Wednesday, May 19, 2010

paba

යුද්ධය දිනාදුන් සෙන්පතියා හිරේ දමා යුද ජය සමරන එකම රට ලංකාවයි -ජෙනරාල් ෆොන්සේකා සිරකූඩුවේ සිට එවන ලද නිවේදනය


(ලංකා ඊ නිව්ස් 2010 මැයි 19, ප.ව.5.00) යුද ජයග්‍රහණය සමරණ අද මගේ ඡායාරූපය තහනම් එකකි. මගේ නම ප්‍රකාශ කිරීම පවා තහනම්වී ඇත. එදා සෙන්පතියා වූ මම, ලෝකයේ හොඳම හමුදාපති වූ මම, දේශ ද්‍රෝහියකු හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරයකු ලෙස හඳුන්වන තත්ත‍වයට අද පත්කොට තිබේ. සටනට ජය ලබාදුන් සෙන්පතියා හිරේ විලංගුවේ දමා සටනේ ජයග්‍රහණය සමරණ එකම රට, ප්‍රථම රට මේ රට යැයි මම සිතමි.
ඉහත සටහන දැක්වෙන්නේ තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙය වූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද ජයග්‍රහණයට දායකවූ සැමට සිය ප්‍රණාමය පුද කරමින් නිකුත් කළ නිවේදනයේයි.
ඔහු සිය ප්‍රණාමය පුදකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් ෆොන්සේකා මහතා සටහන් කරන්නේ zzවසර තිහක් තිස්සේ ජීවිත පූජා කිරීමෙන්ද, පරිත්‍යාගය ඇප කැප කිරීම් මත ලබාගත් මේ උතුම් ජයග්‍රහණය සමරණ මොහොතේ එයට දායකවූ සියලූ දෙනාටම මගේ ආචාරය සිරකුටියේ සිට පුදකර සිටිමිZZ යනුවෙනි.
ජෙනරාල් අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන්ය.
පුරා වසර තිහක් තිස්සේ පැවති ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රටත් ජනතාවත් මුදාගෙන ලබාගත් යුධ ජයග්‍රහණයට අදට වර්ෂයක් සම්පූර්ණ වෙයි. මට මේ මොහොතේ සිහිපත් වෙන්නේ යුද්ධයට බිලිවුණු අභීත රණවිරුවන් හා අහිංසක සහෝදර ජනතාවයි.
යුධ, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක‍ෂක හමුදාවල මේ මහ මෙහෙයුමට එදා සිටම දායක වූ මව්බිමට ආදරය කළ රණවිරුවන් හමුදාවට එවූ දෙමාපියන්ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. ඔවුන්ගේ අහිමිවීම වේදනාවක් වුවත් එA දෙමාපියන් එවැනි දරුවන් ගැන මේ මොහොතේ ආඩම්බර වෙනවා යැයි මම සිතමි.
ඇතැම් රණවිරුවන් අද සදාකාලික ආබාධිතයන්ය. ඇස්, කන්, දෙපා අහිමි වූවන්ය. ජීවිතයම රට වෙනුවෙන් දුකක් කරගත් ඔවුන්ට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.
දෙමාපියන්ට, තම දරුවන් අහිමි විය. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි විය. දරුවන්ට පියවරුන් අහිමි විය. සහෝදරයන් අහිමි විය. කවදාවත් මැකී නොයන වේදනාව පුරවා ගෙන ජීවත් වන රණවිරු පවුල්ද මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරන අතර, අරංතලාව, ශ්‍රී මහා බෝධිය හා වෙනත් ආගමික පූජනීය ස්ථානවලදී ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරුවී අපවත් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ජීවිතක‍ෂයට පත්වූ වෙනත් ආගමික පූජක තුමන්ලාටද නමස්කාර පූර්වක ප්‍රණාමය බැති සිතින් පුද කරමි.

එදා යුද හමුදාපති වශයෙන් යුද්ධය ජයග්‍රහණය කළ බව නිල වශයෙන් මා ප්‍රකාශ කරද්දී මුළු රටම එකම සැණකෙළියක් වූ සැටි මට මැවී පෙනේ. පාරක් තොටක් ගෙයක් දොරක් පාසා ළෙලදුන් සිංහ කොඩිය මට දැන් ලෙළදෙන්නාක් මෙන් පෙනෙයි. එදා මගේ ඡායාරූපය නැති තැනක් නොවීය.
එහෙත් එA යුධ ජයග්‍රහණය සමරණ අද මගේ ඡායාරූපය තහනම් එකකි. මගේ නම ප්‍රකාශ කිරීම පවා තහනම් වී ඇත. එදා සෙන්පතියා වූ මම, ලෝකයේ හොඳම හමුදාපති වූ මම, දේශද්‍රෝහියෙකු හෝ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණකාරයෙකු ලෙස හඳුන්වන තත්ත‍වයකට අද පත්කොට තිබේ. සටනට ජය ලබාදුන් සෙන්පතියා හිරේ විලංගුවේ දමා සටනේ ජයග්‍රහණය සමරන ලෝකයේ එකම රට, ප්‍රථම රට, මේ රට යැයි මම සිතමි.
වසර තිහක් තිස්සේ ජීවිත පූජා කිරීමෙන්ද, පරිත්‍යාගය, ඇප කැපවීම, මත ලබාගත් මේ උතුම් ජයග්‍රහණය සමරණ මොහොතේ එයට දායක වූ සියලූ දෙනාටම මගේ ආචාරය සිරකුටියේ සිට පුදකර සිටිමි.

