Sunday, May 30, 2010

දවසින් ප්‍රශ්න විසඳන්න බෑ -බන්දුල


අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු එක් දිනකින් අවසන් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙරට ගැටලු විසඳීම සඳහා ආකල්පමය වශයෙන් ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා තම අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. බස්නාහිර පළා‍තේ උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

අනුර කුමාර සීපා ගැන විවාදයක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ සඳහා වූ ‍යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම සතිය තුළ යෝජිත ගිවිසුම පිළිබඳව විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟත්වය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. සීපා ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කර්මාන්ත හා සේවා සඳහා හුවමාරු කරගැනීමේ දී දැනට පවතින බාධක ලිහිල් වේ.

එමගින් ඉන්දියානු ආයෝජන සහ සේවාවන් ශ්‍රී ලංකාව තුළට විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙරට කර්මාන්ත කඩාවැටීමකට ලක්වන බව දේශීය ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පසුගියදා දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන්නේය. රටට හානිදායක කිසිදු ගිවිසුමකට තමන් අත්සන් නොකරන බව එම අවස්ථාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ඉදිරියේ දින කිහිපය තුළ ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය. adaderana

එජාපයේ සීතල යුද්ධයක්?


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ මේ වන විට කැපී පෙනෙන චරිත දෙකක් ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙක් සජිත් ප්‍රේමදාස මහතා වන අතර අනෙක් පුද්ගලයා වන්නේ රවී කරුණානායක මහතාය. ආකාරයට ඔවුන් දෙදෙ‍නා අතර අනාගත නායකත්වය සඳහා සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ නායකත්වය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ තනතුරු සදහා පුද්ගලයින් නම් කිරීම ඡන්දයකින් සිදුකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව සම්මත විය.

ඉදිරියේ දී නායකත්වය සඳහා ඡන්ද විමසීමක් සිදුවීමට ඉඩකඩ ඇති බැවින් මොවුන් දෙදෙනාම මේ වන විට ඡන්ද එක්රැස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව වාර්තා වේ. කෙසේවෙතත් මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාත් රවී කරුණානායක මහතාත් එහි මූලික පියවරක් ලෙස මාධ්‍ය මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඔහුගේ සමීපතමයන්ගේ සහය රවී කරුණානායක මහතාට හිමිවන අතර සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට උරදුන් පිරිසගේ සහය හිමිවන බව‍ දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම සීතල යුද්ධය කුමන අතකට පෙරලේවි ද කියා කිසිවෙකුටත් කිව නොහැක්කේ ඔවුන් දෙදෙනාම පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් වන නිසාය. adaderana

පොළොන්නරුව රෝහලට හෘද රෝග ඒකකයක්


පොළොන්නරු මහ රෝහලට විශාල අඩුපාඩුවක්ව පැවති හෘද රෝග ඒකකයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6.5 කි. පොළොන්නරුව රෝහලට පැමිණෙන හදවත් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ, නුවර, කුරුණෑගල මහරෝහල්වලට පැමිණීමට පසුගිය කාලයේ දී සිදුවිය.
දිනකට හෘදයාබාධ සහිත රෝගීන් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට පැමිණිය ද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පසුගිය කාලයේ දී නොහැකි වූ බව පොළොන්නරුව රෝහල් බලධාරීන් පවසයි. එහෙත් මෙම ඒකකය විවෘත වීමත් සමග සියලුම පරීක්ෂණ කටයුතු සහ ප්‍රතිකාර කටයුතු ලබාදිය හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා සඳහන් කරයි. එම හෘද ‍රෝග ඒකකය විවෘත කිරීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. adaderana

මාස 6ක් තුළ කිසිදු වැටලීමක් නෑ


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වැටලීම් කටයුතු අක්‍රිය වී දැනට මාස 6 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ කිසිදු වැටලීමක් සිදුකර නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේය. අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ සේවා කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් විය. එබැවින් අල්ලස් සම්බන්ධ වැටලීම් සිදුකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි සාමාජිකයින්ට නොහැකි වීම හේතුවෙන් වැටලීම් කටයුතු අඩාල වී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත්කිරීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. එහෙත් ව්‍යවස්ථාදායක සභාව අක්‍රිය වීම හේතුවෙන් එම අල්ලස් කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා‍ වෙත පැවරී ඇත. ඉදිරි සතිය ඇතුළත ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් තිදෙනා නම් කරනු ඇති බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කළේය.

බෞද්ධාලෝක මාවත යළි විවෘතයි


කොළඹ බෞද්ධාලෝක මාවතේ වාහන ගමනාගමනය සඳහා මෙතෙක් වසා තිබූ කොටස සැහැල්ලු වාහන සඳහා විවෘත කර තිබේ. ස්ටැන්ලි විජේසුන්දර මාවත ආසන්න‍යේ සිට තුම්මුල්ල දක්වා වන කොටස ආරක්ෂක හේතූන් මත පසුගිය ස‍මයේ වසා දමා තිබුණි.
මේ වන විට බෞද්ධාලෝක මාවතේ එම කොටස සැහැල්ලු වාහන සඳහා විවෘත කළ බව කුරුඳුවත්ත පොලිසිය පැවසුවේය. පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා එම මාර්ගය සැහැල්ලු වාහන සඳහා විවෘතව පවතින බව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

කර්මාන්ත අංශයේ ඉහළ වර්ධනයක්


ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය පසුගිය මාර්තු මාසය වන විට 9. 3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 428 ක වර්ධනයක් බව මහබැංකුව පෙන්වාදෙයි.
අපනයනයෙන් ද 4 . 8% ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කරයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 660 ක ඉහළ යාමකි. adaderana

කමිටුව ගැන බලාපොරොත්තු තැබිය හැකියි -හිලරි


ශ්‍රී ලංකාවේ යුද ගැටුම් හටගැනීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුව කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසයි. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් සඳහා මහඟු අඩිතාලමක් වනු ඇති බව ඇය සඳහන් කරයි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම කමිටුව ස්වාධීනව අපක්ෂපාතීව සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව තම කාර්යය ඉටුකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙමගින් දශක ගණනාවක් පුරා පැවති යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට ද පදනම සකස් කරනු ඇති බව හිලරි ක්ලින්ටන් මහත්මිය එහිදී පවසා ඇති බව සඳහන්ය.adaderana

කැබ් රථයක් හා පාපැදියක් ගැටී අයෙක් මියයයි


වෙල්ලාවලි, මන්ඩූර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැබ් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය. මියගොස් ඇත්තේ කුරුමන්වේලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. adaderana

සංවර්ධනයට පූර්ණ සහය


වසර 30 ක යුද්ධයෙන් පසුව ස්ථිරසාර සංවර්ධනයක් කරා රට රැගෙනයාමේ ඓතිහාසික අවස්ථාවක් උදාවී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහිතෝ කුරෝඩා මහතා පවසයි. යුද්ධයෙන් විනාශ වූ ප්‍ර‍දේශවල යටිතල පහසුකම් නැංවීමට ද ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ සක්‍රිය දායකත්වය ලබාදී ඇති බව හෙතෙම පෙන්ව‍ා දෙයි.
මෙම වසරට බලපාන පරිදි අ‍මෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලංකාවට ලබාදී ඇත්තේ එහි එක් පියවරක් වශයෙන් බව ඔහු පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවට ඉහළ වර්ධන වේගයක් අත්පත් කරගැනීමට නම් අයවැය හිඟය පාලනය කරගත යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර ඔහු ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය. adaderana