Tuesday, June 15, 2010

අමාත්‍යාංශ 11කට 60පැන්න ලේකම්වරු

අමාත්‍යාංශ 11ක් සඳහා වයස අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාමික ලේකම්වරු 11 දෙනකු පත්කර ඇත. ඒ අනුව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට කේ.වී.පී. ආර්. ද සිල්වා, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට එම්.බී. දිසානායක, තරුණ කටයුතු අමාත්‍යාංශයට එස්.එස්. හේවාපතිරණ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඩී. දිසානායක, කැබිනට් අමාත්‍ය කාර්්‍යාලයට එස්. අබේසිංහ, ජනාධිපති ලේකම් ධූරයට එස්.සී. වීරතුංග මාධ්‍ය අමාත්‍යාංශයට ඩබ්ලිව්.පී. ගනේගල, ක්‍රීඩා අමාත්‍යාංශයට එස්. ලියනගම, අධ්‍යාපන අමාත්‍යාංශයට එස්.එස්. සිරිසේන, සංස්කෘතික හා ජාතික උරුමය අමාත්‍යාංශයට විමල් රූබසිංහ, කම්කරු අමාත්‍යාංශයට එම්. මඩිහහේවා යන මහත්වරු පත් කර ඇත. 2007 වසරට පෙර විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා විශ්‍රාම යන විට ලැබූ අවසන් පඩිය සහ අනිකුත් සියලූම දීමනා හිමිවන අතර 2007 වසරෙන් පසුව විශ්‍රාම ගිය ලේකම්වරුන්ට විශ්‍රාම ගන්නාවිට ලැබූ වැටුපෙන් අඩක් වැටුප ලෙස ලැබේ. මෙම සියලූම ලේකම්වරුන්ට දීමනා ලෙස රු. 15,000 විශේෂ දීමනාවක්, ජීවන වියදම් දීමනාව, රු. 20,000 ඉන්ධන දීමනාව, ජංගම දුරකතනය, නිවසේ දුරකතනය සහ කාර්යාල දුරකතන බිල් රජය විසින් ගෙවනු ලබයි. - රාවය

කෝටි 161ක පෙට්‍රල්වල කුණු

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින්, සිංගප්පූරුවේ ආනයනය කරන ලද රුපියල් එකසිය හැටඑක් කෝටි විසිඅට ලක‍ෂයක් වටිනා (ඇ.ඩො. එක්කෝටි හතළිස් හතර ලක‍ෂයක්) පෙට්‍රල් මෙ. ටොන් විසිදාහක් අපද්‍රව්‍ය සහිතවීම නිසා පාවිච්චියට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මෙම හේතුව මත දිවයින පුරා පෙට්‍රල් හිඟයක් ඇති නොවිම පිණිස ඉන්දියන් ඔයිල් සමාගමෙන් (ෂධක‍) තෙල් තොගයක් ගෙන්වා ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය. සිංගප්පූරුවෙන් ගෙන්වාගෙන ඇති මෙම පෙට්‍රල් තොගය බාල වර්ගයක ඒවා වීමත්, තෙල් තොගය ලංකාවට ලඟාවීමට පෙර, නැව් ගාස්තු ගෙවා තිබීමත් නිසා මෙහිදී අතයට වශාල ගනුදෙනුවක් සිදුවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ලංකා තෙල් සංස්ථාවේ වාණිජ හා මෙහෙයුම් අංශ ඒකාබද්ධ මෙම තෙල් තොගය ආනයනය කර ඇති අතර මෙමගින් සිදුවූ අතිවිශාල මූල්‍ය අලාභය පියවා ගැනීම සඳහා වාණිජ අධිකරණයේ නඩු පැවරීමටද විෂයභාර අමාත්‍යාංශය මේ වනවිට තීරණය කොට ඇති බව පැවසේ. මේ පිලිබදව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ටෙන්ඩර් පටිපාටියකට අනුව සිංගප්පූරුවෙන් මෙම තෙල් තොගය ගෙන්වීමේදී දී ඇති නියමාවලියකට අනුව තෙල් තොගය නැවට පැටවීමට පෙර පරීක‍ෂාවට ලක් කළද එහිදී කිසිදු අපද්‍රවයක් තෙල්වල ඇති බව තහවුරු නොවූ බවයි. නමුත් කොළඹට තෙල් තොගය පැමිණීමෙන් පසුව තෙල්වල අපද්‍රව්‍ය තිබීමෙන් පෙනීයන්නේ නැවේදී ඊට අපද්‍රව්‍ය එක්වී ඇති බවයැZයි ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත අදාළ තෙල් තොගයේ සියලූ ගෙවීම් අත්හිටුවා ඇති බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. - රාවය

