Wednesday, May 19, 2010

මහ වැස්ස තවදුරටත්


කොළඹ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද පවතිනු ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ජේ. සිල්වෙස්ටර් මහතා පවසයි. අද උදෑසන වන විට පවුල් 33,159කට අයත් පුද්ගලයන් එක් ලක්ෂ 54,210ක් පමණ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටි බව ඔහු සඳහන් කරයි. ඔවුන්ට පීසු ආහාර ලබාදීම මේ වන විට සිදුකෙරෙන බව දිස්ත්‍රික්‍ ලේකම්වරයා පැවසුවේය. තිඹිරිගස්යාය සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුව තිබේ.

කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් රථ වාහන තදබදයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ජේ.සිල්වෙස්‍ටර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ‍ප්‍රදේශවලට ගංවතුර තර්ජන එල්ල වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13,373කට අයත් පුද්ගලයන් 57,888ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පාලින්ද නුවර, බුලත්සිංහල, මිල්ලනිය, මදුරාවල, දොඩංගොඩ සහ කළුතර යන ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. බුලත්සිංහල, පානදුර, හොරණ, මදුරාවල සහ ඉංගිරිය යන ප්‍රදේශවල නාය යෑමේ අවධානමක් ද පැවති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, අකුරැස්ස සහ හක්මන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතු‍කෝරාල මහත්මිය සඳහන් කළේය. එම දිස්ත්‍රික්කයෙන් පවුල් 105ක් පමණ අවතැන් වී ඇති බව ඇය පැවසුවේය. මීට අමතරව නිවාස 38කට පමණ හානී සිදුවී තිබේ. පුත්තලම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 675ක් පමණ පීඩාවට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. හැමිල්ටන් ඇළ පීටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය දංකොටුව මාර්ගය ජලයෙන් යටවී ඇත. එම ප්‍රදේශවල ගමනාගමන කටයුතු සඳහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්ය.

කටුනේරිය - සිරිගම්පල මාර්ගය ද ජලයෙන් යටවී තිබේ. පුත්තලම දිස්‍ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මහවැව සහ මාදම්පේ ප්‍රදේශ වලට ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 39,557කට අයත් සාමාජිකයන් එක් ලක්ෂ 64,349 දෙනෙකු අද උදෑසන වන විට විපතට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7 දෙනෙකු ගංවතු‍ර හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්ය. adaderana

0 comments:

Post a Comment