Tuesday, August 10, 2010

මර්වින් කැපෙයි



මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ අමාත්‍ය ධූරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. adaderana.lk

ඔළුව බර මුත් ගමන සැහැල්ලුයි. .


අද පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම අවස්ථාවේදී ජනපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා කතාබහක යෙදී සිටි අයුරු මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. adaderana.lk

මර්වින් ඉල්ලා අස්වෙයි..?


මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව විශ්වාසදායි ආරංචි මාර්ග තහවුරු කරයි. අද සවස මහා මාර්ග අමාත්‍යංශයේදී සිය ඉල්ලා අස්වීම බාරදීමට කටයුතු සැලසුම් කර ඇතැයි සඳහන් වේ. adaderana.lk

නිවාස අමාත්‍යංශය ගැන යෝජනා, චෝදනා වෙනුවෙන් දුරකථන අංකයක්


නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශය සම්බන්ධ යෝජනා හා චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ජනතාව වෙනුවෙන් නව දුරකථන මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා මෙම දුරකථන මධ්‍යස්ථානය විවෘත කර තබන බව නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව 011 -2888871 හා 011 -2883868 යන දුරකථන අංක ඔස්සේ ජනතාවට නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශය පිළිබඳ ඕනෑම යෝජනාවක් හා චෝදනාවක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana.lk

මහා සම්මේලනය පවත්වන දිනය ගැන අවසන් තීරණය හෙට


හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මීට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී තීරණ රැසක් ගැනීමට ද නියමිත බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම පක්ෂයේ නව තනතුරුවලට නිලධාරීන් පත්කර ගත යුතු ආකාරය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට ද නියමිත බව ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ ක‍ළේය.

එහිදී පොදු එකඟතාවයකින් නිලධාරීන් පත්කරගැනීමට නොහැකි වුවහොත් රහස් ඡන්දයක් පැවැත්වීම කෙරෙහි අවධානය ‍යොමු කරන බව ඔහු පැවසීය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ද ඡන්ද අයිතිය ලබාදීමට කෙරෙහි හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්‍වීමේ දී සාකච්ඡාවට යොමු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.adaderana.lk

පළමු යුද අධිකරණයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න සාක්ෂිදෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුධ අධිකරණයේ දී තුන්වන සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවී තිබේ.

යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් දුමින්ද ගමගේ මහතා පවසන පරිදි තුන්වෙනි සාක්ෂිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද පළමු යුධ අධිකරණය හමුවට පැමිණ ඇත.

කෙසේවෙතත් ‍ෆොන්සේකා මහතාගේ නීතීඥයින් අද දිනයේ ද පැමිණ නොසිටීම හේතුවෙන් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදුවී නොමැති බව සඳහන් වේ.

මේ අතර දෙවැනි සාක්ෂිකරු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා අද දිනයේ අවස්ථාව ලබාදී තිබුණ ද නීතීඥයින් මෙන්ම ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද පැමිණ නොසිටි බව කර්නල් දුමින්ද ගමගේ මහතා කියා සිටියේය.

සක්‍රිය සේව‍යේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නියැලුනු බවට ජෙනරාල් ෆොන්සේකා මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුනු මෙම පළමු යුධ අධිකරණය ලබන 12 වැනි දා යළි රැස්වීමට නියමිතය.
adaderana.lk

එජාප නියෝජිතයින් ජනපති හමුවීමට තීරණය කරයි


ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. ලබන බදාදා දින‍යෙන් පසු ඊට දිනයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෂීම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද පැවැත්වී තිබේ. ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. adaderana.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජාත්‍යන්තර සම්මානයක්


ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවා මෙහෙයුම්කරු සම්මානය හිමි කර ගෙන තිබේ. ඒ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති"ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ"සම්මාන‍ ප්‍රදානෝත්සවයේ දීය.

මගී සේවා, අඩු ගාස්තු සේවා, ගුවන් භාණ්ඩ සේවා ඇතුළු සේවා අංශ කිහිපයක් අදාළ සම්මානය සඳහා නිර්නායක ලෙස යොදා ගැනෙන බව වාර්තා වේ. ඒ අනුව අදාළ සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිනා ගත් 5 වැනි අවස්ථාව ලෙස සඳහන්ය.