ආණ්ඩුව යුද ජය සමරද්දී යුද්ධයෙන් මියගිය ඥාතීන් සමරන යාපනේ දේව මෙහෙය තහනම්æ

(ලංකා ඊ නිව්ස් 2010 මැයි 19, ප.ව.5.35) එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට ඊයේට (18) අවුරුද්දක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රධානත්වයෙන් දකුණේ පැවැත්වෙන රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කිරීමේ උළෙලට සමගාමීව උතුරේ යුද්ධයේදී මියගිය තම දරුවන් සහ ඥාතීන් සිහිකර යාපනයේ දේවස්ථානයක ඊයේ පවත්වන්නට ගිය දේව පූජාව යුද හමුදාව සහ පොලිසිය මැදිහත් වී නතර කළ බව ලංකා ඊ නිවිස් වෙත වාර්තා වේ.
තමන්ගේ අණ නොතකා දේව මෙහෙය පැවැත්වුවොත් ඇති වියහැකි තත්ත‍වයට වග නොකියන බව එම දේවස්ථානයේ පියතුමාට යාපනයේ ඉහළ හමුදා නිළධාරියෙක් තර්ජනාත්මකව ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

මෙම දේව මෙහෙය සංවිධානය කර තිබුණේ මියගිය පුද්ගලයින් ගේ දෙමව්පියන්, බිරින්දෑවරුන් සහ ඥාතීන් විසිනි.
තවත් එවැනි දේව මෙහෙයක් කොළඹ එක්තරා දේවස්ථානයක පවත්වා ඇති අතර උතුරේ යුද්ධයේදී මියගිය සහ රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලි විසින් කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කළ පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් 200 කට ආසන්න පිරිසක් එම දේව මෙහෙයට සහභාගි වී සිටියහ.

ඔබ වෙනුවෙන් අපි...


ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනයාගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් නාවික හමුදාවෙන් බෝට්ටු 22 ක් සමග කණ්ඩායම් 23 ක් යොදවා තිබේ.ඒ අනුව වත්තල,මීගමුව,ගම්පහ සහ කටාන යන ප්‍රදේශවල පීඩාවට පත් ජනයා ට පහසුකම් සැලසීම සඳහා නාවික භට පිරිස් කටයුතු කරන අයුරු ඡායා රූපයේ දැක්වේ. adaderana

කැලණිය විශ්ව විද්‍යාලය වසාදැමෙයි


කැලණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සඳහන් වේ.

අද පෙරවරුවේ විශ්ව විද්‍යාලයීය කලා පීඨයේ සහ විද්‍යාපීඨයේ සිසුන් පිරිසක් අතර ගැටූමක් ඇතිවීමත්,නේවාසිකාගාර වල උණ සන්නිපාත රෝගී තත්ත්වයක් වර්ධනය වීමත් හේතු කොටගෙන මෙසේ විශ්ව විද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය මාපා තිලකරත්න මහතා අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.

ඒ අනුව හෙට පෙ.ව 8.00 වන විට සියලුම විශ්ව විද්‍යාල සිසු- සිසුවියන් නේවාසිකාගාර වලින් පිටවී යා යුතු බව පාලානාධිකාරිය විසින් මේ වන විටත් දැනුම් දී තිබේ. එහෙත් කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම පිහිටි වෛද්‍ය පීඨය වසා නොදමන බවත් එහි අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් වාර්තා වේ. adaderana

පුනරුත්ථාපන කඳවුරු වල විවාහ මංගල්‍යයක්


පුනරුත්ථාපන කඳවුරු වල වෙසෙන හිටපු එල්. ටී. ටී. ඊ සාමාජික සාමාජිකාවන් පිරිසක් අතර විවාහ මංගල්‍යය උත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජූනි මස මැදභාගය පමණ වනවිට එවැනි යුවලවල් 20 පමණ මෙසේ විශේෂ උත්සවයක් මගින් විවාහ කරදීමට බලාපොරොත්තු වන බව පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි. මෙම යුවලවල් නීත්‍යානුකූලව විවාහ වී නොමැති වුව ද ඔවුන් අතර විවාහයට එකඟතාවය පළ කර ඇති බව ද ඒ මහතා බීබීසී ‍සේවය වෙත සදහන් කර ඇත.

