය කොල්ල කල්ලි නායකයා වශයෙන් කටයුතු කර ඇති විශ්ව දේවයලාගේ සුමනරත්න නැමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඌව පළාතේ පදිංචිකරුවන් බවට හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය වසරේ බදුල්ලේ දුම්වැටි අලෙවි ආයතනයකට කඩා වැදී රුපියල් අනූ අට ලක්ෂ නව දහස් පන්සිය අනූ හතරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ කොල්ල කල්ලි නායකයා අධිකරණය මගින් වැරදිකරුවෙකු වු අයෙකු බවට ද හෙළි වී තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වෙඩි පහරින් මියගිය තවත් සැකකරුවෙකු වන බදුල්ල තැන්නපංගුව ප්‍රදේශයේ පදිංචි මුණසිංහ දේවයලාගේ සංජීව පුෂ්පකුමාර නැමැත්තා යුධ හමුදා කොමාන්ඩෝ බලකා‍යේ සිට පැනගිය සෙබලෙකු බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරනු ලැබීය.

1999 වසරේ සිදුවු කැටවල බැංකු මංකොල්ලය ඇතුළු අපරාධ රැසක විත්තිකරුවෙකු ලෙසට මොහුට එරෙහිව නඩු පවරා ඇතත් ‍මොහු සුනාමියෙන් මියගිය අයෙකු බවට පවසා ඔහුගේ බිරිඳ විසින් බදුල්ල මහාධිකරණයට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු වාර්තාවෙන් මොහුගේ නම කටුගා දමා තිබේ.

මේ අතර සිද්ධියෙන් මියගිය මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ පදිංචි දේවේන්ද්‍රයලාගේ කරුණාසේන නැමැති සැකකරුවා ද පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කර වැඩ තහනමට ලක්වු අයෙකු බවට ද තොරතුරු හෙළි වී ඇත.

මොහු පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් බඩල්කුඹුර පොලිසියේ සේවය කරමින් සිටියදී ටි - 56 වර්ගයේ ගිනි අවියක් සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙසේ වැඩතහනමට ලක් වු අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
adaderana.lk

මම යුතුකම් ඉටුකළා-26 දා ලක්ෂ 10 ක් කොළඹට ගේනවා


තමන් තමන්ගේ යුතුකම් ඉටු කළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයට නව පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරදීම තුළින් මෙසේ යුතුකම් ඉටුකළ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජනවාරි මස 26 වන දින"ඒකාධිපති වියරුව පරදවමු"යන මැයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පවත්වන්නට කටයුතු යොදා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එම උද්ඝෝෂණයට ලක්ෂ 10 ක ජනතාවක් කොළඹට කැඳවන්නට අපේක්ෂා කරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ගිය වසරේ ජනවාරි මස 26 වන දින වත්මන් ජනාධිපතිවරයා සිය ඒකාධිපති ගමන ආරම්භ කිරීම සනිටුහන් කරමින් මෙම දැවැන්ත උද්ඝෝෂණය පවත්වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

මුවන්පැලැස්සේ අප්පුහාමිටත් පක්ෂයේ ඉහළටම යන්න පුළුවන්


පක්ෂ ව්‍යවස්ථාවේ 8(01) වගන්තිය වෙනස් කිරීම පක්ෂ සම්මේලනයේදී නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් සිදුවූ විශාලම විප්ලවය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව පුද්ගලයින්ට සදාකල්හිම තනතුරු වල වැජඹීමේ අවස්ථාව ඉවත්ව ගිය බවත්, ඕනම කෙනෙකුට පක්ෂයේ පහළම තලයේ සිට ඉහළම තලය දකවා ගමන් කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මරදන්කඩවල බණ්ඩාර මැණිකේටත්, මුවන්පැලැස්සේ අප්පුහාමිටත් පක්ෂයේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානය දක්වා ගමන් කළ හැකි බව ඒ මහතා අවධාරණය කළේය.

අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු දැක්වීය. 8(01) වගන්තිය වෙනස මත සම්මුතියකින් හෝ රහස් ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රිකව පක්ෂයේ ප්‍රධාන තනතුරු 5 සඳහා ඕනම පුද්ගලයෙකුට පත්වීමේ හැකියාව ඇති බව ද හෙතෙම එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මෙම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ මහා අරගලය ජයගත හැකිවූයේ පක්ෂයේ සියලුදෙනා ඉල්ලීම්, ආයාචනා, සීනිබෝල තනතුරු වලට වහල් නොවූ නිසා බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ඊයේ සම්මත කරගත් ව්‍යවස්ථාව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද ඡන්දය භාවිත කළ හැකි ලෙස නැවත ඉදිරියේදී වෙනස්වන බව ද ඔහු සඳහන් කළේය.

ෆොන්සේකා හා ඔහුගේ ලේකම්ට එරෙහි නඩුවට දින නියමවෙයි


යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදීම සම්බන්ධව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී සිර දඬුවම් විඳින සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ, මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම නඩුව ජනවාරි මස 12 වන දින විභාග කිරීම සඳහා දින නියම කරනු ලැබීය.

මෙහිදී දෙවන විත්තිකරු වන සේනක ද සිල්වාට ඇප නියමකරන මෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඇප ඉල්ලීම සම්බන්ධව තරයේ විරුද්ධ වන බව එවිට රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇප ඉල්ලීම ලබන ජනවාරි 12 වන දින විභාග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ගෙවීම තුළින් විත්තිකරුවන් රජයට එරෙහිව කුමන්ත්‍රණයක නිරත වී ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
adaderana.lk