අමාත්‍යාංශ 11කට 60පැන්න ලේකම්වරු

අමාත්‍යාංශ 11ක් සඳහා වයස අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාමික ලේකම්වරු 11 දෙනකු පත්කර ඇත. ඒ අනුව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට කේ.වී.පී. ආර්. ද සිල්වා, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට එම්.බී. දිසානායක, තරුණ කටයුතු අමාත්‍යාංශයට එස්.එස්. හේවාපතිරණ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඩී. දිසානායක, කැබිනට් අමාත්‍ය කාර්්‍යාලයට එස්. අබේසිංහ, ජනාධිපති ලේකම් ධූරයට එස්.සී. වීරතුංග මාධ්‍ය අමාත්‍යාංශයට ඩබ්ලිව්.පී. ගනේගල, ක්‍රීඩා අමාත්‍යාංශයට එස්. ලියනගම, අධ්‍යාපන අමාත්‍යාංශයට එස්.එස්. සිරිසේන, සංස්කෘතික හා ජාතික උරුමය අමාත්‍යාංශයට විමල් රූබසිංහ, කම්කරු අමාත්‍යාංශයට එම්. මඩිහහේවා යන මහත්වරු පත් කර ඇත. 2007 වසරට පෙර විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා විශ්‍රාම යන විට ලැබූ අවසන් පඩිය සහ අනිකුත් සියලූම දීමනා හිමිවන අතර 2007 වසරෙන් පසුව විශ්‍රාම ගිය ලේකම්වරුන්ට විශ්‍රාම ගන්නාවිට ලැබූ වැටුපෙන් අඩක් වැටුප ලෙස ලැබේ. මෙම සියලූම ලේකම්වරුන්ට දීමනා ලෙස රු. 15,000 විශේෂ දීමනාවක්, ජීවන වියදම් දීමනාව, රු. 20,000 ඉන්ධන දීමනාව, ජංගම දුරකතනය, නිවසේ දුරකතනය සහ කාර්යාල දුරකතන බිල් රජය විසින් ගෙවනු ලබයි. - රාවය