තම ගුවන් තොටුපළ වෙත පැමිණෙන හවුල්කරුවන්ට ගෞරව දැක්වීමක් වශයෙන් මැලේසියාවේ එයාපොර්ට් හෝල්ඩිංග්ස් බර්හාඩ් ආයතනය මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කරනු ලබයි. adaderana.lk

ජනපති හා රනිල් අතර හමුවක්


අද පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. adaderana.lk

සක්විතිට එරෙහිව තවදුරටත් පැමිණිලි


දැනට අත්අඩංගුවේ පසුවන සක්විති රණසිංහ නැමැත්තාට එරෙහිව හලාවත පොලිසියට ද පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වේ. සක්විති රණසිංහ සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ජනතාවට දැනුම් දී තිබුණි.

හලාවත පොලිසිය වෙත ඉදිරිපත් වූ පැමිණිලි අතර තරුණියන්ගෙන් මුදල් වංචා කිරීම්, පරිගණක ලබා දෙන බව පවසමින් සිදු කළ මුදල් වංචා ඇතුළු සිද්ධීන් කිහිපයක් වන බව වාර්තා වේ.

සක්විති රණසිංහ හලාවත ප්‍රදේශයේ කුලියට රැඳී සිටි නිවසේ හිමිකරුවන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර සක්විති රණසිංහගේ දරුවන් දෙදෙනා පරිවාස දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග ‍කරනු ලැබීය. adaderana.lk

රජයේ සේවක දීමනා කඩිනමින් ලබාදීමේ වැඩසටහනක්


රජයේ සේවකයන්ට විශ්‍රාම පාරිතෝෂික, මරණ පාරිතෝෂික හා වන්දි මුදල් කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර තිබේ. චෙක්පත් නිකුත් කිරීමේ දී සිදු වන ප්‍රමාදය වළක්වාලමින් ඔවුන්ට කඩිනමින් මුදල් ලබා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සියලුම විශ්‍රාම පාරිතෝෂික සිවිල් හා හමුදා මරණ පාරිතෝෂික සහ සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ගෙවන වන්දි මුදල් වාණිජ බැංකු පද්ධතිය මඟින් ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එමඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද චෙක්පත් ලබා දීම වෙනුවට ආයතනයේ නිල බැංකු ගිණුමට සෘජුවම මුදල් බැර කරනු ඇත.

එම බැර කිරීම් වලට අදාළ විස්තර ඇතුළත් ලිපිය ආයතනය වෙත හා විශ්‍රාමිකයා වෙත යැවීමට කටයුතු කිරීම මගින් අදාළ ප්‍රතිලාභය කඩිනමින් විශ්‍රාමිකයාට ලබා දීමට ද හැකි බව තිලකරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. adaderana.lk

මිනීමැරුමකට සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට


පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට කොස්වත්ත පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා රාත්‍රී කොස්වත්ත, මොරකැලේ ක්‍රීඩා පිටියේ දී කඩුවකින් කපා මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

එම ක්‍රීඩා පිටියේ පැවති එල්ලේ තරගයකින් අනතුරුව මත්පැන් පානය කළ පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොස්වත්ත පොලිසිය පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana.lk

සංක්‍රමණිකයින් රැගත් නැව ගැන තවදුරටත් සැලකිල්ලෙන්


ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් රැගෙන කැනඩාවට පැමිණෙන බවට වාර්තා වන නෞකාව පිළිබඳව දැඩි සැලකිල්ලෙන් සිටින බව කැනේඩියානු රජය පවසයි. කුමන දිනක මෙම නෞකාව කැනඩාවට පැමිණෙන්නේ ද යන්න අවධානයෙන් සිටින බව එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වික් ටොයිවුස් මහතා සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ කැනඩාවේ ඔටාවා අගනුවර දී ආගන්තුකයින් පිරිසක් සමග දිවා භෝජනය ලබා ගනිමින් සිටිය දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් රැගත් තායිලන්ත නෞකාවක් වන මෙය දිගින් මීටර 59 ක් වන බවත් එහි සංක්‍රමණිකයින් 200 ක් පමණ සිටින බවත් වාර්තා වේ. නෞකාව තුළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද සිටින බව සඳහන්ය.

