Tuesday, July 13, 2010

පේරාදෙණියේ සිසුන් එස්.බී.ට පිළිතුරු දෙයි


ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද දැවැන්ත විරෝධතාවයක නිරත විය. අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහ අමාත්‍ය මහින්දා නන්ද අළුත්ගමගේ යන මහත්වරුන් විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමක් සදහා පැමිණි අවස්ථාවේදී මෙම විරෝධතාව පවත්වා තිබේ.

කලා පීඨයේ පරිගණක විද්‍යාගාරයක් සහ නීති අංශය වීවෘත කිරීම සදහා මෙම අමාත්‍යවරුන් අද විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. කෙසේ වෙතත් මෙම පරිගණක විද්‍යාගාරය මීට මාස කිහිපයක පමණ සිට පරිහරණය කරන්නක් වන අතර, නීති අංශය සදහාද කිසිදු ආචාර්යවරයකු හෝ පත්කර නොමැති බවත් එම සිසුන්ට අදාල විෂය නිර්දේශය හෝ ලබාදී නොමැති බවත් සිසුන් පවසයි.

මෙම තත්වය යටතේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට සහ සිසු මර්දනයට එරෙහිව සිසුන් එම අමාත්‍යවරුන් ඉදිරියේ විශ්වවිද්‍යාලය තුල විරෝධතාවේ නිරතවී තිබේ. විරෝධතාව හේතුවෙන් අමාත්‍යවරුන් දෙදෙනා විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති අතර එහිදී සිසුන් එම ගොඩනැගිල්ල පැය එක හමාරක පමණ කාලයක් වටකරගෙන විරෝධතාවයේ නිරතව ඇත. අවසානයේ අමාත්‍යවරුන් දෙදෙනා දැඩි රැකවල් මධ්‍යයේ විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට පැමිණි බව අප වාර්තාකරු lankatruth

ඩෙංගුවලින් මියයාම අමුතු දෙයක් නොවෙයි - හිටපු සෞඛ්‍ය ඇමති


ඩෙංගු රෝගය වැළදී පුද්ගලයකු මිය යාම "අමුතු අපූරු දෙයක් " නොවන බව හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අදහස් දක්වමිනි. එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඩෙංගු රෝගයෙන් දේශපාලන වාසි ලබා ගන්නා බවයි.

බදුල්ල, කොළඹ, හලාවත පමණක් නොව මහනුවර ප්‍රදේශවලත් මේවන විට ඩෙංගු රෝගය ව්‍යාප්තව ඇති බවත් රෝගය වැලදී පුද්ගලයකු මිය යාම සාමාන්‍ය දෙයක් පමණක් බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවද මෙම වසර තුළ පමණක් ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයන් 140 දෙනෙකු පමණ මියගොස් අති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම වසර තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවන බවද එම අංශය ප්‍රකාශ කරයි.

වසංගත රෝගවිද්‍යා අංශයට අනුව 2010 වසර තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹදිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යව 2,947කි. ගම්පහදිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,381ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,374ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,529 දෙනෙකුද වාර්තා .lankatruth

මෑණියනි, ඔබට නිවන් සුව.


විමල් වීරවංශ මහතාගේ මව වන අභාවප්‍රාප්ත සැමී නෝනා මහත්මිය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ අවසන් ගෞරව දැක්වීය. එම මහත්මියගේ දේහය තැන්පත් කර ඇත්තේ කොළඹ බුලර්ස් පෙදෙසේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේය. adaderana

බහරේන් ඇඟළුම් සේවිකා වර්ජනයට අවසන් තිත


බහරේන් හි ඇඟළුම් සමාගමක ශ්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් වී තිබේ. සේවිකාවන් 800 දෙනෙකු පමණ මෙම වර්ජනයට එක්ව සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්. කේ රුහුණගේ මහතා පැවසුවේය. කුවේට් තානාපති කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු බහරේන් වෙත ඊයේ දිනයේ පිටත් කර මෙම ගැටලුව පිළිබඳ දෙපාර්ශවය සමග සාකච්ඡා පැවැත්වූ බව රුහුණගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව මතුව තිබූ ගැටලුව සමථයකට පත් වී අද දිනයේ සිට එම සේවිකාවන් යළි සේවයට වාර්තා කර ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් පැවසුවේය. තම සේවා මුරයන්ට අදාළ ඉලක්ක සපුරාලීම සහ වැඩ පරීක්ෂකවරයෙකු පිළිබඳ මතු වූ ගැටලුවක් හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකික සේවිකාවන් වර්ජනය සිදුකළ බව සඳහන්ය. adaerana

උගන්ඩා බෝම්බ වලින් ලාංකිකයෙක් මියයයි


පසුගිය ඉරිදා දින උගන්ඩාවේ කම්පාලා හි සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජයන්ත දිසානායක මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි රාම්රාජ් ක්‍රිෂ්ණා නම් පුද්ගලයෙකි. ඔහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, දෙදරු පියෙකු බවත් සඳහන්ය.