පිටකොටුවේ පදික කඩ සභාපතිගේ නෑයන්ට


පිටකොටුවේ පදික වෙළෙදුන්ට කඩ කාමර ලබාදීමේදී තමා සභාපතිවරයා අතයට ගනුදෙනු සිදුකරමින් සැබෑ පදික වෙළෙඳුන්ට අසාධාරණයක් කර ඇති බවට ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සමමේලනයේ බහුතර සාමාජිකයෝ චෝදනා කරති. එහි පළමු අදියරේ බෝධිය පිටුපස ශාඛාවේ කඩ කාමර 104ක් බාදාදීමේදී මන්ත්‍රීවරුන් සඳහා කඩ කාමර 30ක් හැර ඉතිරි 74 වසර ගණනාවක් පුරා එම ස්ථානයේ වෙළෙදාම් කළ පදික වෙළෙඳුන් අතර ඛෙදාදිය යුතු බවට ජනාධිපතිවරයා පවා උපදෙස් ලබාදී තිබූ බවත්, එම උපදෙස් පවා නෙතකා සභාපතිවරයා විසින් තමාගේම දියනිය, බෑණා, බිරිඳ ආදී ලෙස ඥාතීන්ට හා හිතවතුන්ට ඒවා ලබාදී ඇති බවත්් ඔවුහු පෙන්වා දෙති. එම එක් කඩ කාමරයක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මිල රුපියල් විසිඅට දහස් හත්සිය පනහක් වුවද සම්මේලනයේ සභාපතිවරයා සාමාජිකයන්ට හා පිටස්තර පුද්ගලයන්ට ඒවා රුපියල් පනස්පන්දහස බැගින් විකුණා ඇති බවත්, අමතර මුදල් සියල්ල ඔහු ලබාගෙන ඇති බවටත් සාමාජිකයෝ වැඩිදුරටත් කියා සිටිති. එහි දෙවන අදියරේ ඉදිකිරීම් වූ පිටකොටුව බෝධිරාජ මාවතේ ස්වයංරැකියා පදික පොළද පසුගිය බ්‍රහස්පතින්දා (10) වෙළෙඳුන්ට ලබා දුන් අතර එහිදීද පළමු ශාඛාවෙන් කඩ කාමර ලබා දුන් සභාපතිවරයාගේ ඥාතීන්ට හා හිතවතුන්ට බිම් කොටස් ලබාදී ඇති බවට එම සාමාජිකයන් වැඩිදුරටත් පෙන්වා දෙති. සභාපතිවරයාගේ මෙම ඒකාධිපති ක්‍රියාකලාපය තුළ පළමු අදියරේ කඩ කාමර හිමිය යුතු පැරණි පදික වෙළෙඳුන් 59 දෙනෙකුට ඒවා අහිමි වී ඇති අතර ඔවුන් ඊට එරෙහිව අංක 1 දරන දිසා අධිකරණයේ ඩීඑෆ්පී - 00023/2010 යටතේ නඩුවක්ද පවරා ඇත. එම නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ කිහිපදෙනෙකුට බෝධිරාජ මාවතේ පදික පොළෙන් බිම් කොටස් කිහිපයක් ලබාදී ඇතත්, එය කිසිසේත්ම ගැටලූවට ප්‍රමාණවත් විසඳුමක් නොවන බව එම පදික වෙළෙඳුන්ගේ අදහසය. මෙම චෝදනා සම්බන්ධයෙන් අප ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ අක්‍රීය සාමාජිකයන්ට වඩා සක්‍රීය සාමාජිකයන්ට තමා විශේෂත්වයක් දක්වන බවය. එය ඕනෑම දේශපාලන පක‍ෂයක් හා මැති අමැතීන් පවා කරන්නක් බව පෙන්වා දුන් ඔහු තමාගේ දියණිය වුවද පදික වේළෙදාමේ යෙදෙන්නේනම් කඩ කාමරයක් ලබාදීමේ කිසිදු වරදක් නොමැති බවද කියා සිටියේය. තමාගේ මෙම මහා නිර්මාණයට ඊර්ෂ්‍යාකරුවන් සිටින බැවින් මෙම චෝදනා පිළිබද පුදුම නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. - රාවය

ප්‍රධාන තක්සේරුකරු ඇතුළු 5 ක් අල්ලස් දැලේ


දූෂණ ක්‍රියාවන් සිදුකිරීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු නිලධාරි ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබේ.

ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ ඉඩමක් අත්පත් කර ගැනීමේදී වෙ‍ළෙඳපළ වටිනාකමට වඩා අඩුවෙන් තක්සේරු කිරීම නිසා පාඩුවක් සිදුකරනලදැයි මෙමගින් චෝදනා කර ඇත.

