Saturday, January 8, 2011

Wedding

රට ගැන සිතද්දී දේශපාලනය අමතක කළ යුතුයි


රටක් ගැන සිතා කටයුතු කරන විට දේශපාලනය අමතක කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රජය ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ දී අද(08) පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ISO තත්ත්ව සහතික සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක‍ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය‍ සේවය දියාරු කරහැරීමේ පටු දේශපාලන අභිප්‍රායන් එක්සත් ජාතික පක්ෂ රජයන් තුළ පැවතිය ද වත්මන් රජය රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana.lk

ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ඉහළම මිල මහේලට


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම වටිනාකමක් හිමිකරගැනීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ.

ඒ අයි පී එල් කෝචි කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඔහු අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකා‍නු ඩොලර් මිලියන 1 .5 ට අලෙවි වී ඇති බව සඳහන්ය.

මීට අමතරව ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරට එම ක්‍රීඩක වෙන්දේසියේ දී ලැබී ඇති වටිනාකම ‍අමෙරිකානු ඩොලර් හත් ලක්ෂයකි.

තවද තිලකරත්න ඩිල්ෂාන් අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 50,000 ට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අලෙවි වී තිබේ.

අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් වාර්තාගත වටිනාකමකින් යුතුව අලෙවි වී ඇති ක්‍රීඩකයා වේ. ඔහුට ලැබී ඇති වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2 . 4කි.adaderana.lk

මැතිවරණය එකවර නොපැවැත්වීමට හේතුව අර්ජුනගේ ඉල්ලීමයි


පළාත් පාලන මැතිවරණය එකවර නොපැවැත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා විසින් සිදුකළ ඉල්ලීම බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කිසිදු බාධාවකින් තොරව ජයග්‍රහණය කිරීමට රජයට හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(08) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adaderana.lk

සබරගමු සරසවියේ පළමු වසර සඳුදා ඇරඹෙයි


සබරගමුව විශ්ව විද්‍යාලයේ තාවකාලික වසා දමා තිබූ පීඨ ලබන සඳුදා(10) සිට යළි විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එම්. එච්. එස් ප්‍රියනාත් මහතා පවසයි.

ව්‍යවහාරික විද්‍යා පීඨය හැර සෙසු පීඨ පළමු වසර සිසුන්ට පමණක් ලබන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල්කරගනිමින් පසුගිය ජනවාරි පළමු වැනි දින සිට සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගනු ලැබීය.

ප්‍රථම වසර සිසුන් හැර අනෙකුත් වසර වල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු පසුව ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් විශ්ව විද්‍යාලයේ පීඨ යළි විවෘත කිරිම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය එම්. එච්. එස්. ප්‍රියනාත් මහතා සඳහන් කළේය. adaderana.lk

මැතිවරණය ගැන අවසන් තීරණය පක්ෂ දේශපාලන මණ්ඩලය සතුයි


ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඊයේ(07) සාකච්ඡා පැවැත්වූ බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මීට අමතරව ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් සිය පක්ෂයේ අවසන් තීරණය ලබන 14 වැනිදා රැස්වන පක්ෂ දේශපාලන මණ්ඩලය මගින් ගැනීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

මාතර - කතරගම පාරේ රිය අනතුරකින් 20 දෙනෙකුට තුවාලයි


මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම, කිවුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(08) පෙරවරුවේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

මාතර සිට නුවරඑළිය බලා ගමන් ගත් බස්රථයක්, තිස්සමහාරාමයේ සිට මාතර බලා ගමන් ගත් බස්රථයක මෙලෙස ගැටී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට හා තංගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර අනතුරට ලක්වූ බස් ‍රථවල රියදුරන් දෙදෙනා සහ උපකාරක පන්ති සඳහා යමින් සිටි ළමුන් කිහිපදෙනෙකු ද වන බව වාර්තා වේ.adaderana.lk

විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු 1919 අංකයෙන්


රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය වන 1919 මගින් විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු ලබාගත හැකි බව වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මහජනතාවට වඩාත් සමීප වීමත්, විදේශ ‍රැකි‍යා සම්බන්ධ‍ මහජනතාව තුළ පවතින ගැටලු නිරාකරණය කරගැනීමටත් මෙමගින් හැකිවන බව එම කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ(07) දි‍නයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයුම් මැදිරි‍යේ වි‍ශේෂ චාරිකාවක නිරත වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙමගින් විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳව සියලු විස්තර ද ලබාගත හැකි බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි රණවක මහතා කියා සිටියේය.adaderana.lk