මෙම බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයින් 74 දෙනෙක් මියගොස් ඇති බව ද ජයන්ත දිසානායක මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාරය අල් කයිඩා සංවිධානය සමග ද සබඳතා පවත්වන සෝමාලියානු රජයට එරෙහිව සටන් වදින ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව සොයාගෙන ඇතැයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. adaderana

විධායක අගමැති ගැන සතුටුයි


විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන පාලන තන්ත්‍රයක් ගෙනඒමට රජය අවතීර්ණ වීම සතුටට කරුණක් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි. විධායක අගමැති ධුරයක් ගෙනඒමට රජය සාකච්ඡා පවත්වමින් තිබීම පිළිබඳ සතුටු වන බව ඔහු සඳහන් කළේය.

ඒකාධිපති පාලන තන්ත්‍රයක් වෙනුවෙන් රට අනාගතයේ දී අවතීර්ණ වීමට තිබූ අවස්ථාව මෙමගින් වැළකී යන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. කෙසේවුවත් එක්සත් ජාතික පක්ෂය සමග මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ සමග ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව තිස්ස විතාරණ මහතා අවධාරණය කර සිටියි. adaerna

සනත් හා වාස් ගැනත් සලකා බලනවා


සනත් ජයසූරිය පමණක් නොව චමින්ද වාස් ද 2011 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කරගැනීම සම්බන්ධයෙන් සලකාබලන බව ජාතික තේරීම්කාරක කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. ඔවුන් පිළබඳව අවධානයෙන් සිටින බවත්, අවශ්‍යතාවයක් මතුවුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් වෙත ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

අද දෙරණ වෙත අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම තීරණය බලපෑමක් නොවන බවත්, ඔවුන් වෙත පළමුව අවස්ථාව ලබාදෙන බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

නිට්ටඹුව බස් වර්ජනය තවදුරටත්


නිට්ටඹුව පෞද්ගලික බස්රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි. දුරගමන් බස්රථ සේවකයින් අවිධිමත් ආකාරයෙන් සිදුකරන ධාවන කටයුතුවලට විරෝධය පෑමක් වශයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව නිට්ටඹුව -ගම්පහ, නිට්ටඹුව -කොළඹ සහ ගම්පහ -කොළඹ යන කෙටි දුර ගමන් සේවාවන්හි නිරත වන පෞද්ගලික බස්රථ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බව සඳහන්ය. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමග මේ සම්බන්ධයෙන් ලබන 15 වැනිදා සාකච්ඡා කිරීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. adaerana

මූන්ගේ නිවේදනයේ කමිටුවක් ගැන තිබුණේ නෑ


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන් මහතා 2009 වසරේ මෙරට සිදු කළ සංචාරයෙන් අනතුරුව නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයේ උපදේශක කමිටුවක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බව රජය අවධාරණය කරයි. අදාළ ඒකාබද්ධ නිවේදනය පරිච්ජේද 11 කින් සමන්විත බව රජය පෙන්වා දෙයි.

ඊට අවතැන් වූවන් යළි පදිංචි කිරීම, කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම යන කරුණු පිළිබඳ එහි වැඩි අවධානයක් යොමු කර ඇති බව රජය පෙන්වා දෙයි. මානව හිමිකම් පිළිබඳ දැක්වෙන පරිච්ජේදයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇති බව යැයි රජය වැඩිදුරටත් පවසයි.

ජාත්‍යන්තර මැදිහත් වීමක් පිළිබඳ අදාළ නිවේදනයේ සදහන් වන්නේ බිම්බෝම්බ ඉවත් කිරීමට අදාළව පමණක් බව ද රජය වැඩිදුරටත් නිවේදනය කරයි. බැන්කී මූන් මහතා විශේෂඥ කමිටුව පත් කරන ලද්දේ ඒකාබද්ධ නිවේදනයෙන් ඇතිකරගත් එකඟතාව අනුව බවට විවිධ පාර්ශව මීට පෙර චෝදනා කර තිබුණි. adaderana

ආණ්ඩුවේ උගුලට යූ.ඇන්.පී ත් අහුවෙලා


ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උගුලට යූ.ඇන්.පියත් අසුවී ඇති බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව අයත් වන්නේ රටේ පක්ෂ දෙකකට පමණක් නොවන බවත්,මේ වන විට ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ යූ.ඇන්.පිය සමග පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

විනිවිද භාවයෙන් තොර මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවතී ඇති මුත් එමගින් රටට වැඩදායි යමක් සිදුවනවාට වඩා සිදුව ඇත්තේ අහිතකර දේවල් පමණක් බවත් එබැවින් මෙම සාකච්ඡා රටට අනතුරුදායක බව පමණක් කල්තියා අඟවා තැබීම යහපත් බවත් ඔහු කියා සිටියි.