මෙම විවාහ උත්සවය සඳහා ඒ ඒ සාමාජික සාමාජිකයන්ගේ සම්පූර්ණ කැමැත්ත හිමිව තිබුණ ද ඔවුන්ගේ දෙමාපියන්ගේ අනුමැතිය ද ඒ වෙනුවෙන් ලබාගැනීමට ද කටයුතු කරන බව රණසිංහ මහතා සඳහන් කරයි. මෙම සාමාජික සාමාජිකයන් අතර නීත්‍යානුකූල විවාහයන් සිදු වූ පසු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙසෙන යාපනය ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත ඔවුන් පිටත් කර යැවීමට කටයුතු කරන බව ද වාර්තා වේ‍. adaderana

නාරද දිසාසේකර අවසන් ගමන්යයි


සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායන ශිල්පියා වූ ප්‍රවීණ ගායන ශිල්පි නාරද දිසාසේකර මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. 1964 දී"රන්මුතු දුව"චිත්‍රපටය වෙනුවෙන් ඔහු ගැයූ"ගලන ගඟකි ජීවිතේ"ගීතයට සරසවි සම්මානය හිමිවිය.

නාරද දිසාසේකර මහතා නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකරගේ පියාණන්ය. adaderana

ජයග්‍රහණයට කැපවූ සියලුදෙනාට ෆොන්සේකාගේ ප්‍රණාමය


වසර 30ක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය පරාජය කර යුධ ජයග්‍රහණයට දායක වු සියලු දෙනා වෙත ප්‍රණාමය පුද කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි. යුද්ධය අවසන් වී වසරක් ගතවන අද දිනයේ එම යුද්ධයට බිලිවූ අභීත රණවිරුවන් සහ අහිංසක ජනතාව සිහිපත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

ඔවුන්ගේ අහිමිවීම වේදනාවක් වුවද දෙමාපියන් එවැනි දරුවන් පිළිබඳ ආඩම්බර වනු ඇතැයි තමා සිතන බව ද සරත් ‍ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක හමුදා, ජිවිතය පුජා කිරීමෙන්, කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් තම ආචාරය පුදකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. adaderana

ජනතාවත් ආණ්ඩුත් වගකිව යුතුයි


කොළඹ නගරය ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම් තරාතිරම නොබලා ඉවත් කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලමාර්ග අවහිර වීමේ ගැටලුවට, පැවති ආණ්ඩු මෙන්ම සියලු ජනතාව වගකිය යුතු බවයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.‍එ‍ම් .චන්ද්‍රසේන මහතා මේ අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්.පී.එස්.සෝමවීර මහතා කියා සිටියේ කොළඹ නගරය ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව අද පස්වරුව වන විට ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දන්වා ඇතැයි ද ඔහු පැවසීය. adaderana

කුඩු සැකකරුවන් 6 ක් දැලේ


හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත සැකකරුවන් 6 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පවසන පරිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආරියදාස බෝදරගම මහතා කියා සිටියේ එම දෙපාර්තමේන්තුව දින කිහිපයක සිට කළ සැලසුමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.
අත්අ‍ඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. adaderana

දින 10ක් ඇතුළත ඖෂධ හිඟයට විසඳුම්


ඖෂධ ගෙන්වීමේ ක්‍රියාපටිපාටියේ පැවති අක්‍රමිකතා සහ එම ආයතන ප්‍රධානීන්ගේ සම්බන්ධීකරණයක් ‍නොමැති වීම රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වීමට හේතුව බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඉදිරි දින 10 ඇතුළත ඖෂධ හිඟයට සම්පූර්ණයෙන් විසඳුම් ලබාදීමට හැකි වනු ඇති බව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මාස තුනක් ඇතුළත මත්ස්‍ය මිල ගණන් අඩකින් අඩුකල හැකි වනු ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. adaderana

මහ වැස්ස තවදුරටත්


කොළඹ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද පවතිනු ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ජේ. සිල්වෙස්ටර් මහතා පවසයි. අද උදෑසන වන විට පවුල් 33,159කට අයත් පුද්ගලයන් එක් ලක්ෂ 54,210ක් පමණ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටි බව ඔහු සඳහන් කරයි. ඔවුන්ට පීසු ආහාර ලබාදීම මේ වන විට සිදුකෙරෙන බව දිස්ත්‍රික්‍ ලේකම්වරයා පැවසුවේය. තිඹිරිගස්යාය සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුව තිබේ.

කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් රථ වාහන තදබදයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ජේ.සිල්වෙස්‍ටර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ‍ප්‍රදේශවලට ගංවතුර තර්ජන එල්ල වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13,373කට අයත් පුද්ගලයන් 57,888ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පාලින්ද නුවර, බුලත්සිංහල, මිල්ලනිය, මදුරාවල, දොඩංගොඩ සහ කළුතර යන ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. බුලත්සිංහල, පානදුර, හොරණ, මදුරාවල සහ ඉංගිරිය යන ප්‍රදේශවල නාය යෑමේ අවධානමක් ද පැවති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, අකුරැස්ස සහ හක්මන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතු‍කෝරාල මහත්මිය සඳහන් කළේය. එම දිස්ත්‍රික්කයෙන් පවුල් 105ක් පමණ අවතැන් වී ඇති බව ඇය පැවසුවේය. මීට අමතරව නිවාස 38කට පමණ හානී සිදුවී තිබේ. පුත්තලම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 675ක් පමණ පීඩාවට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. හැමිල්ටන් ඇළ පීටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය දංකොටුව මාර්ගය ජලයෙන් යටවී ඇත. එම ප්‍රදේශවල ගමනාගමන කටයුතු සඳහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්ය.

කටුනේරිය - සිරිගම්පල මාර්ගය ද ජලයෙන් යටවී තිබේ. පුත්තලම දිස්‍ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මහවැව සහ මාදම්පේ ප්‍රදේශ වලට ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 39,557කට අයත් සාමාජිකයන් එක් ලක්ෂ 64,349 දෙනෙකු අද උදෑසන වන විට විපතට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7 දෙනෙකු ගංවතු‍ර හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්ය. adaderana

කටුනායක දක්වා හෙලිකොප්ටර් සේවාවක්


කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් මගින් කොළඹ නගරයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා 011- 3144944 begin_of_the_skype_highlighting 011- 3144944 end_of_the_skype_highlighting අමතන ලෙස දැනුම් දී තිබේ. adaderana

තේ මණ්ඩලය සුසන්තට


ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරයට සුසන්ත රත්නායක මහතා පත්කර තිබේ. ඒ මහතා ජෝන් කීල්ස් සමාගමේ සභාපති ධුරය ද හොබවයි.adaderana

කොළඹ කටුනායක මාර්ගය ජලයෙන් යටවෙයි


පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. එම මාර්ගයේ ස්ථා‍න කිහිපයක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් පවතින බව ද ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ. කොළඹ සිට කටුනායක දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල භූමියට‍ පිවිසීමට අවසර ලබාදී ඇති බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ජල ගැලීම් හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ඔහු පවසයි. adaderana

ලංකාවටත් සූර්ය බලශක්තිය


ශ්‍රි ලංකාවේ ප්‍රථම සූර්ය බලශක්ති විදුලි බලාගාර දෙකක් හම්බන්තොට බරුතකන්ද ප්‍රදේශයේ ඉදිකිරීමට පියවරගෙන තිබේ. එම ප්‍රදේශයේ අක්කර 50ක භූමි ප්‍රමාණයක් මෙම සූර්ය බලශක්ති විදුලිබලාගාර ඉදිකිරීම සඳහා සූර්ය බලශක්ති කලාප ලෙස වෙන් කර ඇති බව සඳහන්ය. කිලෝ වොට් 400ක සහ කිලෝ වොට් 500ක ධාරිතාවකින් යුත් මෙම බලාගාර ජපාන රජය සහ කොරියානු රජයේ අධාර මත ඉදිකිරීමට නියමිතය.
මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මගින් සපයන අතර මෙම විදුලි බලාගාර මගින් වසරකට කිලෝ වොට් පැය දොළොස් ලක්ෂ 37,500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. 2016 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 10%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙය සැලකේ. adaderana

ලක්ෂපාන වාන් දොරටු 2ක් අරියි


පවතින වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු දෙකක් අද අළුයම විවෘත කර තිබේ. එම ජලාශයේ ජලය කැළණි ගඟට එකතු වීම ‍ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අප්කොඩ් ඔය පිටාර ගැලීම ‍හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත. ප්‍රදේශයේ පවුල් 25ක් පමණ අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ඊට අමතරව ඕල්ටන් ග්‍රාම නිලධාරී කොට්ටාසයේ ද වතු නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇත.adaderana

විශේෂඥයින් ගමටත්


නගරයට පමණක් සීමා වී තිබු විශේෂඥ වෛද්‍ය සේවාව දුෂ්කර ගම්මාන වෙත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සි‍රිසේන මහතාගේ සංකල්පයක් මත මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහි සමාරම්භක වැඩසටහන පසුගියදා පොළොන්නරුව වැලිකන්ද මහ විද්‍යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ කෙරුණි. එහිදී විශේෂඥ වෛද්‍යවරුන් 25කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සායන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන දීපව්‍යාප්තව මාසිකව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. adaderana