පසුගිය සති අන්තයේ කැනේඩියානු බලධාරීන් විසින් මෙම නෞකාව බ්‍රිටිෂ් කොළොම්බියා මුහුදු තී‍රයේ යාත්‍රා කරමින් පවතින බවට වාර්තා කරනු ලැබීය. උතුරු අමෙරිකාවේ අනිකුත් රටවලට මෙන් කැනඩාවට ඇතුළුවීම පහසු කරුණක් නොවන බව කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය ටොයිවුස් පෙන්වා දෙයි. adaderana.lk

ජී. එල් හා චීන විදේශ කටයුතු ඇමති හමුවක්


චීනයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරීස් මහතා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතව තිබේ. අනිද්දා දිනයේ මෙම හමුව සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙහි දී දෙරටට බලපාන කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ජී. එල්. පීරීස් අමාත්‍යවරයා මේ දින වල චීනයේ නිල සංචාරයක නිරත වන අතර ඔහු එලඹෙන 15 වනදා දක්වා චීනයේ රැඳී සි‍ටීමට නියමිතය. එහි දී අමාත්‍යවරයා චීනයේ ප්‍රාදේශීය නායකයින් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

විශේෂයෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සහයෝගීතාව වර්ධනය කර ගැනීම, වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම ජී. එල් පීරීස් මහතාගේ මෙම සංචාරයේ අරමුණය. adaderana.lk

රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන සිටින්නන්ට එරෙහිව නීතිය


රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට දැනුම් දී තිබේ. රජය ක්‍රියාත්මක කර ඇති නිවාස වැඩපිළිවෙලේ දී නීත්‍යානුකූල ඉල්ලුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ‍ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ. ඉදිරි වසර 6 තුළ දී නිවාස අහිමි හා අඩු පහසුකම් සහිත නිවාස හිමි ජනතාව වෙනුවෙන් ජන සෙවණ නිවාස වැඩපිළිවෙල යටතේ නිවාස දස ලක්ෂයක් ඉදි කිරීමට කටයුතු කරන බව ද මෙහි දී අනාවරණය විය.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කාර්මිකයන් නවීන දැනුමෙන් යුත් තාක්ෂණික ශිල්පීන් ලෙස ඉදිකිරීම් කේෂ්ත්‍රයට දායක කර ගැනීමටත් ඔවුන්ගේ වෘත්තීමය තත්ත්වය උසස් අයුරින් පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක් සකස් ‍කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහි දී උපදෙස් ලබා දී තිබේ. adaderana.lk

හම්බන්තොට වරාය නැරඹීමේ අවස්ථාව සීමා කෙරෙයි


ශීඝ්‍රයෙන් ඉදි කෙරෙන හම්බන්තොට වරාය නැරඹීමට ලබා දී තිබූ අවස්ථාව තාවකාලිකව සීමා කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ.

වරාය නැරඹීමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙමින් සිටින බැවින් වරාය සංවර්ධන කටයුතු වලට සිදු වන බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා වරා‍ය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ ක‍ළේය. ඒ අනුව වරාය නැරඹීමට ලබා දී තිබූ අවස්ථාව හෙට දිනයේ සිට 15 වන දින දක්වා තාවකාලිකව නතර කරන බව සභාපතිවරයා ‍සඳහන් කළේය. adaderana.lk

ප්‍රභා කියන විදිහට එජාප මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන්නේ නෑ


ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා පවසන ආකාරයට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ප්‍රභා ගනේෂන් මහතා රජයට සම්බන්ධ වූයේ සිය වාසිය සඳහා බවට ඒ මහතා චෝදනා කරයි. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා පසුගිය දා ආණ්ඩු පක්ෂයට එක්විය.

ඒ අනුව තවත් එක්සත් ජා‍තික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුව සමග එක් වීමට නියමිත බව ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා ඊයේ දිනයේ දී ප්‍රකාශ කළේය. පක්ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අදහස් පළ කළේය. තවත් මාසයක කාලයක් ඇතුළත එජාපයේ නව ජීවයක් ඇතිකරන කණ්ඩායමක් එකමුතුව ප්‍රබල වැඩපිළිවෙළක් දියත් කරන බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම මේ වනවිට රජය බිය වී ඇති බවත්, ඇතුළත අර්බුද හටගෙන ඇති බවත් ජයවික්‍රම මහතා සඳහන් කරයි. adaderana.lk