එම චෝදනාපත්‍රයේ ප්‍රධාන තක්සේරුකරු ජී.එස් සේනාරත්න ඇතුළු එම දෙපාර්තමේන්තුවේ 5 දෙනෙක් නම්කර ඇති බව සඳහන් වේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥවරයා කරුණු දක්වමින් අල්ලස් කොමිසම දැනට අක්‍රීයව පවතින නිසා එම කොමිසම සක්‍රීය තත්ත්වය පත්වන තුරු නඩු විභාගය කල්දමන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අගෝස්තු මස 20 දක්වා නඩු විභාගය කල්දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.adaderana

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිට නොතීසි


බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කර ඇති වරෙන්තුව සම්බන්ධයෙන් කොළඹ ම‍හේස්ත්‍රාත් අධිකරණය අද පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර තිබේ.

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව එම වරෙන්තුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව වාර්තා වේ. නීති විරෝධි ලෙස පුද්ගලයින් විදේශගත කි‍රීමේ ජවාරමක් සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි.

එහෙත් ඊට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැකකරුවන් පිළිබඳ කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොතිබීම බරපතළ තත්ත්වයක් බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔහු අත්අඩංගුවට ‍ගැනීමට වරෙන්තු නිකුත් කළාය. adaderana

මේ නිවාගන්නේ ආණ්ඩුවේ බඩගින්නයි


ජනතාවගේ බඩගින්න නිවාදැමීම සඳහා කටයුතු නොකොට තමන්ගේ දේශපාලන බඩගින්න නිවා ගැනීම සඳහා ආණ්ඩුව සූදානම් බවත්,එකී සූදානමට තමන් විරුද්ධ වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය මේ මොහොතේ සූදානම් වන්නේ තමන්ගේ පටු දේශපාලන වාසි මුදුන්පමුණුවා ගැනීම සඳහා පමණක් බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මේ වනතුරුත් ජනතාවට හෙළිදරව් කර නැති බවත්,පාර්ලිමේන්තුවේ වුවත් මේ ගැන විධිමත් කතිකාවක් ඇති කර නැති බවටත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ නීතිපතිවරයාගේ අනුදැනුම සහිතව වුවද නීතිපතිවරයා හෝ දැනුවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයිද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

නව අධ්‍යාපන ප්‍රතිපත්ති ගුණගරුක පරපුරක් බිහි කිරීම වෙනුවෙනි -ජනපති


නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණ ලොව ජය ගන්නා මෙන්ම දේශයට හා ජාතියට ආදරය කරන ගුණගරුක පරපුරක් බිහි කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය වන අයුරින් නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අලුතින් ආරම්භ කරන අධ්‍යාපන ආයතනවල ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ මේ අදහස් පළ කළේය. විශ්ව විද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම, පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම මෙමඟින් යෝජනා කර ඇත. adaderana

රත්‍රන් - මුදල් ආපසු දෙන්නැයි උතුරේ ජනයා ඉල්ලනවා


රජය විසින් ලබාගත් රත්‍රන් සහ මුදල් මෙතෙක් ලබා දි නැතැයි සඳහන් කරමින් ඒවා යළි ලබාගැනීමට සහයෝගය ලබාදෙන ලෙස කිලිනොච්චියේ ජනයා තමන්ගෙන් ඉල්ලා සිටි බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

උතුරේ එල්.ටී.ටී.ඊ පාලනය පැවති කාලයේ ඔවුන්ගේ බලකිරීම මත ඊලාම් බැංකුවල තැන්පත් කළ මුදල් සහ රත්‍රන්, එල්.ටී.ටී.ඊයේ පරාජයත් සමග රජයට පවරා ගැනීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනයා මේ වන තුරුත් තමන්ගේ වස්තුව තමන්ට යළි ලබාදීමට උත්සාහයක් හෝ ගෙන නැති බව පෙන්වා දුන් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ දිනයේ ජ.වි.පෙ මන්ත්‍රීවරුන් පිරිසක් යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනයා බැහැදැකීමට ගිය අවස්ථාවේදී කිලිනොච්චියේදී ජනයා විසින් මෙම ඉල්ලීම කළ බව අද දෙරණට ප්‍රකාශයක් කරමින් අනුර කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක,බිමල් රත්නායක,රාමලිංගම් චන්ද්‍රසේකර්,මරුන්ගන් මෝහන් යන මහත්වරුන් මෙම සංචාරයට එක්වූ බව සඳහන් වේ. adaderana

