Sunday, December 12, 2010

සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි


සිරිකොත පිටුපස ගේට්ටුවෙන් රනිල් සමුළුවට එයි

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පෙ.ව. 9.30 ට පමණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එ.ජා.ප. සමුළුව සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියේ සිරිකොත පිටුපස ගේට්ටුවෙනි.

පක්‍ෂයේ සාමාජිකයින් වැඩි පිරිසක් සිරිකොත මුලස්ථානයට ඇතුළුවුයේ ගේට්ටුවෙන් පනිමිනි.

මෙම පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව වාර්තා වේ.

පක්ෂයට ජය කැන්දීම මගේ අපේක්ෂාවයි


සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම තම අපේක්ෂාව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රහණය උදෙසා පක්ෂය රැගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බව ඔහු කියා සිටියි.

පක්ෂ නායකත්වයේ සියලුම ක්‍රියාවන්ට එකඟත්වය පළ කරමින් ජයග්‍රහණය කරා ළඟා විය නොහැකි බව හෙතෙම පෙන්වාදෙයි.

පක්ෂ නායකත්වයේ අඩු ලුහුඩුකම් විවේචනය කර නිවැරදි මාර්ගයට යොමු කිරීම මගින් පක්ෂය ද ජයග්‍රහණය කරා යොමුකළ හැකි බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

බලයට කෙටි මං-පැන්නොත් ගොඩ මං


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය ආරම්භ කිරීමට පෙර අද(12) පාක්ෂ ක්‍රියාකාරිකයෝ මහත් උනන්දුවෙන් පක්ෂ මූලස්ථානයට එක්රැස් වී සිටියහ.අනන්‍යතාවය පරීක්ෂා කරන පෝළිම දිග වැඩි නිසාම කෙටි මගකින් ඇතුළට රිංගා ගන්නට මෙම ක්‍රියාකාරිකයා උත්සාහ කළා විය හැකිය.

අලියා අලුත් කරන ලියැවිල්ල ගොඩයයි


අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අද පෙ.ව 9.30 ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ විය

කැලණිය දැන් ආශ්චර්යයි


දම්වැලක පුරුක් මෙන් රාජ්‍ය සේවකයා සහ දේශපාලනඥයා එක්ව රට ගොඩනැඟීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව මහජන සම්බන්ධතා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියි.

කැලණිය ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් හට උපහාර පිරිනැමීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කැලණිය පුරවරය මේ වන විට ආශ්චර්යමත් නගරයක් බවට පත් කිරීමට තමාට හැකි වී ඇති බවයි.

අලි සමුළුව ඇරඹෙයි


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය මීට ස්වල්ප මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සං‍ශෝධනය සම්මත කර ගැනීම මෙම පක්ෂ සම්මේලනයේ මූලික අරමුණ වී තිබේ.

එහෙත් මෙම පක්ෂ සම්මේලනයෙන් පක්ෂයේ කිසිදු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක් වූ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා පවසා තිබිණි.. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ වූ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කරයි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ වී ඇති අතර සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් විශාල පිරිසක් මේ වන විටත් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

හෙද නිලධාරී වර්ජනයට මහනුවරත් එක්වෙයි


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා අද දිනයේ මහනුවර රෝහලේ හෙද නිලධාරීන් ද එක්වන බව එම සංගමයේ සභාපති සමන් රත්‍නප්‍රිය මහතා පවසයි.

සිය ගැටලුවට බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව හෙතෙම අවධාරණය කරයි.

හම්බන්තොට රෝහලේ හෙද නිලධාරීන් 10 දෙනෙකුද,කළුබෝවිල රෝහලේ හෙද නිලධාරීන් 24 දෙනෙකුද ඉතා අමානුෂික ලෙස දුර බැහැර ප්‍රදේශ වලට මාරු කර යැවීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ඔහු සිහිපත් කළේය.

ජාතික රෝහල,හම්බන්තොට,කළුබෝවිල,මාතර,කරාපිටිය යන රෝහල් වල මෙම වර්ජනය අඛණ්ඩ උපවාසයක් ලෙස ක්‍රියාත්මක කරන බවත්,සිද්ධියට හේතු වූ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු වහාම අත්හිටුවා සෞඛ්‍ය සේවාව යථා තත්ත්වයට පත් කරන ලෙස හෙතෙම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඉස්කෝලෙට කට්ටි පැනපු ළමුන් යළි කැඳවීම සාර්ථකයි


පාසල් නොයන ළමුන් පාසල් යැවීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

ඒ අනුව වැල්ලවත්ත , ගල්කිස්ස , මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වල පාසල් නොගිය ළමුන් 34 දෙනෙකු පාසල් යැවීම සඳහා කටයුතු කර තිබේ.

දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ පාසල් නොයන සිසුන් ද ඉදිරි සතිය තුළ පාසල් යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අධිකරණ නියෝග මත ආරම්භ කළ මෙම වැඩස‍ටහන ඉදිරියේ දී කොළඹ නගරයේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශ‍ වල ද ක්‍රියාත්මක කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙන්වාදෙයි.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.