ව්‍යවස්ථාවේ අර්බුදය ඇත්තේ පවත්නා විධායකය තුළ බවත්,ආණ්ඩුව සෘජුව ප්‍රකාශ කළ යුත්තේ පවත්නා විධායකය අහෝසි කරනවාද නැද්ද යන්න බවත් මේ වන විටත් ඒ පිළිබඳ ස්ථාවරයක් ප්‍රකාශයට පත්කර නැති බවත් ජ.වි.පෙ ලේකම්වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මේ වන විට යූ.ඇන්.පිය සමග සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වන බවත්,එසේ වුව ද 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අලුත් අංගයක් නොවන බවත් එය දැනටමත් ව්‍යවස්ථාවේ අන්තර්ගත බැවින් කළ යුත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

ඡන්ද ක්‍රමය ගැන රජය සහ එජාපයේ කතාබහක්


මෙරට මැතිවරණ ක්‍රමය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ සහ රජයේ පාර්ශවයේ නියෝජිතයින් අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සාකච්ඡා වල පළමු පියවරක් ලෙස මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කළේය.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතය. රජය පාර්ශවයෙන් ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකු ද සහභාගි ‍වනු ඇත. adaerana

වීරවංශ,උපවාසය පවත්වා ඇත්තේ ජනාධිපතිට විරුද්ධවයි


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපස පවත්වන්නට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරයක් වැරැදීමකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති බව ප්‍ර.ජා.සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බෑන්කී මූන්ගේ විද්වත් කමිටුව ඉල්ලා අස්කර ගැනීමෙන් හෝ තමන්ගේ මරණයෙන් කෙලවර වන බවට වහසි බස් දොඩා ආරම්භ කළ උපවාසය පැය 56 ට පසු නවතා දැමුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට බවත්,ඔහුගේ ඉල්ලීමට මේ වන විට කන්දී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත් හෙතෙම කියා සිටියි.

වීරවංශ මහතාගේ ඉල්ලීම් වලට කන්දුන් ජනාධිපතිවරයා මේ වන විට යුද අපරාධ චෝදනා ගැන සොයන්නට ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා මෙයින් පෙනී යන්නේ මුලාරම්භයේ සිටම මෙම විරෝධතාවය ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළාදැයි සැකයක් පවතින බවය.

මෙම වි‍රෝධතාවය ට ප්‍රතිචාර වශයෙන් සිදුව ඇත්තේ මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 8 ක් ශ්‍රී ලංකාවේ විරෝධතාවන්ට අප්‍රසාදය පළ කොට එක්සත් ජාතීන්ගේ සම්මුති බිඳීම පිළිබඳ හේතු දක්වන ලෙස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරීම බවද ඔහු කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. adaerana

වෙඩි තැබීමකින් අයෙක් මරුට-තිදෙනෙකුට තුවාලයි


සේරුනුවර යුද හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මරුමුවට පත්වී ඇත්තේද හමුදා සෙබලෙකු බව සඳහන් වේ.

ඒ අනුව එම ස්ථානයේ සිටි තවත් හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උභය මැදවල මහතා සඳහන් කරයි.

මෙම වෙඩි වැදීම කෙසේ සිදු වී ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ද උභය මැදවල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්,සැකකාර සෙබලා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් බ්‍රිගේඩියර් උභය මැදවල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.. adaerana

මහා භාණ්ඩාගාරයේ තවත් සුදු අලියෙක්


ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට තවත් සුදු අලියෙක් පාත්වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දූෂණ හා අක්‍රමිකතාවලින් පිරි ආයතනයක් බවට පත්වී ඇතැයි හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

අඩුමිලට ලබා ගන්නා තෙල් වැඩි මිලට විකිණීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බවත්,සෑම ලීටරයකින්ම රු.55 ක් වැඩියෙන් උපයන බවත් එහෙව් ලාභයක් ලැබූවද පාඩු ලබන බව කියන්නට සිදුව ඇත්තේ ඒ තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන් බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

පෙට්‍රල් වලට යකඩ මිශ්‍රවී ඇති බවටත්,ඩීසල් වලට වතුර මිශ්‍රවී ඇති බවටත් පසුගිය දිනවල වාර්තාවල පළවූ බව ද අත්තනායක මහතා කියා සිටියේය. adaerana