වෛද්‍යවරිය බැණවැදුණාට රාජකාරියට තිත තබයි


කරවනැල්ල මූලික රෝහලේ හෙද හෙදියන් අද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බව වාර්තා වේ. මීට හේතු වී ඇත්තේ රෝහලෙහි ළමා වාට්ටු ඒකකයට අලුතින් පැමිණි වි‍ශේෂඥ වෛද්‍යවරිය හෙ‍ද හෙදියන්ට බැණ වැදුණු නිසා බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියකින් දන්වා ඇති බව ද හෙද කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ කණ්ඩායමක් එම රෝහල වෙත ගොස් ඇතත් මේ වන තෙක් ගැටලුව සඳහා පිළිතුරක් නොලැබුණු බව රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

‍සිය ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන තෙක් රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බව ද ඔවුන් කියා සිටියි. කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයාවරයාගෙන් කරුණු විමසීමට දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය. adaderana

කලින් සල්ලි නැතිව බී.ටී.අයි ලැබෙයි


පූර්ව මුදල් ගෙවීමකින් තොරව ඩෙංගු මර්දන බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලබාදීමට කියුබානු රජය එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වන නිර්සියා කැස්ට්‍රෝ ගෙවාරා මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වේ.

බී.ටී.අයි බැක්ටීරියාව ‍මෙරටට ගෙන්වීමේ දී එහි වටිනාකමින් සියයට 50ක මුදලක් බැක්ටීරියාව ගෙන්වා ගැනීමට පෙර ගෙවිය යුතු බව කියුබානු රජය විසින් මීට‍ පෙර දැනුම් දී තිබුණි. එහෙත් අද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාක්ච්ඡාවේ දී පූර්ව ගෙවීමකින් තොරව බී.ටී.අයි බැක්ටීරියාව ලබාදීමට කියුබානු තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉතාමත් ඉක්මනින් බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කියුබානු තානාපති කාර්යා‍ලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ. adaderana

නීතිය හරස් නොවුණොත් ෆොන්සේකාට ගැටලුවක් නෑ


නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නේනම් හා නීතියෙන් බාධාවක් නැතිනම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට සහභාගී වීමට විදෙස්ගත විය හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණද ෆොන්සේකා මහතා තාමත් ඇප දී නොමැති සැකකරුවෙක් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට අවස්ථාව හිමිවන අතර එයින් ‍ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ නම ද යෝජනා වී ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇත.

ජෙනරාල් ෆොන්සේකා සමග මෙම සමුළුවට සහභාගී වීමට එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ නම ද විපක්ෂයෙන් යෝජනා වී ඇති අතර ආණ්ඩු පක්ෂයෙන් සහභාගී වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැත.

56 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුව මෙවර පැවැත්වෙනු ඇත්තේ කෙන්යාවේදීය.adaderana

දේශීය කෘෂිකර්මයේ පෙරළියක් ඇති කළ යුතුයි -මහින්ද යාපා


අපි වවමු -රට නගමු වැඩසටහනට පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන් නායකත්වය ලබාදිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. දැනට දිසාපතිවරුන් යටතේ ඇති එම වගකීම දේශපාලන නායකත්වය විසින් ලබාගත යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

රේඛීය අමාත්‍යාංශය මෙන්ම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කළ යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රය නගා සිටුවීම තනිව ‍සිදුකළ නොහැක්කක් බව පෙන්වාදෙන අබේවර්ධන මහතා සඳහන් කළේය. යැපුම් කෘෂිකර්මාන්තය වෙනු‍වට වාණිජ කෘෂිකර්මාන්තය දක්වා දේශීය කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කළ යුතු බව ද පළාත් කෘෂිකර්ම අමාත්‍ය සමුළුවට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

දෙමළ භාෂාව වෙනුවෙන් මදුරෙයි අධිකරණය ඉදිරිපිට විරෝධතා


දෙමළ භාෂාව නිල භාෂාවක් ලෙස භාවිතා කරන ලෙස ඉල්ලා මදුරෙයි අධිකරණය ඉදිරිපිට ද්‍රවිඩ ජාතික නීතිඥයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටාදක්වයි.

අධිකරණය ඉදිරිපිට කොඩි කණුවේ ඉන්දියානු කොඩිය ප්‍රදර්ශනය කරන තැන කළු කොඩියක් ඔසවා ඇතැයිද මහත්මා ගාන්ධිගේ පිළිරුවේ බස්තමේ කළු රෙදිපටි ගැට ගසා ඇතැයිද සඳහන් වේ.

කෙසේ වුවද අධිකරණ තීන්දුවක් මත මේ වන විට කළු කොඩි සහ කළු රෙදිපටි ඉවත් කර ඇතත් මදුරෙයි අධිකරණයේ නිල භාෂාවක් ලෙස දෙමළ භාෂාව ප්‍රකාශයට පත් කරන ලෙස සිය විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව විරෝධතාකරුවන් පවසා ඇත.

දෙමළ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමන් මහතාද මෙම විරෝධතා ව්‍යාපාරයට සහය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වා ඇත. adaderana

බලෙන් අධිකරණයට ගෙන යා නොහැකි යැයි දේවානන්ද කියයි


අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් හමුවට තමන් බලහත්කාරයෙන් ගෙනයාමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව අමාත්‍ය ‍ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. 1986 - 87 කාල සීමාවේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම යටතේ ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය තමන්ට සමාවක් ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍යයක් වෙත අමාත්‍යවරයා ‍ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ අධික‍රණයක් හමුවට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව දේවානන්දා මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඔහු අත්අඩංගුවට නොගැනීමට හේතු දක්වන ලෙස මදුරාසි මහාධිකරණය එරට රජය වෙත දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් මදුරාසි මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ඊයේ සලකා බැලූ අවස්ථාවේ අදාළ දැනුම් දීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දේවානන්ද අමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් චෙන්නායිහි පොලිස් කොමසාරිවරයා ලිඛිතව නවදිල්ලි පොලිස් කොමසාරිස්වරයා වෙත සිදුකළ දැනුම් දීම ද අධිකරණයේ අවධානයට යොමුව ඇති බව සඳහන්යadaderana

උතුරේ තරුණ ප්‍රජාවට විධිමත් රැකියා පුහුණුවක්


උතුරේ තරුණ තරුණියන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ ධම්මික හේවාපතිරණ මහතා සඳහන් කළේය.

මේ යට‍ෙත් කිලිනොච්චි‍ය දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මේ වන විටත් ඉදිකර ඇත. නිවැරදි වෘත්තීය පුහුණුවක් මගින් රැකියා අවස්ථා උදාකර උතුරේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ඵලදායී අයුරින් යොදාගැනීම මෙම වැඩපිළිවෙ‍ළේ ප්‍රධාන අරමුණ බව ධම්මික හේවාපතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

බොරලැස්ගමුවේ ගණිකා නිවසක් වටලයි


බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට නුගේගොඩ පොලිසිය සමත්ව තිබේ. එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

එම කාන්තාවන් බොරලැස්ගමුව, හම්බන්තොට සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaerana

යුද්ධය නිසා උතුරේ පෙර පාසල් අධ්‍යාපනය


යුද්ධය හේතුවෙන් 2008 සහ 2009 වර්ෂවල උතුරේ පෙරපාසල් අධ්‍යාපනය මුළුමනින්ම බිඳවැටී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා ඒකකය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බව වාර්තා වේ. උතුරේ ළමුන්ගෙන් 83% ක් එම වර්ෂවල කිසිදු දිනක පෙරපාසලකට ගොස් නොමැති බව එම වාර්තාවෙන් අනාවරණය වී ඇත.

එම ප්‍රදේශවල සිටින වයස අවුරුදු 1 ත් 6 ත් අතර ළමුන්ගෙන් 74%ක්, අවුරුදු 6 ත් 14 ත් අතර ළමුන්ගෙන් 82% ක් සහ අවුරුදු 14 ත් 21 ත් අතර පිරි‍සගෙන් 79%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද එහිදී අනාවරණය වී ඇති බව සඳහන්ය. කෙසේවෙතත් ඉදිරියේ දී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5 තුළ අංගසම්පූර්ණ පෙරපාසල් පිහිටුවීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පියවර ගෙන තිබේ. adaderana

ආසියානු කුසලාන තරගාවලිය ඇරඹේ


දසවන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතය. ඒ අනුව එහි පළමු තරගය වන ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරගය අද පස්වරුවෙහි රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සිව්වතාව බැගින් ආසියා කුසලානය දිනාගෙන ඇති අතර පකිස්ථානය ආසියානු කුසලානය දිනාගැනීමට සමත්ව ඇත්තේ එක්වතාවක් පමණි. ඒ අනුව 1986 දී පැවති තරගාවලියේදී ප්‍රථමවරට ශ්‍රී ලංකාව ආසියා කුසලානය හිමිකර ගත් අතර 2000 වසරේ ජයග්‍රහණය දිනාගැනීමට පකිස්ථානය සමත්විය.adaderana

පෙරහුරුවට අදත් පාර වසයි


රණවිරු විජයග්‍රහණ සැමරුම් පෙළපාලියේ පෙරහුරු පැවැත්වෙන බැවින් අද දිනයේ ද ගාලු මුවදොර පිටිය ආශ්‍රිත මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසයි. අද පෙරවරු 6. 30 සිට අදාළ පෙරහුරු අවසන් වන තෙක් ගාලු මුවදොර වටරවුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඒ අනුව සෙරමික් හන්දියෙන් හා ගාලුමුවදොර වටරවුමෙන් වාහන ඇතුළු වීමට ඉඩ ලබා‍නොදෙන බව ඔහු ප්‍රකාශ ක‍ළේය. එබැවින් අදාළ කාලය තුළ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන රථ වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසිය ඉල්ලා සිටියි. adaerana

අසැබි වෙබ් අඩවි ගැන වාර්තාව අධිකරණයට


ජංගම දුරකතනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම අවහිර කිරීම සඳහා සිදුකරනු ලැබූ පරීක්ෂණවල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් බම්බලපිටිය ළමා අධිකරණය වෙත මෙම වාර්තාව ඉදිරිපත් කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පාසල් ළමුන් ජංගම දුරකතනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට පුරුදු වී සිටින බවට ලැබුණු පැමිණිලි අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය දා බම්බලපිටිය ළමා අධිකරණය විසින් ජංගම දුරකතන සමාගම් 5කට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියෝග කරනු ලැබීය. එවැනි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම දුරකතන සමාගම් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකසූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවලට අනුව කඩිනමින් ජංගම දුරකතන මගින් නැරඹිය හැකි අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට කටයුතු කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ‍ෙය් ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් ක‍ෙළ්ය. adaderana

පෙත්සම විභාගය කල්යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වන පළමුවන යුද්ධාධිකරණයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගය කල්දැමීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥවරුන් කල් ඉල්ලා සිටීම ඊට හේතුව වී ඇත.
පළමුවන යුද්ධාධිකරණය අවලංගු කරන මෙන් ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය. ඒ අනුව පෙත්සම් විභාගය ලබන 29 වනදාට කල් දැමූ අධිකරණය එදිනට පෙර ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥයින්ට නියෝග කළේය. පළමු වන යුද්ධාධිකරණය සඳහා පත්කර ඇති විනිසුරුවරුන්ගෙන් තමාට සාධාරණ විභාගයක් අපේක්ෂා කළ නොහැකි බැවින් එය අවලංගු කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. adaderana